අවරගිරින් සැඟවෙන හිරුගේ මලානික හිරු රැස් නිසාවෙන් අවට පරිසරය විදහා පෑවේ උදාසීන බවක්. උදෑසන ආහාර සොයා ගිය සියොතුන් නැවත තම කැදැලි කරා පියඹා එන්නට පටන් ගෙන.

“පුතේ එන්නකො චූටි කුරුල්ලෙක් පෙන්නන්න. අර බලන්න චූටි බට්ටිච්චෙක් රෑට නිදා ගන්න තැනක් හොය හොය අත්තෙන් අත්තට පැන පැන ඉන්නවා.”

“අම්මා, ඇයි ඔය ඇඳුම් ඇඳගෙන ඉන්නේ? අම්මා අදත් night ද? දැන් අම්මා යනවා ද hospital?

“ඔව් පුතේ… අම්මා අද රෑ වැඩනේ.”

“ඉතින් අම්මා උදේ විතරක් යන්නකො. රෑට ගෙදර ඉන්නකො.”

“පුතේ හැමදාම නෙවෙයිනේ. මගෙ පුතා ඉස්කෝලේ වැඩ ඉවර කළා නේ ද? මගෙ හොඳ පුතා. පුතාට මං රස බත් හදලා තියලා යන්නේ. තාත්තා එක්ක ඔක්කොම කන්න ඕන. හෙට උදේ ම නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න. අම්මා පුතාට බඩුවක් අරන් හෙට ඉස්කෝලෙ ළඟට ඇවිත් ඉන්නම්.”

කඩිනමින් සූදානම් වූ මා එහා වංගුවෙන් ඇසුන නලා හඬට පාරට දුවවිත් බසයට නැගුනා. නියමිත වේලාවට විනාඩි 15කට කලින් අත්සන් කොට වාට්ටුවට ගියේ අද වැඩ කටයුතු කෙසේ වී දැයි සිතමින්.

“මිස්, අද නම් වාට්ටුව බිසී වුණා. පපුවෙ අමාරුව හැදුන ලෙඩෙක් ආවා. එයා HDU (high dependency care unit) දැම්මා. එයා ගැන බලන්න ඕන. තව ETU එකේ ඉන්නවාලු වස බීලා ආපු ලෙඩෙක්. ඒ ලෙඩා මෙහෙට ගේයි.”

හවල් වැඩ මුරයේ යෙදී සිටි හෙදිය මා හට වාට්ටුව භාර දී පිටව ගියා.

වැඩ කටයුතු බොහොමයක් අතරතුර කාලය ගෙවිලා ගියා. විවේක ගන්න වේලාව ළං වුණා. විවේක කාමරයට ගොස් මුහුණ කට සෝදා ඇඳෙහි ඇල වුණත් නිදිමතක් දැනුනේ නෑ. ඒත් ඇඟට දැනුනේ මහත් විඩාබර බවක්. ඇඟට මහන්සි වෙලාවට වෙනදා නම් ඉක්මනින් නින්ද යනවා. ඒත් අද? පපුවෙ අමාරුව හැදුන ලෙඩාට අසාධ්‍ය වුණේ රෑ 8ට විතර. අවශ්‍ය බෙහෙත්, කෘත්‍රිම ශ්වසනය දීලා අමාරුවෙන් පණ නළ රැක ගත්තේ. පොඩි දරුවන් දෙදෙනෙකුත් ඉන්නවාලු. වස බීපු ලෙඩාත් දැඩිසත්කාර ඒකකයට දාපු එක හොඳයි. ජීවිතේ විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවා ද? ප්‍රශ්නයක් ආවම විසඳුම් හොයන්නෙ මරණයෙන්. හිතාගෙන ඇති මැරුණා ම ප්‍රශ්න විසඳෙනවා කියලා
ම්… ගෙදරට කථා කරන්න ඕන. පුතාගෙ ඇඟ රස්නෙයි කියලා අම්මා කථා කරලා කිව්වානෙ. උණ හැදෙන්නවත් ද දන්නෙ නෑ. මේ දවස්වල වයිරස් උණත් පැතිරෙනවානෙ. ඒත් මට ගෙදර යන්න වෙන්නෙ පරක්කු වෙලා. හෙට උදේ උණ තිබුණොත් ඉස්කෝලෙ යවන්න එපා කියනවා.

ඇත්තෙන්ම හෙදකම කියන්නෙ පුදුම රැකියාවක් කියලා වෙලාවකට හිතෙනවා. ගෙදරදොර වැඩ කටයුතු, කාර්යබහුලත්වය, රාත්‍රී සේවා මුර නිසා වෙලාවකට හිතෙනවා නිදහසක් නැති රැකියාවක් කියලා. නිවසේ වැඩ කටයුතු, දරුවන්ගෙ කටයුතු, රාජකාරි වැඩ කටයුතු හරියට ම කළමනාකරණය කර නොගතහොත් ප්‍රශ්න ගොඩයි.

අප හෙද විදුහලේ ඉගෙනුම ලබන විට අපේ පංති භාර ගුරුතුමිය අපට කිවුවේ මේ රැකියාව හරියට ම කළොත් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්, හරියට නොකළොත් අපායෙ යන්න පුළුවන් කියලා.

හ්ම්ම්…. ඇත්ත ම තමයි. අපේ රැකියාවෙ අරමුණ රෝගී සත්කාරය යි. ඉපදුණු හැමෝ ම ලෙඩ වෙනවා. ලෙඩ වුණා ම හැමෝ ම අසරණ වෙනවා. ඇඟ දුර්වල වෙලා. තනියම නැගිට ගන්න බෑ. ඇවිදින්න බෑ, කෑම කන්න බෑ. වැසිකිළි කැසිකිළි කර ගන්න අපහසු වෙනවා. සමහර අවස්ථාවලදි ශරීරයේ කොටස් ඉවත් කරන්න වෙනවා. ශල්‍යකර්මවලට භාජනය වෙන්න වෙනවා. අවයව බද්ධ කරන්න වෙනවා. කය විතරක් නොවෙයි, මනසත් රෝගී වෙනවා. රෝගී බවට වයස් සීමාවක් නෑනෙ. ඒ හැමෝම රෝගී වුණා ම අවශ්‍ය උපකාර, උපස්ථානය සැලසීම හාරව තියෙන්නේ සෞඛ්‍ය සේවයේ යෙදෙන අපට යි. වාට්ටුවේ නිරන්තරයෙන් ම සරන හෙද නිලධාරියා හට වැඩි කාර්යභාරයක් පැවරෙනවා රෝගී සත්කාරය පිළිබඳ ව. සේවය ලබා ගැනීමට පැමිණෙන විවිධ සමාජ තරාතිරම්වල අය අපට මුණගැහෙනවා. ඒ අය සමඟ කටයුතු කළ යුතු ආකාරය විවිධ වන්නට පුළුවන්. නමුත් ඒ කිසිම මොහොතක තරහ සිතක් ඇති කර නොගෙන, නපුරු වචන කථා නොකොට රෝගියා කෙරෙහි මෙත් සිතින් කටයුතු කිරීම යි වඩාත් උචිත වනුයේ.

ආදරයෙන් කරුණාවෙන් කතාකරන වචන ටික ම රෝගියෙකු හට අනගි ඖෂධයක්. රෝගී පුද්ගලයකු කියන දෙය අසා සිට ඊට සුදුසු කථා බහක යෙදීමමත් ඖෂධයක්. කලට වේලාවට ඖෂධ ලබා දී අනෙකුත් ප්‍රතිකාර, පරීක්ෂණ කටයුතු ආදියට රෝගියා යොමු කිරීම හෙද නිලධාරීන් වෙතින් කිසිසේත් අතපසු නොවන කාර්යයක්.

“ඒත් ඉතිං අපිත් මනුස්සයොනෙ. යන්ත්‍ර නෙමෙයි නෙ.” සමහර වෙලාවලදි කාර්යබහුලත්වය සමඟ මේ වචන හිතට එනවා. තරහ සිතක් ඇති වන වෙලාවලුත් නැතිව නොවෙයි. ඒ වගේ වෙලාවට සිත කලබල වෙනවා. කලබල සිතකින් කටයුතු කිරීම අපහසුවක්. වැඩ කටයුතු අතපසු වෙන්නත් පුළුවනි.

