පිපාසයෙන් පීඩිතව නිරුදක කතරේ ගමන් කරනා පුරුෂයෙකුට සුළු කලකට අතුපතර විහිද ගිය රුක් සෙවණක ගිමන් හරින්නට ලද සුළු කලෙක මෙන්, සසර දුකින් පීඩිත අපගේ දිවි මගට මනුලොව උපත සුළු කලෙකට ලැබීම සසරේ අත්විඳින පුණ්‍ය විපාකයකි. මනුලොව ලද උපත වඩාත් ආලෝකමත් වීම ඇරඹෙන්නේ සැබැවින්ම, කෙනෙකුගේ ජීවිතයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ ප්‍රභාෂ්වර සූර්ය මණ්ඩලයේ ප්‍රඥා හිරු කිරණ ලද විටය. සැබැවින් ම, ඔබත් මමත් පුණ්‍යවන්තයෝ වෙමු. බුදුවරු සිව්දෙනෙකුගේ පහළවීම සිදු වූ මෙම සොඳුරු කල්පයේ සිව්වෙනි වරට තිලොව සැපය පිණිස පහළ වූ ශාක්‍ය කුලයේ ගෞතම මුනිරජාණන් හද පුරා සරණ යන්නට අපට භාග්‍යය උදා විය.

“මහණෙනි, ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම පුද්ගලයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. මහණෙනි, මොහු වනාහී ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයා ය.”

(අං. නි. – ඒකක නිපාතය)

සැබැවින් ම ඒ බුදුරජාණන් වහන්සේගේ දිවිමග මුළුමනින් ම අසිරිමත් ය. උන්වහන්සේගේ ජීවිතය මෙලොව පරලොව කිසිවෙකුගේ හෝ ජීවිතය හා සම කළ නොහැකි, තවත් එවැනි ම බුදුවරයෙකු හා සමග පමණක් සම කළ හැකි අසමසම දෙයකි.

සීලයෙන් මහපොළව මෙන් වූ, සමාධියෙන් හිමවත් පව්ව සේ වූ, අනන්ත නුබගැබ වැනි ප්‍රඥා මහිමයකින් හෙබි ඒ භාග්‍යවතාණන්ගේ රූප ශෝභාව ද දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මහත් පුණ්‍ය ලක්ෂණයන්ගෙන් පිරී ගොස් තිබිණි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන කොසොල් දනව්වේ චාරිකාවේ වැඩම කරමින් සිටිද්දී, කොසොල් ජනපදයට අයත් වේනාගපුර නම් බ්‍රාහ්මණ ගමට ද වැඩම කළ සේක.

එසමයෙහි වේනාගපුරවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුන් හට බුදුරජාණන් වහන්සේ තම ගම් පියසට වැඩම කළ බවත් උන්වහන්සේගේ අසමසම ගුණ වර්ණනාවත් අසන්ට ලැබී උන්වහන්සේ දකිනු පිණිස පැමිණියහ. ඒ අතර සිටි වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා ආශ්චර්යයි. පුදුම සහගතයි. භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින් ම පැහැපත්. සමේ පැහැයත් පාරිශුද්ධයි. හරියට සරත් කාලයෙහි හටගත් ලපටි ඩෙබර ගෙඩිය පිරිසිදුව දිලිසෙනවා වගේ. නටුවෙන් ගිලිහී ගිය ගමන් වැටුණු තල් ගෙඩිය දිලිසෙනවා වගේ. දක්ෂ රන්කරුවෙක් ඉතා හොඳින් කෝවෙහි දමා තලා පෙලා සැකසූ දඹරන් නිකක් රත් පළසක් මත තිබෙද්දී ලස්සනට බබළනවා වගේ. භවත් ගෞතමයන් වහන්සේ දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පළස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළුලොම් ඇතිරිළි ආදී උසස් ආසන, මහා ආසන සුවසේ ම පරිහරණය කරනවා ඇති.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “බ්‍රාහ්මණය, ඔබ පැවසූ උසස් ආසන, මහා ආසන පැවිද්දන් හට ලැබෙනවා නම් එය දුර්ලභයි. ලැබුණත් කැප නෑ. බ්‍රාහ්මණය, උසස් ආසන මහා ආසන තුනක් තියෙනවා. අන්න ඒ ආසන නම් මම කැමති අයුරින් නිදුකින් ම ලබනවා. ඒ ආසන තමයි,

1. දිව්‍ය වූ උච්චාසයන මහාසයනය

2. බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය

3. ආර්ය වූ උච්චාසයන මහාසයනය

වච්ඡගොත්ත බ්‍රාහ්මණයා නැවත භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවේය. “භවත් ගෞතමයන් වහන්සේ පරිහරණය කරන දිව්‍ය වූ උච්චසයන මහා සයනය කුමක්ද?”

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාසය කරද්දි උදෑසන දන් වළඳා අවසන් වී වනයට පිවිසෙනවා. පිවිස කොළ රොඩු එකතු කොට ඒ මත දෙපට සිවුර අතුරා ඒ මත පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා වාඩිවෙනවා. එසේ වාඩි වී මම පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. එමෙන්ම දෙවෙනි ධ්‍යානය, තෙවැනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය උපදවා වාසය කරනවා. එබඳු විහරණයකින් මම සක්මන් කරනවා නම් එය මාගේ දිව්‍ය සක්මන යි. එබඳු විහරණයකින් මම හිඳගෙන ඉන්නවා නම් එය මාගේ දිව්‍ය වාඩිවීම යි. එබඳු විහරණයකින් මම සැතපී සිටිනවා නම් එය මාගේ දිව්‍යමය වූ සැතපීම යි. එබඳු විහරණයකින් මම සිටගෙන සිටිනවා නම් එය මාගේ දිව්‍යමය සිටීම යි. මෙසේ මෙය මාගේ දිව්‍ය වූ උච්චාසයන මහාසයනය වෙයි.”

“භවත් ගෞතමයන් වහන්ස, මෙය නම් ආශ්චර්යයි. අද්භූතයි. ඔබවහන්සේ හැරුණුවිට මෙවැනි උච්චසයන මහාසයනයක් මේ අයුරින් කවරෙකු නම් නිදුකින් සුවසේ ලබාවි ද! භවත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේ නිදුකින් සුවසේ ලබන බ්‍රහ්මාසනය කුමක්ද?”

“බ්‍රාහ්මණය, උදෑසන දානයෙන් පසු වනයට පිවිසෙන මා කොළ රොඩු එකතු කොට ආසනයක් පනවාගෙන පළඟක් බැඳ ඒ මත වාඩි වී, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගන්නවා. එසේ වාඩි වී සියලු දිශාවල පැතිරී සිටින හැම සතුන් කෙරෙහි ප්‍රමාණ රහිත වූ මෙත් සිත පතුරුවා හරිමි. එමෙන්ම ප්‍රමාණ රහිත වූ කරුණාව, මුදිතාව, උපේක්ෂාව සියලු සතුන් කෙරෙහි පතුරුවා හරිමි.

එබඳු විහරණයකින් මම සක්මන් කරනවා නම් එය මාගේ බ්‍රහ්ම සක්මනයි. වාඩි වී සිටිනවා නම් එය බ්‍රහ්ම වූ වාඩිවීමයි. සැතපී සිටිනවා නම් එය බ්‍රහ්ම සැතපීමයි. සිටගෙන සිටිනවා නම් එය බ්‍රහ්ම වූ සිටීම යි. ඒ වෙලාවෙදි තිබෙන්නේ මගේ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය යි.”

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. අද්භූතයි. මෙවැනි බ්‍රහ්ම වූ උච්චසයන මහාසයනයක් මෙතරම් සුවසේ ඔබවහන්සේ හැර වෙන කවරෙකු නම් ලබන්නද!”

සා පිපාසයෙන් පෙළෙන්නෙක් හට රසවත් මධු ගුලාවක් ලැබුණු විට, ඔහු ඉතා ලොල්බවින් එහි රස ම සොයයි ද, අසිරිමත් භාග්‍යවතාණන්ගේ සොඳුරු විශ්මිත ගුණ අසන වච්ඡගොත්ත බ්‍රාහ්මණයාගේ සිතිවිලි ධාරාව බුදුරජුන් පිළිබඳ දැනගැනීමේ නොනිමි ආශාවෙන් පිරී ගියේය.

“භවත් ගෞතමයන් වහන්සේ නිදුකින් බොහෝ සෙයින් ලබන ආර්ය වූ උච්චාසයන මහාසයනය කුමක්ද?”

“බ්‍රාහ්මණය, උදෑසන දානයෙන් පසු වනයට පිවිසෙන මා කොළ රොඩු එකතු කොට, ඒ මත දෙපට සිවුර අතුරා ඒ මත පළඟක් බැඳ වාඩි වී භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගන්නවා. මම මේ විදිහට දැනගන්නවා. ‘මගේ රාගය…. ද්වේෂය…. මෝහය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. කරටිය සිඳුණු තල්ගසක් මෙන් කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ යළි හට නොගන්නා ස්වභාවයෙන් යුතුවයි තියෙන්නේ’ කියලා.

බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් මා සක්මන් කරනවා නම් එය මාගේ ආර්ය සක්මනයි. යම් විදිහකට එලෙස සැතපෙයි ද, එය මාගේ ආර්ය වූ සැතපීමයි. එබඳු විහරණයකින් සිටගෙන සිටින විට එය මාගේ ආර්ය වූ සිටගෙන සිටීමයි. එබඳු විහරණයකින් මා හිඳගෙන සිටියි නම් එය මාගේ ආර්ය වූ හිඳගෙන සිටීමයි. ආර්ය වූ උච්චාසයන මහාසයනය යනු මෙයයි.”

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි. අද්භූතයි. මෙවැනි ආර්ය වූ උච්චාසයන මහාසයනයක් ඔබවහන්සේ හැර අන් කවරෙකු නම් මෙලෙසින් සුවසේ ලබන්නද!”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත පිබිදී ගිය වච්ඡගොත්ත බ්‍රාහ්මණයා ඇතුලු බ්‍රාහ්මණ පිරිස සිරි පා පියුම් අබියස වැඳ වැටෙමින් තෙරුවන් සරණ ගිය උපාසකයන් බවට පත්වූහ.

සමාහිත සිතක් දරා සිටි අපගේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර ගැඹුරු සමාධියට සමවැදි සේක. උන්වහන්සේ තුළ සියලු සතුන් කෙරෙහි පැවති මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව පැවසීමට මෙලොව වදන් ප්‍රමාණවත් නොවේ. තම බලපරාක්‍රමය පතුරුවන අය අතරින් අග්‍ර වූ, කෙලෙසුන්ට වසඟ වූ සත්වයන්ගේ ඤාතියා වන පාපී මරු බුදුරජාණන් වහන්සේ පසුපස වර්ෂ හතක් සෙවණැල්ල සේ ලුහුබැන්දේ ක්ලේෂ මාත්‍රයක් හෝ බුදුරජුන්ගේ සිත කය වචනය තුළින් හසුකර ගැනීමටයි. තමන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ පැවති හැම කෙලෙස් දොවා හළ සම්බුදු රජුන්ගේ පවිත්‍ර දිවිය තුළ කාට නම් වැරදි සෙවිය හැකිද? නෙළුම් පතෙහි දිය නොරඳින්නා සේ, කෙලෙස් නොතැවරෙන ඒ සම්බුදු හද මඬල ඒකාන්තයෙන් සදා පිවිතුරු ය. මෙතරම් සොඳුරු ගුණැති අනුත්තර ධර්මරාජයාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් සරණ යන්නට ලැබීම අපගේ ජීවිතයට මහත් අස්වැසිල්ලක් ම වන්නේය.

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.