මිනිසත් බව ඉතා දුර්ලභ ය. දුර්ලභ වූ මිනිස් දිවියකට බුදු සසුන මුණගැසුන පසු මේ බියකරු සසරේ භයානක බව දකිනා නුවණැති තැනැත්තා එම බුදු සසුන තුළ දී ම කෙසේ හෝ පිළිසරණක් සලසා ගැනීමට වෑයම් කරයි. මේ දීර්ඝ සසරේ භයානක බව දන්නේ බුදුරජාණන් වහන්සේලා ම ය. එනිසා උන්වහන්සේලා මේ බියකරු සසරෙන් එතෙර වීම පිණිස ම ධර්මය දේශනා කරති.

ඒ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා කිසිදු මොහොතක කිසිදු දේශනාවක දී “මහණෙනි, ඔබ මා මෙන් වව්. මා අනුකරණය කරව්.” කියා නොවදාළ සේක. ඒ පිළිබඳව උන්වහන්සේ පැහැදිලිව වදාළේ මෙසේ ය.

“සද්ධෝ භික්ඛවේ, භික්ඛු ඒවං සම්මා ආයාචමානෝ ආයාචෙය්‍ය – තාදිසෝ හෝමි යාදිසා සාරිපුත්තමොග්ගල්ලානා’ති. ඒසා භික්ඛවේ, තුලා ඒතං පමාණං මම සාවකානං භික්ඛූනං යදිදං සාරිපුත්තමොග්ගල්ලානා’ති.”

“මහණෙනි, මනා ව ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැවත් භික්ෂුවක් වේ නම්, හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කරයි. “ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේලා යම්බඳු වෙත් නම් එබඳු වෙමි’යි (කියායි.) මහණෙනි, යම් මේ ශාරීපුත්‍ර, මොග්ගල්ලාන දෙනමක් වෙද්ද, මාගේ ශ්‍රාවක භික්ෂූන්ට මේ (දෙනම) තුලාව (තරාදිය) යි. මේ (දෙනම) ප්‍රමාණය (මැනීම) යි.”

“සද්ධා භික්ඛවේ, භික්ඛුනී ඒවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය – තාදිසා හෝමි යාදිසා ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චා’ති. ඒසා භික්ඛවේ, තුලා ඒතං පමාණං මම සාවිකානං භික්ඛූනීනං යදිදං ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චා’ති.”

“මහණෙනි, මනා ව ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැවත් මෙහෙණක් වේ නම්, ඕතොමෝ මෙසේ ප්‍රාර්ථනා කරයි. ඛේමා, උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේලා යම්බඳු වෙත් ද මම ද එබඳු වෙමි’යි (කියායි.) මහණෙනි, යම් මේ ඛේමා, උප්පලවණ්ණා යන භික්ෂුණීන් දෙනමක් වෙද්ද, මාගේ ශ්‍රාවිකා වූ භික්ෂූණීන්ට මේ (දෙනම) තුලාව යි. මේ (දෙනම) ප්‍රමාණය යි.”

“සද්ධෝ භික්ඛවේ, උපාසකෝ ඒවං සම්මා ආයාචමානෝ ආයාචෙය්‍ය – තාදිසෝ හෝමි යාදිසෝ චිත්තෝ ච ගහපති හත්ථකෝ ච ආළවකෝ’ති. ඒසා භික්ඛවේ, තුලා ඒතං පමාණං මම සාවකානං උපාසකානං යදිදං චිත්තෝ ච ගහපති හත්ථකෝ ච ආළවකෝ’ති.”

“මහණෙනි, මනාව ප්‍රාර්ථනා කරන්නාවූ සැදැහැවත් උපාසක කෙනෙක් වේ නම්, හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කරයි. චිත්ත ගහපති, හත්ථකආලවක දෙදෙනා යම් සේ ද මමත් එසේ වෙමි’යි (කියායි.) මහණෙනි, යම් මේ චිත්ත ගහපති, හත්ථක ආලවක යන දෙදෙනෙක් වෙද්ද, මාගේ ශ්‍රාවක වූ උපාසකයන්ට මේ (දෙදෙන) තුලාව යි. මේ (දෙදෙන) ප්‍රමාණය යි.”

