සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ නොවන්ට ගෙවී ගිය සවිසි සියවසක යුගයේ ලෝවැසි මනුෂ්‍ය වර්ගයාට අත්වන්ට තිබු ඉරණම කවරේදැයි සිතා ගැනීමටවත් නොහැකි තරම් ය.

මානවයා සභ්‍යත්ව යුගයකට පිවිසෙන්ට වූ අවදියේ සිට ව්‍යවහාර වර්ෂ පූර්ව හයවැනි සියවස දක්වා සදෙව්ලොව – බඹලොව වැසි දෙව් බඹුන් මනුලොව දෙස නෙත් සිත් යොමා නොඉවසිලිමත්ව බලා සිටින්ට ඇත්තේ අසංඛ්‍ය යුගයකට පසු තුන් ලෝ වැසියන්ට විමුක්ති මඟක් ලබා දිය හැකි ප්‍රඥාංකුර මහා වීරයෙකු මනුෂ්‍ය වර්ගයා අතරින් පහළ වන තුරු ය.

උභය කුල පරිශුද්ධ ඔක්කාක රජ පරපුර දඹදිව මධ්‍ය දේශය වූ බුද්ධ භූමියේ බිහිව ඇති බැව් ද නුවණ මහුකුරා ගිය මානව ප්‍රජාවක් සිටින බැව් ද දත් තුසිත දෙව් ලෝ දෙවියෝ බෝසතාණන් වූ සන්තුසිත දෙවියන් වෙත එළඹ මහා දේවාරාධනාව සිදු කළහ.

“මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේට මනුලොව මවු කුසක උපදින්ට මේ සුදුසු කාලය යි. සදෙව් ලෝවාසීන් හා මනු ලෝවාසීන් සසර ගමනින් එතෙර කරවීම පිණිස මනුලොවට වැඩමවීමට අපි ඔබ වහන්සේට ඇරයුම් කරමු.”

දෙව් ලෝවාසී දෙවියන්ගේ නොඉවසිලිමත් බව, බුදු කෙනෙකුන් ලොව පහළ වනු දකිනු කැමැත්තෙන් සිටි අයුරු, ඒ සඳහා කාලය එළඹ ඇති බව ‘කාලෝයං තේ මහාවීර…. බුජ්ඣස්සු අමතං පදං’ යන ඇමතුමෙන් පැහැදිලි වෙයි. බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් අවලෝකනය කරමින් දඹදිව කපිලවස්තු පුර නම් වූ රම්‍ය භූමියේ සුද්ධෝදන මහරජුගේ දේවිය වූ මහාමායා බිසොවුන් කුස පිළිසිඳ ගන්නේ දෙවියන්ගේ ඒ ඇරයුම අනුව ය.

දඹදිව මධ්‍ය මණ්ඩලයේ මවුපිය දෙපාර්ශවයට ම උරුම ලුම්බිනි නම් වූ රම්‍ය සල් උයනේ විසල් සල් රුකක් පාමුල මිහි තලය, බෝසත් කුමරාණන්ගේ මොළකැටි සිඟිති දෙපා පිළිගත්තේ සකල ලෝකධාතූන් සසල කරවමිනි.

අසංඛ්‍ය ආත්ම ගණනාවක් මුළුල්ලේ පිරූ පාරමිතා ගුණ මහිමයෙන් සිය පින් සිරින් සරු වූ දෙතිස් ලකුණින් පිරි කුමරාණන්ගේ මහා පුරුෂ ලකුණු දුටුවෝ එදවස දේහ ලක්ෂණ ශාස්ත්‍රයෙහි විසාරද ව සිටි බමුණු ඍෂිවරයෝ ය. ලොව ඉතා උතුම් ජීවිකා වෘත්තිය වූ ගොවිකම් මහා වප්මඟුල් උළෙලක් පැවැති දින දඹරුක් සෙවණේ පළක් බැඳ වැඩ හිඳ ආනාපානසති භාවනා පෙළහර පා පියාණන්ගේ දෙවන වැඳුම ද ලැබුවේ මහාපුරුෂ ලකුණින් හෙබියා වූ කුමරාණෝ ය. කුඩා වියේ සිට ම ලෝවැසි සෙසු දනන් අභිබවා යන බුද්ධි ප්‍රභාවක් ප්‍රකට කරමින් උපදේශක ඇදුරන්ගේ මඟපෙන්වීම අනුව සෑම ශාස්ත්‍රයක ම විස්මිත දක්ෂතා පිළිබිඹු කළේ ඒ සියලු සිප් සතර ක්ෂණික ව ග්‍රහණය කර ගනිමිනි.

ඉසිවර බමුණන් පළ කළ අනාවැකි පරිදි සක්විති රජ සැපත ගැන අබැටක පමණ කුදු ඇල්මක් නොදැක්වූ සිදුහත් කුමරාණෝ, තම පියාණන් විසින් තුන් කල් සුවපහසු සලසන ලද මැදුරුවලින් නික්ම ගොස් දිළිඳු ජනයාගේ දිවි පෙවෙත ගැන විමසිලිමත් වූහ. තම පියාණන්ට සුළු මවට සේ ම වැඩිහිටියන්ට ද ඇදුරුවරුන්ට ද නිසි ගෞරවය දැක්වූහ. රජ කුමරෙකු ලෙසින් පුහුණුව ලැබිය යුතු සියලු ම ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළ පැමිණි බෝසත් කුමරා ඒ බව සිප් හරඹ දැක්වීමේ සාම්ප්‍රදායික රාජ්‍ය උත්සවයේ දී ප්‍රකට කළේ මුළු දඹදිව වැසියන් විස්මයට පත් කරවමිනි.

සියලු සත්වයන් කෙරෙහි අපමණ කරුණාව දැක්වූ සිදුහත් කුමරාණෝ තම සුහුරුබඩු දේවදත්ත කුමරා විසින් විද බිම හෙළුෑ හංසයා සුවපත් කොට මුදාහැරි අයුරු, ඓතිහාසික මූලාශ්‍ර ඇසුරු කොට  ‘Where the Buddha Trod’ නමින් ග්‍රන්ථයක් ලියූ රේවන් හාර්ට් නම් පඬිවරයා සවිස්තරාත්මක ව දක්වා තිබේ. තමා විවාහපත් වූ බිම්බාදේවි කුමරිය සමඟ 13 වසරක් ගත කළ සන්සුන් තැන්පත් දිවි පෙවෙත ලොව සෑම තරුණ තරුණියකට ම මනා ආදර්ශයකි.

මේ පරිද්දෙන් අල්පමාත්‍ර වශයෙන් සඳහන් කළල කියා ලියා නිම කළ නොහෙන ගුණ ගණයන්ගෙන් හෙබි උත්තර මානව රත්නයක් තුන් ලෝවාසීන්ගේ හිත සුව උදෙසා ලොවට පහළවන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනින් යුත් යුගයකට පසු ලබන බුද්ධෝත්පාද කාලයක ය.

මීට අවුරුදු දෙදහස් හයසිය අටකට පෙර උරුවේලාවේ නේරංජරා නදී තීරය අසබඩ ගයා ශීර්ෂයේ ඇසතු බෝධි වෘක්ෂ මූලයේ සමාධියෙන් වැඩ හිඳ මහත් වෙහෙස විඳ පසක් කර ගත්තා වූ ආර්ය පර්යේෂණය තුළින් සාක්ෂාත් කොට ගත් පරමෝත්කෘෂ්ට සම්බුද්ධත්වය කවරේදැයි වටහා ගතයුත්තේ උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් ම ය.

අචින්ත්‍ය, අවාච්‍ය, අවේද්‍ය, බුද්ධත්වය නම් වූ උත්තර මානව ස්වභාවය ලෞකික වූ මානවයා විසින් නොදත හැක්කේ එහි විද්‍යමාන අලෞකික ලෝකෝත්තර ස්වභාවය නිසා ය.

බෝධිසත්වයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාව පසුකාලීන ධර්ම ග්‍රන්ථයන්හි විවිධ භාෂා රීති ප්‍රයෝග මඟින් විස්තරාර්ථ ව වර්ණනා කොට ඇත්තේ සම්බුද්ධ දේශනාවන් ම ඇසුරු කොටගෙන ය. මෙම අසිරිමත් අසාමාන්‍ය අවස්ථාව පූජාවලිය ග්‍රන්ථයේ වර්ණනා කොට ඇත්තේ මෙසේ ය:

“මාගේ බුදුරජාණන් වහන්සේ එදා රෑ හිරු අස්තයට නොඑන තුරු මර සෙනඟ බිඳ පියා බෝමැඩ අරා වැඩ හිඳ දස පෑ ගිය වේලෙහි අනන්තාපර්යන්ත වූ ලෝක ධාතුවෙහි සතුන්ගේ පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ ලදින් විසි පෑ ගිය වේලෙහි අසංඛ්‍ය ගණන් සක්වළ පර්යන්තයෙහිත් තිබූ වස්තුවක් කරතලාමලකයක් (අතපත් නෙල්ලි ගෙඩියක්) සේ පෙනෙන්නා වූ දිවැස් ලදින් තුබූ දසපැයෙහි ප්‍රතිත්‍ය සමුප්පාදයෙහි ප්‍රඥාව බහාලූ සේක.

එවේලෙහි මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝමයෙන් ප්‍රතිත්‍ය සමුප්පාදයෙහි ධර්මයන් සම්මර්ශනය කරත් කරත් දස දහසක් සක්වළ මහ පොළෝ දොළොස් දොළොස් වාරය බැගින් මෙසේ එක්ලක්ෂ විසිදහසක් වාරයෙහි ගර්ජනා පතුරුවා සාධුකාර දෙන්නා සේ මහී ගර්ජනා නම් පූජාවක් කළේ ය.

මෙසේ දස දහසක් සක්වළ එක පැහැර ගර්ජනා කරවා අනුක්‍රමයෙන් සෝවාන් මාර්ගයට පැමිණල සෝවාන් ඵලයට පැමිණල සකෘදාගාමී මාර්ගයට පැමිණල සකෘදාගාමී ඵලයට පැමිණල අනාගාමී මාර්ගයට පැමිණල අනාගාමී ඵලයට පැමිණල අරහත් මාර්ගයට පැමිණල අරහත් ඵලයට පැමිණ ඉක්බිත්තෙ

මෙසේ අරුණු නැඟෙන වේලෙහි සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදු ව අනන්තාපර්යන්ත වූ සත්වයන් දැක උපන් මහා කරුණාවෙන් සවණක් බුදුරැස් ඒ ඒ දිග විහිදුවාහළ සේක.”

සම්බුද්ධ නාමය පිළිබඳ පූර්ණ අර්ථ විවරණයක් දක්නා ලැබෙන්නේ පටිසම්භිදා මග්ග අට්ඨ කතාවෙහි ය. එම උත්තර මානව තත්ත්වය ලොව කිසියම් කෙනෙකු විසින් ආරෝපණය කරන ලද්දක් නොව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් ම සමාධිගත යථාර්ථාවබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් පසක් කොට ගනු ලැබූ ප්‍රඥප්තියකි.

බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තීරය අසබඩ ගයා හිස වැඩ හිඳ සර්වඥතාඥානය සාක්ෂාත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලබාගන්නා ලද අනුත්තර සම්බෝධිය හා එහි ස්වභාවය ගැන පටිසම්භිදා මග්ග අට්ඨකථාව දීර්ඝ විවරණයක් ඉදිරිපත් කර තිබේ.

පූර්ව ආත්ම භාවයන්හි අසංඛ්‍ය ආත්ම භාව ගණනාවක ඉපිද පිරූ පාරමිතා ගුණ දහම් බලයෙන් මුහුකුරා ලද ගැඹුරු ජීවිතාවබෝධය තුළින් බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය හා වෙන් කළ නොහැකි සේ අනුබද්ධව පවත්නා ජරාවට පත් වීම, ව්‍යාධිය හා මරණය යන ස්වභාවයන් ඉතා ගැඹුරින් අවබෝධ කොටගත් සේක. උතුම් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා කරන ලද අනාවරණයක් සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ නගර සූත්‍රයෙහි දැක්වෙයි:

“පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදහෝසි. කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස- කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සාති.”

“පින්වත් මහණෙනි, සම්බෝධියට පෙර බුද්ධත්වයට පත් නො වූ බෝධිසත්ව අවස්ථාවෙහි මා හට මේ අදහස පහළ විය. “ලෝක සත්වයා පත්ව සිටිනුයේ ඉතා කටුක ඉරණමකට ය. එනම් ලෝකයේ සත්වයා උපදියි; වයසට පත්වෙයි; මිය යයි; මෙලොවින් ඉවත් වෙයි; නැවත උපදියි. එහෙත් හෙතෙම මෙම ජරා මරණ සංඛ්‍යාත වූ දුකෙන් නිදහස් වීමක් නොදකියි. ජරා මරණ සංඛ්‍යාත වූ මෙම දුකින් නිදහස් වීමක් කවදා දක්නට ලැබේ ද?” යනුවෙනි.

ලෝක සත්වයා නිබඳ පෙළන මෙම අනුභූතිය බුදුරජාණන් වහන්සේ ලැබ ගත්තේ කෙසේ ද යන ගැටළුවට පිළිතුරු සෙවීමේ දී අප යොමු විය යුත්තේ සම්බුද්ධත්ව ඥානය පිළිබඳ පැතිකඩ කෙරෙහි ය. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් හමුවේ පැවැත්වූ ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පැහැදිලි කොට වදාළේ සම්බුද්ධත්වය හා සම්බන්ධ වූ මෙම ඥානය සාක්ෂාත් කොටගත් ආකාරය යි. තමන් වහන්සේ පසක් කොට ගත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය උන්වහන්සේ මෙසේ අවධාරණය කළ සේක:

“ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි”

“පින්වත් මහණෙනි, මෙය වූ කලී දුක නම් වූ ආර්ය සත්‍යය යයි මා හට පෙර නොඇසූ විරූ දහම්හි දහම් ඇස පහළ විය; නුවණ පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය.”

මෙසේ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍ය සතර පිළිබඳ ව ම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් පූර්වෝක්ත ඥාන දර්ශනය සාක්ෂාත් කරන තුරු ම තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ බව අනාවරණය නොකළහයි බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් අමතා වදාළ සේක. ධම්මචක්කප්පවත්තන සූත්‍රය අවසන් කරමින් උන්වහන්සේ තවදුරටත් වදාළේ,

“ඤාණං ච පන මේ දස්සනං උදපාදිල අකුප්පා මේ චේතෝ විමුත්තිල අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ.”

“මා තුළ ඥාන දර්ශනය ඇති විය. මගේ මානසික විමුක්තිය ලොව කිසිවෙකුටවත්, කිසිවකටවත් සසල කළ නොහැකි ය. මෙය වූ කලී මාගේ අවසන් උපතයි. නැවත භවයක් මා හට නොමැත්තේ ය.”

මේ සා අභීත සිංහ නාදයක් එදා මෙදාතුර කිසිවෙකුට කළ නොහැකි විය. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් සර්වඥතා ඥානය පිළිබඳව සූත්‍ර ධර්ම රාශියකින් ප්‍රකාශිත ය. බෝධිසත්ව අවධියේ සිට තමන් වහන්සේගේ දිවි පෙවෙත පිළිබඳව බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇති මජ්ඣිම නිකායේ මහා සච්චක, මහා සීහනාද, අරිය පරියේසන, සංයුක්ත නිකායේ නගර යනාදී සූත්‍රයන්ගෙන් උතුම් සම්බුද්ධත්වය යනු කවරේදැයි වටහා ගත හැකි ය.

සටහන – දයාපාල ජයනෙත්ති