කලකට ඉහත දී ලිච්ඡවී පාලනයක් ගැන කතා බස් කෙරූ දේශපාලන කරළිය මෑතක දී සිහිපත් කරනු ලැබූයේ හිට්ලර් පාලනය ගැන යි. දේශපාලනික මතවාද එසේ ම වෙත්වා, රටට වුවමනා කවරක් ද යන්න දේශපාලකයන් නොව රටවැසියන් වශයෙන් අප විසින් තීරණය කළ යුත්තකි.

යටත්විජිත භාවයෙන් මිදී ලද නිදහසින් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ අප ත්‍රස්තවාදයෙන් ද දේශපාලනයෙන් ද බැට කෑ බව නොරහසකි. කුරිරු ම්ලේච්ඡත්වය වැපිරූ ප්‍රභාකරන්ගේ අරගලය ලෙයින් කඳුළින් මේ බිම කෙලෙසා දමද්දී බලකාමී පාර්ලිමේන්තු ක්‍රමයකට එක් වූ පාලකයන් අති බහුතරය සමස්තයක් ලෙස අදූරදර්ශී ව ගෙන ගිය පාලන තන්ත්‍රයන් නිසා මේ බිම සමාජ ආර්ථික වශයෙන් ද කෙලෙසිණ. අප අද සිටින්නේ ඒ සියල්ලෙන් පීඩිත සමාජයක ය.

ත්‍රස්තවාදය පරදවා වසර නවයක් ගෙවී ගිය ද දේශපාලනික වශයෙන් හැත්තෑ වසරක් පුරා පැමිණි ගමන තුළ ඇති වූ අර්බුදකාරී භාවයන් ජය ගන්නට අපට හැකි වී නැත. හුදෙක් බල අරගලයක් බවට පත් වී තිබෙන පාලන යාන්ත්‍රණය තුළ සිංහල බෞද්ධයන් හට අපේක්ෂා තබා ගත හැකි අන්දමින් රටට, ජාතියට, ආගමට ඵලදායී වන යහපත් ප්‍රතිපත්තියක් වෙත එළඹෙන නායකයෙකු සොයා ගැනීම ද කළුනික සොයන්නාක් වැනි ව තිබේ. වරින් වර තෝරා පත්කර ගනිමින්, වරින් වර ප්‍රතික්ෂේප කරමින් කවුරුන්ට හෝ රට භාර දීම වෙනුවට දූරදර්ශී ව රටේ හෙට ගැන බැලිය යුත්තේ එනිසා ය.

හිට්ලර් වැනි කුරිරු, රෞද්‍ර පාලකයෙකු මේ බිමට වුවමනා නැත. ජනයා භීතියෙන් මුසපත් කරවමින්, බලහත්කාරයෙන් අණසක පතුරුවන්නන් එදා සේ ම අදත්, හෙටත් බැහැර කළ යුතු ය. ප්‍රචණ්ඩත්වය යනු දියුණු වන ජාතියක සලකුණක් නො වේ. නිවට නියාළු බවට පත් දීනයන් ද අපට වුවමනා නැත. කොඳු ඇට බිඳ ගත් බෙලහීනකම ද දියුණුවේ සලකුණක් නො වේ. අපට වුවමනා රටට ආදරය කරන්නවුන් ය.

රටට ආදරය කිරීම හුදෙක් වචනයෙන් කළ හැක්කක් නො වේ. රටේ ඉතිහාසය දන්නා, රටේ වටිනාකම දන්නා, රටේ අක්මුල් දන්නා කෙනෙකු ම විනා අනෙකෙකු මාතෘ භූමිය පාරිශුද්ධ වස්තුවක් ලෙසින් පිළිගෙන එහි අභිමානය රකින්නට ඇප කැප වන්නේ නැත. අද අප අත්දකින්නේ එකී සත්‍යය යි. රට කරවූ පැලැන්තියකින් පැවත ආ නිසාවෙන් හෝ මුඛරි ව කථා කළ හැකි නිසාවෙන් හෝ දේශපාලකයෙක් වන්නට කැමති වූ නිසාවෙන් පාලනය භාර දීමෙන් අපට සිදු වූ හෝ සිදු වන යහපතක් නැත. පුද්ගලයෙක් හෝ සමූහයක් වශයෙන් අවංක ව රටට ආදරය කරන, රටේ අභිවෘද්ධිය අපේක්ෂා කරන ප්‍රතිපත්තිගරුක භාවයක් අපට ඉක්මනින් ම වුවමනා ය.

මේ පින්බර රටට දැයට සමයට හිතෛෂී යතිවරු සිටිති. අතීතයේ මෙබිම ස්ථාපිත ප්‍රෞඩත්වය පිළිබඳව ද සංවේදී – නීතිගරුක, ගුණගරුක වියත්තු ද සිටිති. දේශයේ පාලනය තමන්ගේ රැකියාව කොට නොගෙන අනාගතය වෙනුවෙන් යහපත් දැක්මක් වෙත රට ගෙන යාම විශ්වාසයෙන් භාර කළ හැක්කේ එවන් පිරිසකට ය. ඒ පිරිස බලවේගයක් කොටගෙන රටේ ගමන්මග වෙනස් කරලීම වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය වීම දැන් අත්‍යවශ්‍ය ය.

දැන් දැන් ම එය නො කළහොත් අනාගත පරපුර අපෙන් ප්‍රශ්න කරනු ඇත්තේ පිරිහීම පෙනි පෙනී වෙනසක් කරන්නට යුහුසුළු නොවූයේ ඇයි කියා නොවේ; වෙනසක් කළ යුතුව තිබුණ කාලයේ අප කළේ කුමක් ද කියා ය. හිට්ලර් විනාශය ගෙන ආවේ අමනෝඥ ක්‍රියාපිළිවෙළිනි යි කියා අප චෝදනා කරන්නාක් සේ ම, අප විනාශය වෙත ගියේ ක්‍රියාත්මක විය යුතු තැන අමනෝඥ ව නිහඬ වීමෙනි යි කියා අනාගත පරපුර චෝදනා නොකරාවි ද?