මුළු මහත් ලෝ ධාතු සියල්ල අතැඹුලක් ලෙස අවබෝධ කොට සියලු ලෝකවලින් සදහට ම නිදහස් වූ නිසා ඒ සම්බුදු මුනිරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම ලෝකවිදූ ගුණයෙන් යුක්තයි. ලෝකය පිළිබඳ වූ මෙම අවබෝධය, උන්වහන්සේ තුළ පැවති ගුරු උපදේශ රහිතව උපදවා ගත් තථාගත බලයක්. ඒ බලයට පැමිණිලයි භාග්‍යවතුන් වහන්සේ පිරිස් මැද සිංහනාද කරන්නේ. උතුම් දම්සක පවත්වන්නේ. සැබැවින් ම බුදුරජාණන් වහන්සේ අද වන විට පිරිනිවන් පා වසර දෙදහසකුත් සියවස් පහක් ඉක්ම ගිය ද ඒ සර්වඥයන් වහන්සේ විසින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ ලෝකයෙන් බිඳක් උන්වහන්සේ වදාළ ශ්‍රී මුඛ බුද්ධ දේශනා තුළින් ම විමසා බැලීමට ලැබීම මෙකල අප ලද දුර්ලභ වාසනාවක් ම යි.

මුළු මහත් බුද්ධ දේශනා පීරා බැලුවත් ඒ අසිරිමත් දම් රජාණන් වහන්සේගේ ලෝකය පිළිබඳ වූ අවබෝධයෙන් බිඳක් පමණයි දැක්විය හැක්කේ. එයට හේතුව නම්, ‘ලෝකය’ යන පුළුල් ක්ෂේත්‍රය විෂය වනුයේ දසබලධාරී සර්වඥයන් වහන්සේනමකට පමණක් වන බැවින්. දිනක් භික්ෂු සංඝයා සමඟ මහත් වූ ඇට්ටේරියා වනයකට වැඩි උන්වහන්සේ තම ශ්‍රී හස්තයට බිම වැටී තිබූ කොළ ස්වල්පයක් ගෙන, තමන් වහන්සේ විසින් වදාළ අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය එම කොළ ස්වල්පයට උපමා කළ අතර මුළු මහත් ඇට්ටේරියා වනයේ ම ඇති කොළ සමූහය, දෙව් මිනිස් ලෝකයා හට අවිෂය වූ තම විස්මිත වූ අසීමිත අවබෝධයට උපමා කළ සේක. ලෝ සතගේ ජීවිතාවබෝධය පිණිස හේතු නොවන බැවින් උන්වහන්සේ එම අවබෝධය නිරාවරණය නොකළ සේක. තථාගතයන් වහන්සේනමක් විසින් අවබෝධ කළ එම අප්‍රකාශිත ලෝක ස්වභාවයන් ලිවීමට කෙල ලක්ෂයක් ආයුෂ ලදත් තව දෑ ලිවීමට ශේෂව තිබිය දී අපගේ පරමායුෂ ගෙවී යන බව නම් සත්‍යයක්. මහත් වූ ගුරුළු රාජයෙක් තම පියාපත් විහිදා ගුවන සිසාරා හඬ තලමින් පියඹා ගියත් මහත් වූ අවකාශය වසාලන්නට හැකි වේ ද? තිමිංගල මත්ස්‍යයා සයුරු දිය කලම්බවමින් පිහිනා ගිය ද මහත් වූ සයුරු රළ කඳ වසාලන්නට හැකි වේ ද? එසේ ම තථාගතයන් වහන්සේනමක් විසින් ලෝධාතුව කම්පා කොට ලෝකය පිළිබඳ ලැබූ අවබෝධය මැනීමට සමත් ජගතෙක් තවත් අසමසම බුදුකෙනෙකුන් හැර තුන්ලොව සිටිය හැකි ද? එය නො වේ ම යි. එනිසා ඒ ලෝකය පිළිබඳ පරිපූර්ණ අවබෝධය ලත් තථාගතයන් වහන්සේගේ අසිරිමත් ලෝකවිදූ ගුණය විස්තර කරමින් දැන් ඔබ ඉදිරියේ දිග හැරෙන මේ වදන් පෙළ පවා සවිමත් වූයේ දහ අටදහසක් වූ උතුම් බුද්ධ දේශනා තුළ අඩංගු සූත්‍ර දේශනා කිහිපයකින් ම පමණයි. එය ස්වල්පයක් වුව ද මී පිඬු ප්‍රණීත වන්නා සේ ම මේ වදන් පෙළෙන් ද සැබැවින්ම බුදු සමිඳුන් ඔබ ඉදිරියේ ජීවමානව දිස් වෙනවා ඇති.