නමුත්… අප හැමෝටම එක ම පිළිසරණ වූ එක ම සැනසිල්ල වූ ‘බුද්ධ වචනය’ ඒ සියලු පීඩා දුරු කර දමනවා. රෝගී ව අසරණ ව වැඩ හුන් පූතිගත්තතිස්ස තෙරණුවන් හට උපස්ථාන කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, යම්කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ඒ කෙනා උපස්ථාන කරන්නේ මටයි. යම් කෙනෙක් මට උපස්ථාන කරනවා නම් එයා කරන්නේ ගිලනුන්ට උපස්ථාන කරන එකයි.”

(යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය සෝ ගිලානං උපට්ඨහය්‍ය)

ඇත්තෙන්ම අපට අපේ රැකියාවෙන් ම පින් රැස්කර ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩනොසිටින මෙවන් කාලයක ‘බුද්ධෝපස්ථානය’ සිදුකර ගැනීමට ලැබීම තෙරුවන් සරණ ගිය අප හට කෙතරම් භාග්‍යයක් ද?

‘වඩින විට පිඬු සිඟා – නෙත් කැළුම් බිම යොමා
බෙදන්නට දන් පිඬක් – අනේ මට බැරි වුණා…’

කවි පෙළ සජ්ඣායනය කරන විට ඇස්වලට උනන කඳුළු දුකක් නැතිව පිසදා ගන්න පුළුවන් මං උතුම් බුද්ධ වචනයට අනුව බුද්ධෝපස්ථානය වැනි වූ රෝගී උපස්ථානය සිදු කොට ඉමහත් පින් රැස්කර ගන්නවා නේ ද කියලා.

ඒ සැනසිල්ල හිතට ලබා දෙන්නේ පුදුම ශක්තියක්. ඒ ශක්තියත් සමඟ කායික පීඩා, මානසික පීඩා දුරු වෙලා යනවා ඔබට අත්දකින්න පුළුවන් වේවි. රෝගීන් කෙරෙහි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහගත සිතිවිලි ඔබ සිතෙහි පහළ වේවි. ඒ පහන් සිතිවිලිවලින් පිරී යන සිතින් යුතුව සිටින ඔබට කිසිදු කටයුත්තක් අතපසු නොවේවි. එවිට රාජකාරි ස්ථානය පීඩාකාරී ස්ථානයක් නොවේවි. කාර්ය මණ්ඩලයේ අන් අය සමඟ සුහදව සතුටින් කටයුතු කරන්නට හැකි වේවි. නිවසට යන විට නිවසේ ගොඩ ගැසී ඇති වැඩ කටයුතු සතුටින් කරන්නට හැකි වේවි. එවිට රාජකාරියට ඒමත් යාමත් ඔබ සතුටින් සිදු කරාවි. යම් ප්‍රශ්නයක් හට ගැනුනොත් ඔබට භාග්‍යවතුන් වහන්සේ සිහි වේවි. ධර්ම රත්නය, සංඝ රත්නය සිහි වේවි. උතුම් තුනුරුවනේ ආනුභාවයෙන් දුක් පීඩා සන්සිඳේවා යන සිතුවිල්ල ඔබ සිතට නැගේවි. පිනෙන් සතුටු වන සිතක් ඔබට ලැබේවි. ගෞතම බුදු සසුනේ පිහිට ලබන පින්වතෙකු වන්නට හැකි වේවි. ඉපදීමෙන් ලබන ජීවිතය මරණයෙන් අවසන් වෙලා යනවා. ඒ මොහොතෙදි පවා සතුටින් සිහි කරන්නට හැකි පින් රාශියක් ඔබ රැස් කරගෙන සිටීවි.

සුගති සැපය සලසාලන මේ උතුම් වෘත්තිය අප ලැබූ භාග්‍යයක්. ඉන් රැස් වෙන පින් සුගති සැපය පිණිසත්, ඝෝර සසරින් නිදහස් වීමටත් උපකාරයක් ම වේවා…!

සටහන – උත්පලා නදුනි ලියනගේ