තුරුගොමු අතරින් හිරුමඬල එබිකම් කරද්දී විකසිත වන මලට රොද බැඳි බිඟුන්ගේ ගුමු ගුමු නාදය ගම්භීර දහම් සජ්ඣායනයක් සේ ය. තුරු හිස කුරුලු කොබෙයියන් මිහිරි සරින් බුදු බණ මුමුණන්නා සේ ය. මුදු හඬින් ගලා යන fදාළ පාර අතරින් හමා ආ සිහිල් මඳනල ගත මෙන් ම සිත ද සුවපත් කරද්දී අසල වූ රුක් සෙවණෙහි එක්තරා තෙරණින් වහන්සේනමක් බවුන් වඩන්නී ය. සක්මනට බට තවත් තෙරණියක් දහම් විචාරන්නී ය. මෙහෙණවරෙහි හුන් භික්ෂුණීන් වහන්සේලා හිමිදිරියේ ම වත් පිළිවෙත් අවසන් කොට බුද්ධානුශාසනාවේ යෙදෙති.

හෝරා කීපයක් ගත විය. සක්මනෙහි හුන් තෙරණින් වහන්සේගේ පා එසවුණේ රුක් සෙවණෙහි බවුන් වැඩූ සොඳුරු තැනැත්තිය වෙත ය.

“මා දුටුවා ඔබතුමිය බොහෝ වේලාවක් සමවත් සුවයෙන් කල් ගෙවූ බව… මං කතා කරන්න ආසාවෙන් බලා හිටියෙ. ඒත් ඔබතුමිය ගැඹුරු කල්පනාවක… හරියට සමවතකට සමවැදුනා වගෙයිනෙ.”

“ඔව් මේධා. ශාක්‍යසිංහ වූ අප මහ මුනිඳාණන් වදාළේ අපේ මුළු ජීවිතේ ම එක්තරා භාවනාවක් තමයි කියලනෙ. ජීවිතය වෙලී පවතින දුකත්, තණ්හාව නම් වූ දුක්ඛ සමුදයත් යන ආර්ය සත්‍යය හැර මෙහි වෙන කවර හරයක් නම් දකින්න ද?”

“ඔව්… ඔබතුමිය සමඟ දොඩමළු වූ හැමවිට ම දුකින් ම පිරුණ, දුක ම වෙලාගත් මේ ජීවිතය ගැන හරි අපූරු දේවල් අහන්න ලැබෙනවා.”

“ඇයි මේධා… ඔබත් මමත්… අපි සැවොමත් තෙරක් නො පෙනෙන සසරේ කඳුළු සාගර පිරවූ අය වග බුදු සමිඳුන් ම නේ ද අපට වදාළේ? සිහි නො කළට මේධා… ප්‍රිය විප්‍රයෝග නිසා… අප්පිය සම්පයෝගය නිසා, මවගෙ මරණය නිසා, පියාගෙ මරණය නිසා අපි හෙළුෑ සුසුම් මහා සැඩ සුළි සුළං පරයන්න ඇති…”

ඇය දීර්ඝ සුසුමක් හෙළුවා ය…

“ආර්යාවෙනි, ඔබ… යම්කිසි දොම්නසකින්දෝ කියල මට හිතුණා.”

“ඔව් මේධා… වෙන කිසිවක් නිසා නො වෙයි මේ දොම්නස… මේ උතුම් ජීවිතය ලද මොහොතේ ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නෙ අපි කවද්ද…? මේ ඝොරතර සසරින් එතෙර වෙන්නෙ අපි කවද්ද? බාහිර දෙයක් ඕනෙ නෑ. අවබෝධ කරනව නම්… මගේ මුළු ජීවිතය ම දුක්බර ගීතයක් වගෙයි මේධා…!”

“අපිත් කැමතියි ආර්යාවෙනි, ඒ දුක්බර ගීතයට සවන් දෙන්න. සිහි නුවණ, වීරිය උපදින එක ම අපට භාවනාවක් වේවිනෙ…”

“ඔව් මේධා… මම කියන්නම්.

මහාසාර බමුණන්… ධන කුවේරයන්… රාජ අමාත්‍යවරුන් මේ දඹදිව් තලයෙ අණසක පතුරුවද්දි එබඳු උසස් පවුලක උපදින්න මට වාසනාව තිබුණෙ නෑ… ඉතා අප්‍රකට, ධනයෙන් හීන වූ, ඉතා දීන වූ බමුණු පවුලක එක ම දියණිය වෙලයි මා උපන්නේ. සඳක් වගේ සිඟිති මුව මඬලක් තිබුණ නිසා වෙන්නැති මට කිව්වෙ චන්ද්‍ර කියල. ඒත් වාසනාව දෝතට අරන් උපන් එකියක් නෙවෙයි මම… මට මතකයි මෑණියන් නිතර ම කිව්වා…

‘උඹ කුසට ආ දවසෙ ම අප්පගෙ රැකියාව නැතිවුණා. හොරු ඇන්න ගියා වගේ මුළු සේසත ම විනාශවෙලා ඇඳිවතට සීමාවුණා.. අපි වේලක් ඇර වේලක් කාල බෝම දුක සේ තමයි උඹව උස් මහත් කොළේ…’ කියලා…

දුක දෝතට තුරුලු කරන් උපන් මා ව බහ තේරෙන වයසෙ ඉඳල ම ලැබුණෙ ඇනුම් බැණුම්… රැවුම් ගෙරවිලි විතරයි… මා ව දැකීම පවා හැමෝටම කාලකණ්ණි, මුස්පේන්තු දෙයක් වුණා… විවරව තිබූ දොරවල් මා දුටු සැණින් වැසී ගියා.
‘හපෝ අර මුස්පේන්තු එකී අදත් මුලිච්චි වෙයි… උදැහැනැක්කෙම දැක්කොතින් මුළු දවස ම විනාශයි…!’

ඔවැනි වදනින් දෙසවන් පිරී යද්දි මේ නෙත් කෙවෙනි තෙත් නො වූ දවසක් නැති තරම්. දුක කියන දේ කිසි අඩුවක් නැතිව ම මගෙ දිවිය පුරා දෝර ගලා ගියා.”

“ඉතින් ඊට පස්සෙ…”

“ඔව්… අගහිඟකම් මැද වුණත් දුක සේ මං හොඳට ඉගෙනගත්තා. දැන උගත් නිසා ම මා අත පතා පැමිණි කෙනෙක් හිටියා. කිසි හව්හරණක් නැති මං ඔහු හා විවාහ වුණා.”

එසේ කියූ ඇය මඳ සිනාවක් සමගින් සැනසුම් සුසුමක් හෙළුවා ය.

“එහෙනම් ඔහු බොහෝ අදරැති කාරුණික කෙනෙක් වෙන්න ඇති නේ ද?”

“ඇත්තමයි මේධා… ඔහු මට බොහෝ ළෙංගතු තමයි. බොහෝ කාරණික තමයි. හැමෝම පිළිකෙව් කරද්දි ඔහු මා ව විවාහයෙන් පිළිගත්තා. එනිසා ම මමත් තම දිවි රකින හද මඬල සේ දිවි පුදා ස්වාමියාට ස්නේහවන්ත වුණා. හරි සතුටින් ඔහු හා සොඳුරු කැදැල්ලෙ ගත කළ කාලය දින සති මාසවලින් ගෙවිල යද්දි.. අතොරක් නැතිව ම මගෙ දිවිය වෙලාගත් අවාසනාවේ අරුණලු ආයෙමත් හෙමි හෙමින් එබිකම් කළා…

දරු සෙනෙහසින් පිරි කැදැල්ලක මව් පදවි ලබන්නට මට වාසනාව තිබුණෙ නෑ.. එනිසා ම නැදි මයිලන්ගෙ නෝක්කාඩුවලින් මේ දෙසවන් පිරිල ගියා. ඒත් මං පති භක්තියෙන් ම යි මා හිමියන් උදෙසා කළමනා සියල්ල ඉටුකළේ.
මට මතකයි එදා ඔහු බොහෝ වෙහෙස මහන්සි වී පැමිණි දවසක්. ගරාදියට බර දී ඔහු කියූ වදන් තාමත් මා සිතේ දෝංකාර දෙනවා.

‘මේ ඇහුණ ද? අන්න ඊයෙත් කීප දෙනෙක් ම අර රෝගෙන් මළාලු… ඊයෙ සල්පිළේ හැමෝ ම විස්සෝපයෙන් කථා කළා.’

‘අනේ… මේ මොන නස්පැත්තියක් ද අපට මේ වෙන්න යන්නෙ. මේ දෙදොහට දහපහළොස් දෙනෙක්ට වඩා ඔය රෝගෙන් මළා නෙව. මේ ගස් ගල් වගේ හිටි එවුන්…’ හිතේ දුකට මට එහෙම කියවුණා.”

දීර්ඝ සුසුමක් හෙළුෑ චන්දා තෙරණිය මඳක් නිහඬව සිට ආයෙ ම හඬ අවදි කළා…

“නො සිතූ වේගෙන් මුළු ගම පුරා අභිවාතක රෝගය පැතිර ගියා. වැඩි දොහක් ගියෙ නෑ. ඔහු අසනීප වුණා… ඒ රෝගයෙන් දිවි ගලවාගත් කෙනෙක් නෑ මේධා… නිදි පැදුරෙ ම යි ඔහු සදහට ම දෑස් පියාගත්තෙ..

දරුවනුත් නැති, ස්වාමියාත් අහිමි වූ මට තිබ්බ එක ම අස්වැසිල්ල මගෙ ඥාති සනුහරේ. නමුත් මා ලබා උපන් හැටි වෙන්නැති ඒ හැමෝමත් මගෙන් උදුරගන්න ඒ රෝගයට පුළුවන් වුණා… මට හඬන්න කඳුළු නැති වුණා. ශෝකය සුසුම දෝතින් තුරුලු කරගෙන දිවි රැකගැනීමේ අරගලයේ යෙදෙන්න වුණා.

කුසට අහරක් නැතිවුණා. ගත දවටන්න හරිහමන් රෙදි කඩක් නැති වුණා. හිසට සෙවණක් නැතිවුණා. කාගෙන්වත් හව්හරණක් නො තිබුණ මට තිබුණ එක ම සවිය වුණ ඒ හැරමිටිය අතට ගත්ත මා සන්තක එක ම රෙදි කඩමල්ල ඇඟ දවටගෙන මැටි බඳුනක් අරගෙන මං පාරට බැස්සා. ගෙයක් පාසා මම සිඟමනේ ගියා. රසවත් කෑමක් තබා කුස පිරෙන්නවත් යමක් ලැබුණ දවසක් මට මතක නෑ. හැම ගෙදරින් ම, හැම තැනින් ම කිසි අඩුවක් නැතිව ම ලැබුණෙ ඇනුම් බැණුම් විතරයි. දුර්වල ගසක් වෙලාගත් සුවිසල් ලතාවක් වගේ මගෙ ජීවිතය වෙලාගෙන තිබුණෙ දුක විතරයි මේධා.

සීතලෙන් පීඩා විඳ විඳ, අව්වෙන් පීඩා විඳ විඳ ගස් ගල් යට ජීවිතය ගෙවුණා. අගුපිල්වල ජීවිතය ගෙවුණා. අදරැති වචනයක්වත් උපකාරයක් විදිහට මට තිබුණෙ නෑ. දිනෙන් දින, සතියෙන් සතිය ගෙවෙමින් වසර හතක් ම ගෙවිල යද්දි මමත් හොඳට ම ගෙවිල ගියා.

යක් ගෙයක් පාසා සිඟමනේ ගිය මං නොදැනුම්වත්ව ම එදා ඇවිදින් තිබුණෙ හරි අපූරු තැනකට. ඒ සංඝයාට දන් බෙදන තැනක්. වෙව්ලන දෙපා ඇතිව සැරයටිය වාරුවෙන් සිටි මං ඒ දිහා බලා හිටියෙ මහා කෑදරකමකින්.
‘ම්හ්… මිහිරි බොජුන්වල සුවඳ…!’

කුස පොත්තට ඇලිල තිබ්බ මට සිහි එළව ගන්න බැරිවුණා. මට මතකයි ශාන්ත සුන්දර පෙනුමැති එක් තෙරණින් වහන්සේනමක් මා ළඟට පැමිණියා. බඩසයින් පෙළෙමින් දුකට පත් මේ අසරණියට අනුකම්පා කළා. කාරුණික වදනින් මා අමතල අහරින් කොටසක් මගෙ බඳුනට දැම්මා.

ඒ තමයි මගේ ජීවිතේ හත් අවුරුද්දකට පස්සේ කුස පිරෙන්න යමක් ලැබුණ, හිත පිරෙන්න මෘදු වදනක් ලැබුණ පළමු දවස. ආරාමයේ වැඩහුන් ඒ භික්ෂුණියගේ කාරුණික උපකාරය, සෙනෙහෙබර වදන්, සන්සුන් ඉරියව් දකිද්දී…

කිසිදිනෙක නො දුටු විරූ සැනසුමක් මා අත්වින්දා. ඒ මහෝත්තමාවිය… පටාචාරා භික්ෂුණීන් වහන්සේ අනුකම්පාවෙන් ම මට දහම් පද තෝරා දෙද්දී මා දිවිය පුරා වෙලී, තැවරී ගත් සියලු දුක් සෝ සුසුම් සැණෙකින් පහව ගියා. ආපසු යන්නට දෙපා එසනොවුණෙන් නිකෙලෙස් ඒ මහා මුනිවරිය පා වැඳ පැවිද්දට අවසර යැද්දා. එතුමිය මට ගොඩාක් අනුකම්පා කළා. මාව පැවිදි කළා. අභිසෙස් ලද රැජිණක් වගේ ගෞතම බුද්ධ රාජ්‍යයේ උතුම් භික්ෂුණීන් අතර කෙනෙක් බවට මමත් පත් වුණා.”

ඒ උතුම් මුනි මාවත ලොවට විවර කළ සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත භක්තියෙන් දොහොත් නගා වන්දනා කළ චන්දා තෙරණිය මේධාවන් සමඟින් මෙහෙණවරට ඇතුළු වුවා. නිකෙලෙස් සිතින් ඔවුන් දෙස බලා සිටි ඒ මහෝත්තමාවියගේ, පටාචාරා තෙරණින් වහන්සේගේ පා යුග අදරින් වන්දනා කොට එකත්පස්ව හුන් කල්හි පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරන, තණ්හා සැඩ පහර සිඳ වියළවා දමන ඒ සුදෝ සුදු මාර්ගය පෙන්වා වදාළ ඒ උතුම් දහම හොඳින් හිතට ගත් චන්දා තෙරණිය සිහිය පිහිටුවා ගත්තා. සසර කෙරේ සංවේග උපදවාගෙන විදර්ශනා ඥානය නම් කණ්ණාඩිය අතට ගෙන සියල්ල විනිවිද දකිද්දි සියලු දුක් දොම්නස් නැති ඒ අනුත්තර කෙම්බිම වූ අමා නිවනට ගොඩවෙන්නට ඇයටත් හැකිවුණා. සසරින් එතෙරට වැඩි ඒ චන්දා තෙරණිය දැන් වළඳන්නේ ඒ අමා නිවන් රසය යි.