ලෝකය ගැන බුද්ධ දේශනා නොදත් බොහෝ දෙනාට ඇත්තේ ගැටලුවලින් හා සැකයෙන් පිරුණු මනසක් පමණයි. ඔවුන් කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සොයා පෘථග්ජන අවබෝධයන් පසුපස මිරිඟුව තුළ දිය සොයන මුව රැල මෙන් දිව යනවා. මේ අයුරින්, ‘ලෝක විනාශය කවදා ද? ලෝකය හට ගන්නේ කොහොමද? ලෝකය මැවීමක් ද? ඇත්තටම ලෝකය කියන්නේ මොකක්ද?’ මෙවැනි ප්‍රශ්න සමාජය තුළින් ඔබට ඇසී ඇති බවට සැක නැහැ.

කුඩා ළමයින් නඟන ප්‍රශ්න ඔබට මතක ද? “ඇයි අහසේ තරු බැබළෙන්නේ? කුරුල්ලන්ට පියාඹන්න කියල දුන්නේ කව්ද? කව්ද මේ මල් පාට කළේ?” මේ වගේ ප්‍රශ්න පුංචි ළමුන් පුදුමයෙන් සහ කුතුහලයෙන් විමසන්නා සේ ම ඈත අතීතයේ සිට අද දක්වා ම ලෝකය සම්බන්ධයෙන් නොවිසඳුණු ප්‍රශ්න පෙළක් මත හැපෙමින් බොහෝ දෙනෙක් ජීවත් වනවා. විද්‍යාඥයන් යැයි තම තමන් හඳුන්වා ගන්නා පිරිස් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් නිමාවක් නොපෙනෙන පරීක්ෂණ පවත්වනවා. බොහෝ ආගමික මත එම ප්‍රශ්නවල පිළිතුරු තව තවත් අවුල් කොට දමනවා.

එහෙත් මීට සියවස් විසි පහකට ප්‍රථම මෙම ‘ලෝකය’ නම් වූ මහත් ප්‍රහේලිකාව තම විශිෂ්ට නුවණින් ප්‍රාතිහාර්ය සහිතව විසඳූ අප ශාස්තෘන් වහන්සේ ලෝක විෂය යනු සාමාන්‍ය සත්වයන් විසින් නොසිතිය යුතු පැතිකඩක් බව පෙන්වා දෙන ලදී. මක් නිසා ද යත්, එහි සීමාව සාමාන්‍ය මනසට ගෝචර නොවන බැවින්. නමුත් ලෝකය පරතෙරට අවබෝධ කළ යුතු බව වදාළ උන්වහන්සේ ලෝකය අවබෝධ කළ යුතු මාර්ගය මැනවින් පෙන්වා දුන් සේක.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට ලෝකය කියූ පමණින් මතකයට එන්නේ අප ජීවත් වන මහ පොළොවත්, අපගේ හිසට උඩින් ඇති ආකාශයත්, වෙනත් ග්‍රහලෝක කිහිපයකුත් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේනමකගේ බුදු නෙතට හසුවන ලෝකය මීට හාත්පසින් වෙනස් පුළුල් අර්ථයක් ඇති දෙයක්. ඒ අවබෝධය සෑම කල්හිම මිනිස් ඇස ඉක්මවා ගිය එකක්. දිනක් රෝහිතස්ස නමැති දිව්‍ය පුත්‍රයා බුදුසමිඳුන් හමුවට පැමිණ මෙසේ ඇසුවා. “භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ අවසානයක් දකින්නට පුළුවන් ද?” එවිට බුදුරජාණන් වහන්සේ ඍජු පිළිතුරක් වදාළා. “රෝහිතස්ස, ඇවිදගෙන ගිහින් නම් ලෝකයේ කෙළවරක් කවදාවත් දකින්න බෑ.” එවිට දිව්‍ය පුත්‍රයා තම අතීත සිදුවීමක් මෙසේ විස්තර කළා. “භාග්‍යවතුන් වහන්ස, ඒක හරියට ම හරි. මම කලින් ජීවිතයේ මහා බලසම්පන්න දෙවියෙක් වෙලයි සිටියේ. මට ඉතාමත් වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ආහාර ගැනීම, ශරීර කෘත්‍ය ආදී දේවලට කාලය තියාගෙන මම හිතුවා අනිත් කාලය පාවිච්චි කරලා ලෝකයේ ඉවර වෙන තැනක් සොයන්න ඕන කියලා. මම එහෙම කල්පනා කරලා ලෝකයෙන් ලෝකයට, සක්වළින් සක්වළට දිගටම ඇවිදගෙන ගියා. නමුත් භාග්‍යවතුන් වහන්ස, ගමන අවසන් කරන්න කලින් මගේ ආයුෂ ඉවර වුණා. කෙළවරක් නැති ලෝක පෙනි පෙනී මම මරණයට පත් වුණා.” එවිට බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දිව්‍යපුත්‍රයාට මෙසේ වදාළා. “පින්වත් දෙවිඳ, ඔය විදිහට නම් ලෝකයේ කෙළවරක් දකින්න බෑ තමයි. හැබැයි ලෝකයේ කෙළවරට ම අවබෝධ කළ යුතුයි. මම ‘ලෝකය’ කියලා කියන්නේ බඹයක් පමණ වූ, මනස සහිත විඤ්ඤාණය සහිත ශරීරයට යි. මෙතැන තමයි ලෝකයේ හට ගැනීම තියෙන්නේ. මෙතැන තමයි ලෝකයෙන් නිදහස් වීම තියෙන්නේ. ලෝකයෙන් නිදහස් වන මාර්ගයත් තියෙන්නේ මේකෙ ම තමයි.”
(රෝහිතස්ස සූත්‍රය – සං. නි. 1)

තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි සමිද්ධි නම් වූ ස්වාමීන් වහන්සේ මෙසේ විමසුවා. “ලෝකෝ ලෝකෝති භන්තේ වුච්චති. කිත්තාවතා නු ඛෝ භන්තේ ලෝකෝ වා අස්ස ලෝකපඤ්ඤත්ති වාති.” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ලෝකය ලෝකය කියලා හඳුන්වනවා, කොපමණ කරුණකින් ලෝකයත්, ලෝකය යන ව්‍යවහාරයත් වේ ද?” එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ “භික්ෂුව, යම් තැනක ඇසත්, ඇසට පෙනෙන රූපත්, ඇසේ විඤ්ඤාණයත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මත් ඇත්ද, එහි ලෝකය ඇත. ලෝකය යන ව්‍යවහාරය ඇත.” කියා යි. මේ අයුරින් කන, නාසය, දිව, කය, මනස ගැන ද වදාළ සේක.
(සමිද්ධි ලෝක පඤ්හ සූත්‍රය – සං. නි. 4)

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේ වරක් ලෝකය යනු කුමක්දැයි අසා වදාළා. “ආනන්ද, යමක් බිඳෙන, නැසෙන ස්වභාවයෙන් යුක්ත නම් එය ආර්ය විනයෙහි ලෝකය යැයි කියනු ලැබේ” කියා බුදුරජාණන් වහන්සේ වදාළා.
(පලෝකධම්ම සූත්‍රය – සං. නි. 4)

ඉහත දැක්වූ දේශනාවලට අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, මනස සහිත අපගේ මේ ශරීරය ලෝකය වශයෙන් හඳුන්වා ඇති බවයි. අපගේ මේ ශරීරයේ හටගැනීමත්, පැවැත්මත්, නැති වීමත් යථාර්ථයෙන් අවබෝධ කරගෙන නැවත හට නොගන්නා තත්ත්වයට පත් කළ හැකි බව මුලින් ම සොයාගෙන ඒ කරුණ ලෝකයට හෙළි කොට වදාළේ බුදුරජාණන් වහන්සේ යි. ඒ හේතුවෙන් ද බුදුරජාණන් වහස්නේ ලෝකවිදූ වන සේක.

බුදුරජාණන් වහන්සේනමක් විසින් කරුණු සහිතව පෙන්වා දෙන තාක් මේ ශරීරයේ හටගැනීම කෙසේ සිදු වන්නේදැයි දෙවියන් සහිත ලෝකයේ කිසිවකු දැන සිටියේ නැහැ. එය යම්කිසි අදෘෂ්‍යමාන දෙවි කෙනෙකුගේ මැවීමක් කියා හෝ දෙමව්පියන්ගේ එක් වීමෙන් පමණක් සිදුවන්නක් කියා හෝ හේතුවකින් තොරව ම ඇති වන්නක් කියා හෝ ඔවුන් විශ්වාස කළා. නමුත් තණ්හාව නමැති මූල බීජය හේතු කොටගෙන යළි උපතක්, සසර පැවැත්මක් සකස් වන බව මුලින් ම ලෝකයාට පෙන්වා දී වදාළේ අප බුදු සමිඳුන්. ඒ තණ්හාව නිරුද්ධ කිරීමෙන් යළි උපතත්, සසර පැවැත්මත් බිඳ දැමිය හැකි බව උන්වහන්සේ වදාළ සේක. ඒ තණ්හාව නිරුද්ධ කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ක්‍රමවත් වැඩපිළිවෙළ තුළින් කළ හැකි බව උන්වහන්සේ දේශනා කොට වදාළා.

එමෙන් ම අප සියලු දෙනා ම ආශාවෙන් ආරක්ෂා කරන මේ ජීවිතය, ‘රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ’ ලෙස උපාදානස්කන්ධ පහක් වශයෙන් අවබෝධ කළ හැකි බව පෙන්වා දුන් සේක. තවත් අයුරකින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ ලෙස මූලික ස්වභාවයන් (ධාතු) හයක් වශයෙන් ද මේ කය අවබෝධ කළ හැකි බව පෙන්වා දුන් සේක. එසේ ම ඇස, කන, නාසය, දිව, කය, මනස ලෙස ආයතන හයක් වශයෙන් ද මේ කය අවබෝධ කොට උපතක් හටගැනීමට බලපවත්වන තණ්හාව නිරුද්ධ කළ හැකි බව වදාළ සේක. මෙනිසා ලොව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට ලෝකය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලැබීමට නම් මේ කුමන අයුරකින් හෝ ජීවිතය පිළිබඳ ව නුවණින් කල්පනා කර බැලිය යුතුයි. එසේ ලැබෙන පරිපූර්ණ අවබෝධය, ලෝකය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් වනවා.

අප බොහෝ විට ලෝකය වශයෙන් හඳුන්වන මේ විශ්වය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු විස්තර කොට වදාළා. විශ්වය පිළිබඳව උන්වහන්සේ සතු අසිරිමත් අවබෝධය අංගුත්තර නිකායට අයත් අභිභූ සූත්‍රයේ දැක්වෙන අන්දමට යම්තාක් සඳහිරු ආලෝකය විහිදුවමින් හැසිරෙන්නේ ද ඒ තාක් සක්වළ දහසකින් යුතු ලෝකය චූලනිකාසහස්සී ලෝක ධාතුව යි. එවැනි ලෝකධාතු දහසක් ද්වීසහස්සී මජ්ඣිමා ලෝක ධාතුව යි. එවැනි ද්වීසහස්සී මජ්ඣිමා ලෝකධාතු දහසක් තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව යි. ඒතාක් දුරට, එමෙන් ම ඉන් ඔබ්බට ඇසෙන පරිදි උන්වහන්සේට කථා කළ හැකි බව එම සූත්‍රයේ දැක්වෙනවා. එනම් ලෝකය පිළිබඳව උන්වහන්සේ සතු අවබෝධය, සාමාන්‍ය ලෝකයට සිතා ගත නොහැකි බව මින් පැහැදිලි වනවා.

කෙසේ නමුත් මේ අයුරින් මේ විශ්වය පිළිබඳ ව යමෙක් තොරතුරු සොයයි නම්, ගවේෂණය කරයි නම්, එය කිසිසේත් ම විමුක්තියක් කරා යන මාර්ගයට උපකාර නොවන දෙයක් බව උන්වහන්සේ පෙන්වා වදාළා. බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ පඬිවරු ලෝකය අන්තවත් ද අනන්තවත් ද යන ප්‍රශ්න අසා සිටියා. ඒ සෑම අවස්ථාවක දී ම උන්වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට වදාළා. එයට හේතුව වූයේ එය කිසිසේත් විමුක්තියක් සඳහා උපකාර නොවන බැවින්. එසේ ම ලෝක විෂය යනු සිතා අවසන් කළ නොහැකි දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

මේ අයුරින් අප ශාස්තෘන් වහන්සේ ජීවිතය නමැති ලෝකයත්, විශ්වය නමැති ලෝකයත් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදළා. මෙසේ උන්වහන්සේ විසින් ම තම ප්‍රඥා ඇස තුළින් උපදවා ගත් දිවැසින් දැක වදාරන ලද නිරය, ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝකය හා බ්‍රහ්ම ලෝක ආදිය පිළිබඳ වූ අද්භූත විස්තර දේවදූත සූත්‍රය, විමාන වත්ථු, පේතවත්ථු ආදී සූත්‍ර දේශනාවන්හි ඇතුළත් ව පවතිනවා. උන්වහන්සේ දිව්‍ය, බ්‍රහ්ම ලෝකාදී සුගති ලෝක තුළත්, නිරය ප්‍රේත ආදී දුගති ලෝකවලත් සත්වයා උපදවන කුසල සහ අකුසල කර්ම පිළිබඳ ව තම විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ සේක. එසේ ම උන්වහන්සේ මේ සියලු ලෝකයන්ගේ යථාර්ථය මැනවින් අවබෝධ කොට මේ සියලු ලෝකයන්ගෙන් සදහට ම නිදහස් වී වදාළ සේක. මෙනිසා අප භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම ලෝකවිදූ වන සේක. මෙසේ ලෝකවිදූ ගුණයෙන් පරිපූර්ණ ව වැඩ සිටි, ලෝකයෙන් නිදහස් වන්නා වූ අමරණීය මාවත විවෘත කොට අසංඛෙය්‍ය දෙව් මිනිසුන් හට අමෘතය ලැබ දුන් ලෝකනාථ වූ ගෞතම නම් අප ශාස්තෘන් වහන්සේට අපගේ සදාදරණීය නමස්කාරය වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි