මෙම ග්‍රන්ථයට තැබූ විශේෂිත වූ හැඳින්වීම ‘අමෘතාවහ’ යන්නයි. ‘අමෘත සංඛ්‍යාත නිර්වාණය ගෙන දෙන්නේ ය’ යනු එහි අර්ථය යි. ග්‍රන්ථය අවසානයේ සඳහන් පරිදි “අමෘතාවහ නම් වූ බුද්ධ චරිතය නිමි.” යන්නෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිත කථාව මෙම ග්‍රන්ථයෙන් වර්ණනා කරන බවයි. මෙම ග්‍රන්ථයෙහි නොයෙක් තැන්වල ‘බුත්සරණ’ යන වචනය සඳහන් වෙයි. බුදු සරණ ම මෙහි විශේෂයෙන් හඳුන්වා දෙන බව එමඟින් පෙනී යයි.

මෙම ග්‍රන්ථය ලිවීමට හේතු වී ඇති කරුණ වශයෙන් පෙනී යන්නේ සිංහල මිනිසුන් කෙරෙහි පැවති කරුණාව බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය සිංහල බෞද්ධ මහජනයාට හඳුන්වා දීම නිමිති කොටගෙන බුත්සරණ රචනා කළ බව සැලකිය හැකි ය.

මෙම ග්‍රන්ථයෙහි කතෘතුමන් වන්නේ විද්‍යාචක්‍රවර්ති නම් මහා පඬිවරයෙකි. සිංහල ස්තූපවංශය ද ‘සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත’ නම් කෙනකු විසින් කරන ලද්දකි. සිංහල ස්තූපවංශයත්, බුත්සරණත් යන ග්‍රන්ථ දෙකෙහි භාෂාව සසඳා බලන විට බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්ති එම පඬිවරයා නොවන බව පෙනී යයි. ස්තූපවංශය, බුත්සරණට වඩා ශතවර්ෂ දෙක තුනකට පසුව ලියැවුණු බව සඳහන් වේ. එම ග්‍රන්ථය කුරුණෑගල රාජධානි කාලයට හෝ ඊට ඉතාමත් ආසන්න කාලයක ලියැවුණු පොතකි. බුත්සරණ පොළොන්නරු යුගයට අයත් වූවකි. එම නිසා එම පොත් දෙකෙහි කර්තෘවරුන් දෙදෙනෙක් වන බව හැඳිනගත හැකි ය.

බුත්සරණ කර්තෘ වූ විද්‍යාචක්‍රවර්ති පඬිතුමා සැබැවින් ම විද්‍යාචක්‍රවර්තියෙකි. සම්බුදු දහමෙහිත්, නොයෙක් ග්‍රන්ථයන්හිත් අප්‍රතිහත බුද්ධි ප්‍රභාවයකින් යුතු වූ පඬිවරයෙකි. පැරණි සිංහල ග්‍රන්ථ කතුවරුන් අතුරෙන් ප්‍රතිභාන ඥානයෙන් විද්‍යාචක්‍රවර්තීන්ට සමාන වන්නේ කව්සිළුමිණ රචනා කළ කලිකාල සර්වඥ කවීශ්වර පණ්ඩිත දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පමණි. සුප්‍රසිද්ධ සිංහල ග්‍රන්ථ කතුවරයෙකු වූ ගුරුළුගෝමීන්ටත් වඩා විද්‍යාචක්‍රවර්ති පඬිතුමා කවීත්වයෙන් පෙරමුණේ සිටී.

අතිශයෝක්තියෙන් චමත්කාරජනක උපමා කීමෙහි මහා කවි කාලිදාසයන් තැබූ කීර්තිය විද්‍යාචක්‍රවර්ති මහා කිවියාණෝ මේ එක ම පොතෙන් පරදවයි. කාලිදාසයන්ගේ සියලු ම කාව්‍යවල ඇති උපමාවන් මේ එක ම බුත්සරණෙහි ඇති උපමාවන්ට වඩා අඩු බව ඒ පිළිබඳ ව පරීක්ෂා කළොත් ඔප්පු වෙයි.

“බණන බස් අසා තමන් කන් ඒ එදෙසට නොනමා ඔවුන් කරන ලීලා විලාසය, ජරපත් වැඳිරියන් පානා උසුළු විසුළු සේ සලකා රාගයෙන් දුරු වූ බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු.”

මෙම ග්‍රන්ථය සම්බුද්ධ ධර්ම ග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍ය කාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ය. බුද්ධ ධර්මය ඉගෙන ගන්නා අතර ම මනහර වර්ණනාවන් හා පිරිසිදු වාක්‍ය රචනා රීතිත් මේ ග්‍රන්ථයෙන් ඉගෙනගත හැකි ය. සම්බුදු දහම අලලා සිංහල භාෂාවෙන් කළ මෙතරම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නොමැති තරම් ය. ගුරුළුගෝමීන්ගේ අමාවතුර, සද්ධර්මරත්නාවලිය ආදී කෘති පරදවා බුත්සරණ පෙරමුණේ සිටී. මෙම ග්‍රන්ථයෙහි නොයෙක් චරිත කථාවන් පමණක් නොව උසස් ධර්ම කොටස් ද සැකෙවින් දක්වා ඇත.

මෙහි දැක්වෙන කථාවල පද ලාලිත්‍ය අතිශයින් විචිත්‍රත්වයක් දක්වයි. කියන්නන්ගේ කටටත්, අසන්නන්ගේ කනටත් සැප දනවන ලිහිල් වචනයක් තෝරාගැනීමෙහිලා විද්‍යාචක්‍රවර්තීන් තුළ තිබුණා වූ හැකියාව අනෙක් එක ද සිංහල ගත්කතුවරයකු හට හෝ නොතිබුණි. විවිධ අයුරින් රචනා කළ වර්ණනාවනුත්, රචනා විලාසයත් මෙහි නොයෙක් තැන්වල ඇතුළත් වේ. බුත්සරණේ ඇතුළත් සමහර චරිත කතා අමාවතුරෙහි ද ඇතුළත් වන නමුත් ඊට වඩා සියදහස් ගුණයක රසයක් බුත්සරණින් ලැබිය හැකි ය. විශාලාපුර වර්ණනාව, ලිච්ඡවී රාජ වර්ණනාව කියවන විට විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්‍රතිභා ශක්තිය හා වර්ණනා ශක්තියත් නොගෙවෙන සුලු බව පාඨකයාගේ සිතෙහි තහවුරු වන්නේ විශ්වාසයත් සමඟ ය.

“සියලු දේශයෙහි සමෘද්ධි සාරය තාක් එක්තැන්හි කොට මවාලුවක් සේ නා නා දේශයෙහි වූ අනේකප්‍රකාර වස්තුයෙන් අසෝ (අසවල්) වස්තුව මෙහි නැතැ’යි නොකියන පරිද්දෙන් කපුරු, කස්තුරි, සඳුන්, කළුවැල්, ලමඟ, තකුල්, පටපිළී, දේවාඟ, රත්රන්, රිදී, මුතු මැණික් ආදි වූ නොයෙක් සාර වස්තුවෙන් සම්පූර්ණ යැ.”

(විසාලා පුර වර්ණනාව)

මෙහි හැමතන්හි ම වාගේ තැනට සුදුසු උපමා ය. එය පැවසීමට සුදුසු වචන ය. ඉතාමත් කෙටියෙන් කියතොත් මෙතරම් සාරවත්, රසවත් වෙනත් සිංහල ග්‍රන්ථයක් නැති තරම් ය.

මෙම ග්‍රන්ථය ලිවීමේ දී දීඝ නිකාය, ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, විමාන වත්ථු, ප්‍රේත වත්ථු ආදී ග්‍රන්ථයන් ඇසුරු කළ බව පෙනේ. මෙම බුත්සරණ සිංහල ග්‍රන්ථ කර්තෘවරුන්ට බොහෝ පිහිට වුණ ග්‍රන්ථයකි. මෙහි ඇතුළත් ඇතැම් වර්ණනා වේදේහ හිමිපාණෝ පාලි භාෂාවට පෙරළා සමන්තකූට වර්ණනාවට යොදා ගත්හ. වීදාගම ස්වාමිපාදයාණෝ බුදුගුණ අලංකාරය ලිවීමේ දී විශාලා මහනුවර වර්ණනාව මෙම ග්‍රන්ථයෙන් උපුටා ගත්හ. කාව්‍යශේඛරයෙහි ද බුත්සරණින් ගත් වදන් කොටස් පෙනෙන්නට තිබේ. සද්ධර්මරත්නාවලියෙහි දෙතුන් පළක පෙනෙන “ මකුළු හුයක යටි පිට දා උඩුපිට කළුවන් නොවන තුරු” යන උපමාව බුත්සරණින් ගත්තැකැයි පෙනේ.

මෙසේ සලකා බලන විට බුත්සරණ ලක්වැසි අප සියලු දෙනා කියවිය යුතු ම ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගැනීමටත්, වැඩිදියුණුකර ගැනීමටත් එය මහෝපකාරී වෙයි. බුද්ධ චරිතයේ බොහෝ සිදුවීම්, ජාතක කථා, චරිත කතා මෙම ග්‍රන්ථයට ඇතුළත් වී ඇති නිසා පාසල් ළමුන්ට ද මෙයින් බොහෝ ප්‍රයෝජන ගත හැකි ය. ග්‍රන්ථය අවසාන වන්නේ වෙස්සන්තර ජාතක කථා වස්තුවෙනි.

“සියලු නුවරවාසීහු සතුටුවැ කෙළිමින්, නටමින්, පිළී හිස සිසාරමින් නොඑක් කුහුලින් රජගෙට වඩා ගියහ. බෝධිසත්වයෝ ද ශ්‍රී සම්පත් අනුභව කරන්නාහු දන්හල් කරවා දන් දෙමින් සියලු ජනයා කුසල්හි පිහිටුවා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කොට ජීවිතයාගේ කෙළවරැ සහපිරිවරින් ගොස් තුසී පුරයෙහි උපන්හ. මෙසේ දෙව්ලොව ගිය මහතාණන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු…”

සටහන:- මානෙල් පොඩිමැණිකේ.