සුන්දරී තම පියාණන් දෙස බැලුවා ය. පියාගේ කෙස් අවුල් වී ගොසිනි. දික් වූ රැවුල් ගස්, නොසේදූ මුහුණ… පියා තාමත් බලා ගත් අත බලාගෙන කල්පනා කරමින් සිටියි. ඇයට ද මොහොතින් සිය ආදරණීය මලණුවන් සිහිපත් විය. අහෝ! මල්ලි මරණයට පත් නොවුණා නම් කොයි තරම් හොඳ ද? මේ කාලය ආපසු අරගෙන යන්න පුළුවන් නම්…

මීට සති දෙකක් පිටුපසට ඇය යන්නී ය. සිය මලණුවන් මරණයට පත් කළ හේතුව ඇය වෙනස් කරන්නී ය. ‘අනේ එහෙම පුළුවන් නම් මම මල්ලී ව ආපහු ගේනවා. එහෙනම් පියාණන්, මෑණියන් මෙතරම් දුකින් නෑ. මටත් දරාගන්න බැරි තරම් දුකක් නෑ. අනේ මිය ගිය අයට පණ දෙන්න පුළුවන් නම්…’

සුන්දරීගේ පියා සුජාත බ්‍රාහ්මණයා ය. බරණැස් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණ ඇයට ඇගේ රූප සම්පත්තිය නිසා ම සුන්දරී යන නාමය ලැබුණි. ඇගේ පියාට පුත්‍ර ශෝකය දරා ගත නොහැකි විය. සිය දරුවාගේ මරණයත් සමඟ සුජාත බ්‍රාහ්මණයා දෑත් පපුවේ ගසමින් විලාප දෙමින් හඬන්නට පටන් ගත්තේ ය. මව් බැමිණියට ද වඩා දුක් වූයේ පියා ය.

සුජාත බ්‍රාහ්මණයා පුත්‍ර ශෝකයෙන් මඩනා ලදුව පාරක් ගානේ ඇවිදින්නට වූයේ ය. ඔහුට කෙසේවත් තම හදවතේ ඇනුන ශෝක හුල උදුරා දමන්නට නොහැකි විය. තම සුරතල් තරුණ පුතු ඔහු ඉදිරියේ මැවි මැවී පෙනෙයි. පුතා කළ කී දේ සියල්ල… ඔහු කෙසේ නම් තම දරුවා අමතක කරන්න ද? අනේ මට කවුද උදව් කරන්නේ? මේ දුක මා කෙසේ ද දරා ගන්නේ? ඉවසිය නොහැකි තරම් මේ දුක් ගින්න කවුද නිවා දමන්නේ?

ඔහුට ඈතින් සන්සුන්ව වඩින භික්ෂුණීන් වහන්සේනමක් පෙනුනි. එතුමිය දුටු සැණින් ඔහුගේ සිත නිවී ගියේ ය. ‘ශාන්ත ඉඳුරන්… නිවී ගිය හදවතක් ඇති හැඩයි.’ ඔහු ඒ වාසෙට්ඨි තෙරණිය ළඟට ගියේ ය. ඒ භික්ෂුණිය ළඟ වැඳ වැටුනේ ය. තම දරු දුක ගැන කියා හඬා වැළපුණේ ය.

“අනේ මට කියලා දෙන්න මේ ශෝකය මම කොහොමද නැති කර ගන්නේ?”

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ දන්නවා ද මේ සසරේ ස්වභාවය? මේ සසරේ අප ඉපදෙන්න පටන් ගත්ත කෙළවර පනවන්න බෑ. මේ ඉපදි ඉපදී එන ගමනේ අපට ලැබුණ දරුවන්නේ ගණන කෙළවරක් නෑ. අපේ දරුවන් මිය ගිය දුකින් අපි හඬපු වාරවල කෙළවරක් නෑ. ඒ විතරක් නෙමේ, බ්‍රාහ්මණය ඔබ දන්නවා ද මගේ අතීත ජීවිතවල මට ලැබුණ සිය ගණන් දරුවන් මා විසින් ම කාලා දාලා තියෙනවා. ඒ ජීවිතවල මම රෑ දවල් දෙකේ ගොඩාක් තැවි තැවී හිටියේ.”

“ඉතිං වාසෙට්ඨි බ්‍රාහ්මණිය, ඔබට අතීත ජීවිතවල ලැබුණ සිය ගණන් දරුවන් කාලා දාලා අද තැවෙන්නේ නැතිව දැඩි සිතකින් ඉන්නේ ඇයි?”

“බ්‍රාහ්මණය මං විතරක් නෙමේ අතීතේ ඔබත් කාලා තියෙනවා සිය ගණන් දරුවන්වත්, නෑදෑයන්වත්. දැන් මට ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මං ශෝක කරන්නේ නෑ. අඬන්නේ නෑ. තැවි තැවී ඉන්නේ නෑ.”

“වාසෙට්ඨී, ඔබ හරිම අද්භූත දෙයක් ඔය කියන්නේ. ඔබ කාගේ ධර්මයක් අවබෝධ කරගෙන ද ඔය තරම් ස්ථාවරයක ඉඳලා කථා කරන්නේ?”

“බ්‍රාහ්මණය, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතකොට වැඩ සිටියේ මිථිලා නගරයේ සියලු සත්වයන්ගේ දුක් දොම්නස් නැති කරන්නටයි උන්වහන්සේ දහම් දෙසන්නේ. බ්‍රාහ්මණය, ඒ අරහත් වූ සම්බුදු සමිඳුන්ගේ නිකෙලෙස් සද්ධර්මය මටත් අහන්න ලැබුණා. ඒ සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි මගේ දරු දුක නැති වුණේ.”

සුජාත බ්‍රාහ්මණයාට ඒ වචන ඇසුන සැණින් තම හදවතේ අලුත් බලාපොරොත්තුවක් දැල්විණි. ‘අහෝ මටත් මේ දරු දුක, මේ ශෝක හුල ඇදලා දාන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? මම මේ කාලේ කොච්චර දුක් විඳිනවා ද? හරියට කෑමක් බීමක් ගත් කාලයක් මතක නෑ. එහෙනම් මාත් යනවා මිථිලා නගරෙට… අනේ ඒ භාග්‍යවතුන් වහන්සේ මාවත් සියලු දුකින් මුදවාගත්නා සේක් නම් කොයි තරම් හොඳ ද?’

සුජාත බ්‍රාහ්මණයා කිරි උරන්නට මව් වැස්සිය සොයා ගෙන දිව යන වහු පැටියෙකු වාගේ ඒ ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ ව සොයාගෙන මිථිලා නගරයට ගියේ ය. පුන්සඳ මඬලක් මෙන් බබළමින් සසරින් එතෙරට වැඩිය, අන් අය එතෙර කරවනා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර වැඩ සිටි සේක. සුජාත බ්‍රාහ්මණයාට ද භාග්‍යවතුන් වහන්සේ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. දුකත්, දුකේ හටගැනීමත්, දුක ඉක්ම යාමත්, ඒ දුක සන්සිඳුවන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වදාළ සේක.

සුජාත බ්‍රාහ්මණයා දහම් ඇස ලබා ගත්තේ ය. සම්මා සම්බුදු ඳාරජාණන් වහන්සේ ළඟ වැඳ වැටී පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියේ ය. ඔහු මේ බුද්ධ ශාසනය තුළ උතුම් පැවිදි බව ලබා ගත්තේ ය. තුන් රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ලබා ගත්තේ ය. සුජාත බ්‍රාහ්මණතුමාත් එක්තරා රහතන් වහන්සේනමක් බවට පත් වූ සේක.

සුජාත මහරහතන් වහන්සේ තමන්ගේ රියදුරාට කථා කළහ.

“පින්වත් රියැදුර, මෙහෙ එන්න. දැන් ඔයා ගෙදර යන්න. මේ රථය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්න බව කියන්න. ‘දැන් ඒ සුජාත බ්‍රාහ්මණයා මහණ වෙලා ඉන්නේ. තුන් රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා’ කියලා කියන්න.”

එවිට ඒ රියදුරා රථයත්, කහවණු දාහකුත් ගෙන ගොස් බැමිණියට දුන්නේ ය. බ්‍රාහ්මණයාගේ නිරෝගිකම ගැනත් කිව්වේ ය. සුජාත බ්‍රාහ්මණයා තුන් රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ස්පර්ශ කළ බවත් කිව්වේ ය.

එවිට බැමිණිය මෙසේ කීවා ය.

“පින්වත් රියැදුර, අපේ බ්‍රාහ්මණතුමා ත්‍රිවිද්‍යාව ලබා ගත් බව දැනගන්ට ලැබුණ නිසා මේ අශ්ව රථයත්, කහවණු දාහත් පින් පඬුරක් හැටියට මං දැන් ඔයාට ම දෙනවා.”
එවිට ඒ රියදුරා මෙසේ කීවේ ය.

“පින්වත් බ්‍රාහ්මණිය, මේ අශ්ව රථයත්, කහවණු දාහත් ඔබතුමිය ම තියා ගන්න. මාත් ඒ උත්තම ප්‍රඥා ඇති බුදු සමිඳුන් ළඟ මහණ වෙන්න යනවා.”

සුන්දරී දියණිය මේ සියල්ල දෙස බලා සිටියා ය. අහෝ! කොයි තරම් අද්භූත ද? කොයි තරම් අසිරිමත් ද? පුත්‍ර ශෝකයෙන් වෙලී සිටිය තම පියාණන්ගේ ශෝක හුල ඒ බුදු සමිඳාණන් සදහට ම උදුරා දමා ඇත. මේ රියදුරා පවා මේ රථය හා කහවණු දහස අත්හැර ඒ උතුම් පැවිදි බව සොයා ගිය හැටි… සුන්දරීගේ සිත තුළ අද්භූත ලොමුදහගැන්වීමක් ