ව්‍ය. ව. පළමුවන සියවසේ දී හෙළදිව මාතුල දනව්වේ අලු විහාර පින්බිමේ දී කුන්තගත්ත තිස්ස රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අටුවා සහිත ත්‍රිපිටක දහම ග්‍රන්ථාරූඪ කෙරුණි. පර්යාප්ති ශාසනය සුරක්ෂිත කරලීමෙහිලා එය අතිශය වැදගත් වූ සංඝ සම්මුතියක් විය. දැනුදු සම්බුදු දහම නිර්මල ව විරාජමාන වන්නේ වළගම්බා රජ දවස මෙබිමෙහි සිදු වූ ඒ ඓතිහාසික මෙහෙවරට පුණ්‍යානුමෝදනා වන්නට ය.
පුරා හතලිස් පස් වසරක් ලොවට සියලු යහපත දන් දුන් සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පෑවේ මින් වසර 2562කට පළමුව ය. ඒ මහා මුනිරජුන්ගේ පිරිනිවන් සමාගමයේ දී “ශෝක නොකරව්. නොවැළපෙව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු. මේවා කරන්න, මේවා නොකරන්න යැයි කියා පනවන්නට දැන් කෙනෙක් නැත්තේ ය.” ලෙසින් සුභද්‍ර පැවසූ නොමනා වචන ශ්‍රවණය කළ ශාසන භාරධාරී, අග්‍ර ධුතාංගධාරී, ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම විනය සංගායනා කරන්නට තීරණය කරනු ලැබූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසක ඇවෑමෙන් සිදු කරන ලද ඒ පළමු ධර්ම සංගායනාවෙන් සියවසරකින් පසු දෙවන ධර්ම සංගායනාව ද දෙසිය තිස්පස් වසරකින් පසු තුන්වන ධර්ම සංගායනාව ද දඹදිව දී ම සිදු විය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සද්ධර්ම දායාදය රැගෙන ශ්‍රී බු. ව. 236 පොසොන් පොහොය දිනයේ ලක්දිවට වැඩම කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඉක්බිති මෙබිමේ සම්බුදු සසුනේ බැබළීම් ද පරිහානීන් ද වරින්වර ඉස්මතු වූ කාල වකවානු මුණගැසේ. එහි ලා වළගම්බා රජ දවස දොළොස් වසරක් පුරා පැවති මහා දුර්භික්ෂය එතෙක් වනපොත් කරමින් දරාගෙන පැමිණි ධර්මස්කන්ධය මතකයේ රඳවන්නට තිබූ කාය මානසික සවිශක්තිය සහමුලින් ම හීන කරලූ කාලයක් විණ. එකල මෙබිමවාසී සංඝයා වහන්සේලා වන කොළ, අල, පළාදියෙන් යැපෙමින් ජීවිත යාත්‍රාව පවත්වා ගනිමින් ත්‍රිපිටක ධර්මය සිහි කර කර බුද්ධ වචනය ම විමසන්නට වූහ. සිරුර කෙළින් තබා ගත හැකි තරම් ශක්තියක් තිබුණු විට උන්වහන්සේලා හිඳගෙන වැඩසිටිමින් ධර්මය විමසූ අතර කෙළින් හිඳගත නොහැකි තරම් සවි ශක්තිය ඌන වූ විට වැලි ගොඩ ගසා වැලි ගොඩ මත හිස් එක්ව පිහිටන ලෙස වැතිර හිඳිමින් ළං කර ගත් හිසින් යුතුව බුද්ධ වචනය ම විමසූහ. අකුරකුදු නෑර අටුවා සහිත උතුම් ත්‍රිපිටක ධර්මය මතකයේ දරා ගත්තේ වැටකෙයියා යුෂයෙන් යැපුනු ඒ දීපවාසී සඟ පරපුරත්, එකල දඹදිව බලා වැඩම කොට ධර්මවිනය ම සජ්ඣායනා කරමින් වැඩ හුන් සඟ පරපුරත් ය. අලු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කෙරුණේ එසේ යතිවරයාණන් වහන්සේලා දිවි පුදා රැක ගත් පෙළ දහමත්, අටුවාවත් ය.

පසුගිය ජනවාරි 5 වන දා අලු විහාරයේ දී ම උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කෙරුණේ අපට ජාතික, සංස්කෘතික දායාදයක් වූ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව පාපී බලවේගයන්ගෙන් කිලිටි වීම වළකාලමිනි. එසේ ම මාර්තු මස 16 වන දා සිට ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරලීම පිණිස ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කොට නොයෙක් වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරිණි. මේ සියලු ව්‍යායාමයන් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය. උතුම් තෙරුවන් සරණින් එකී වෑයම සඵල වේවා යන්න අපේ ද ප්‍රාර්ථනය යි.

එහෙත් එපමණකින් යුතුකම අවසන් නැත. අධර්මවාදීන් බලවත් වන්නේ ධර්මවාදීන් නොවන කල්හි ය. අධර්මය අප යටපත් කරන්නේ අප ධර්මය දරා නොගත් කල්හි ය. එනිසා, ත්‍රිපිටකය ජාතික හා ලෝක උරුමයක් පමණක් නොව අපේ උරුමයක් ද කර ගත යුතු ම ය. ඒ වෙනුවෙන් සියල්ලෝ ගෞරවයෙන් යුතුව ත්‍රිපිටක දහම පරිශීලනය කරත්වා!

– මහාමේඝ