“සද්ධා භික්ඛවේ, උපාසිකා ඒවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය – තාදිසා හෝමි යාදිසා ඛුජ්ජුත්තරා ච උපාසිකා වේළුකණ්ටකියා ච නන්දමාතා’ති. ඒසා භික්ඛවේ, තුලා ඒතං පමාණං මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා ච උපාසිකා වේළුකණ්ටකියා ච නන්දමාතා’ති.”

“මහණෙනි, මනාව ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැවත් උපාසිකාවක් වේ නම්, ඕතොමෝ මෙසේ ප්‍රාර්ථනා කරයි. ඛුජ්ජුත්තරා, වේළුකණ්ටකී (නම් නුවර වැසි) නන්දමාතා යන උපාසිකාවන් යම් සේ ද මමත් එසේම වෙමි’යි (කියායි.) මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා, වේළුකණ්ටකී නන්දමාතා යන දෙදෙනෙක් වෙද්ද, මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන්ට මේ (දෙදෙන) තුලාව යි. මේ (දෙදෙන) ප්‍රමාණය යි.”
(අංගුත්තර නිකාය – දුක නිපාතය, ආයාචන වග්ගය)

ඒ අනුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත් තෙරවරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය විසින් ආදර්ශයට ගත යුතු ය. ඒ අනුව හික්මිය යුතු ය. තම ශ්‍රාවක පිරිස සඳහා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වූයේ එය යි.

එනමුදු, බුදු සසුන පිරිහී යද්දී උතුම් සතර සතිපට්ඨානය වඩමින් සසුන් ප්‍රතිපදාවේ යෙදෙමින් මේ බුදු සසුනේ දී ම සසර දුකින් නිදහස් වනු කැමති වීම වෙනුවට ධර්මාවබෝධය මතුවට කල් තබමින් බුදු බව පතනා පිරිස් බිහි විය. එය මහායාන බුදු දහම ලෙස විකාශනය විය. බුදු බව පතනා ඒ මහායානිකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් ඵල නෙළීමට වෑයම් කරනා අහිංසක ශ්‍රාවක ශ්‍රාවිකාවන් හීනයානිකයන් ලෙස විවේචනය කරමින් පහතට ඇද දැමූහ. මේ බුදු සසුනෙහි ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ මහතෙරුන් වහන්සේලා විසින් පිවිතුරු ලෙස රැකගෙන ආ ථේරීය සම්ප්‍රදාය හීන වූ යානයක් ලෙස දක්වමින් ගැරහූහ. දඹදිව පවා බුදු සසුන අතුරුදහන් වීමට මෙම මහායානිකයින්ගේ බලපෑම ඍජු ව ම හේතු වූ බව බොහෝ පර්යේෂකයෝ පවසති.

මිහිඳු මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ සිරිලක් දෙරණට දායාද කළ පසු ඒ මුල් යුගයේදී නිර්මල බුදු දහම අනුගමනය කරමින් බොහෝ රහත් මුනිවරු බිහි වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එනමුදු, ඒ මුල් යුගයේ බුදු බව පැතීම සමාජගත කළ කිසිදු භික්ෂුවක් පිළිබඳව තොරතුරු වංශකතාවක හෝ හමු නො වේ. පසුකාලීනව ලක්දිව බුදු සසුන පිරිහී යද්දී බුදු බව පතනා භික්ෂූන් අප මව්බිමේ ද බිහි විය. මේ වන විට ලෝකයේ සමස්ත බොදු ජනගහනය දෙස බැලූ කල එයින් බොහෝ පිරිසක් බුදු බව පතන්නෝ ය. සැබැවින් ම පතන්නන් වාලේ පැතූ පමණින් අති දුෂ්කර වූ මහා කැපවීමකින් සාක්ෂාත් කළ යුතු වූ සම්බුදු බව ලබනා මාර්ගයටවත් අඩුම තරමේ පිවිසිය හැකි වේ දැයි සාධාරණ සැකයක් උපදී. විලාසිතාවට බුදු බව පැතීමට හුරු වන බොහෝ දෙනා අවසානයේ පරලොව සුගතියත් වනසා ගනිති. බුදු බව පතනා ගමනේ දී නිරයේ වුවත් උපදින්නට තමන් සූදානම් යැයි ඇතැම් බුදු බව පතනා ස්වාමීන් වහන්සේලා පවසනු අප අසා තිබේ. එය සාමාන්‍ය ජනතාව තුළ ජනගත වුවහොත් ඔවුන් ද එය අනුගමනය කිරීමට සිතුවහොත් එයින් ඔවුනට සිදු වන්නේ යහපතක් ද අයහපතක් දැයි අප මධ්‍යස්ථ ව විමසා බැලිය යුතු ය. ඒ මන්ද යත් බුදු බව පැතූ පමණින් නො ලැබෙන බැවිනි. එය සසරේ පිරූ පින් ඇති, ඍජු සිත් ඇති, මහා වීර වූ උතුම් මිනිසුන්ට ම විෂය වන දෙයකි. සාමාන්‍ය ජනතාව එය අනුකරණය කළ පලියට එයට අදාළ ගුණධර්ම නො තිබෙනා විට එය නො පිහිටන්නේ ම ය. එනිසා බුදු බව පැතීම යනු සමාජගත කළ යුත්තක් නොවන බව අපගේ හැඟීම යි.

මූලික පෙළ දෙස බැලීමේ දී ද මුල් බුදු සමයට අයත් දේශනාවන්හි කිසිසේත් ම බුදු බව පැතීමට රුකුල් දෙන කිසිදු දේශනාවක් හමු නො වේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම්තාක් කුසල ධර්මයන් ඇත්ද ඒ සියල්ල ම අප්‍රමාදය නම් වූ එක ම වචනය තුළ සංග්‍රහ කළ හැකි බව යි. ඒ ඇත් පියසටහන තුළට අනෙකුත් සියලු පියසටහන් සංග්‍රහ වන්නාක් මෙනි. එනිසා මෑතකාලීන ව භික්ෂූන් වහන්සේලා විසින් ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු වන්නේ ඍජු ව හෝ ව්‍යංගයෙන් බුදු බව පැතීම හුවා දැක්වීම නොව මේ බුදු සසුනේ දී ම දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ධර්මයන් සිදු කර ගනිමින් සුගති රැකවරණය සලසා ගනිමින් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් නිවන් මග විවර කර ගැනීමට මඟ පෙන්වීම යි.

මෑතකදී බුදු බව පැතූ එක් මහ තෙරුන් වහන්සේනමක් පිළිබඳ ව මම මෙසේ දනිමි. උන්වහන්සේ උතුම් සම්බුදු බව පතමින් තමන් වහන්සේ වටා එක් වූ ගිහි පැවිදි පිරිස උන්වහන්සේ බුදු වන කාලයේ දී අග්‍ර ශ්‍රාවකයන් වන්නට, අසූ මහා ශ්‍රාවකයන් වන්නට, අනේපිඬු සිටාණන්, විශාකා, සුමනා, සුජාතා ආදී උපාසක උපාසිකාවන් වන්නට ප්‍රාර්ථනා පිහිටුවති. අවසානයේ දී, එක් තරුණයෙක් හට කන්ථක අසු සේ වන්නට ප්‍රාර්ථනා කිරීමට පවා කියා ඇත. යශෝදරාව පවා තෝරාගෙන ඇත. ඒ සඳහා පොරොන්දු කරවාගෙන ඇත. සැබැවින් ම අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබේ ද? ඒ අහිංසක මිනිසුන් උන්වහන්සේගේ මගපෙන්වීම මත එම දෘෂ්ටියට එළඹි විට සැබැවින් ම එය ලැබේවි ද? එම දෘෂ්ටිය නිවැරදි ද?

අප අසා ඇත්තේ තථාගතයන් වහන්සේලා විසින් ම විවරණ සිරි ලබා දෙන බවයි. විවරණ ලබා දීම වනාහී බුදුවරයන්ට ම අදාළ දෙයකි. එසේ බුදුවරයන් වහන්සේලාගෙන් විවරණ ලබා මතු බුදු බව පිණිස වෑයම් කරනා සැබෑම බෝධිසත්වයෝ අති දුර්ලභයහ. මහා කාරුණික වූ උන්වහන්සේලා සොඳුරු ගුණ ඇත්තෝ ය. යම් හෙයකින් තියුණු නුවණ ඇති උන්වහන්සේලා වත්මන්හි මේ මනුලොවට වැඩම කොට උතුම් පැවිදි බව ලබත් නම් මෙකල ලොව ඇති ස්වභාවය දෙස විමසා බලා සිදු කරනු ඇත්තේ ඍජුව හෝ ව්‍යංගයෙන් මිනිසුන් ව බුදු බව පැතීමට පෙළඹවීම හෝ තමන් බුදුබව පතන බව මහජනයාට පැවසීම නොව ඔවුන් වෙත කරුණාවෙන් මෙකල තවමත් නොනැසී පවතින ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනෙහි සමාදන් කරවා සසර දුකින් අතමිදීමට ඔවුන් ව දිරි ගැන්වීම යි. මන්ද යත්, සියලු බුදුවරයන් වහන්සේලාගේ ඒකායන අපේක්ෂාව හැකිතාක් ලෝක සත්වයන් ව සසර දුකින් එතෙර කරවීම වන බැවිනි.
එනමුදු මෙකල බුදු බව පතනා භික්ෂුවක් හමුවේ ප්‍රතිඥා දුන් පමණින් එය එසේ සිදු වේවි ද? එහි දෘෂ්ටිගත වූ සැකයෙන් සහ අවිනිශ්චිත භාවයෙන් යුතු අන්ධකාරයක් නො පවතින්නේ ද? මෙය මධ්‍යස්ථ ව විමසා බැලීම වටී. මෙකල සමාජය පුරා සිටිනා බුදු බව පතනා ගිහි පැවිදි බොහෝ දෙනෙකු තුළ මෙබඳු ස්වභාවයක් දක්නට ලැබේ. උන්වහන්සේලා අනුකරණය කරන්නට යෑම තුළ මේ ගෞතම බුදු සසුනේ සුළු හෝ පිළිසරණක් සලසා ගැනීමේ අවස්ථාව අහිංසක මිනිසුන්ට අහිමි නොවන්නේ ද? අපට වඩා බොහෝ අත්දැකීම් ඇති අපගේ ගුරුදෙවිඳුන් මේ පිළිබඳ ව පැවසූ ප්‍රකාශය තුළ මෙකරුණ ගැබ් වී ඇති බව මාගේ අදහස යි.

මෙකල ධර්මයේ මුවාවෙන් බොහෝ අධර්මය සමාජගත වී ඇති නිසාත්, ඒ ඔස්සේ බොහෝ දෙනෙකු වාද විවාදවලට පැටලෙමින් සිටිනා ස්වභාවයක් දක්නට ලැබෙනා නිසාත් එම නිරර්ථක වාද විවාද අතහැර අහිංසක ලෙස දහම් මග වැඩීම අප විසින් සිදු කළ යුතු ය.

(පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණු මාතෘකාවකට පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියන ලද ලිපියකි. අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.)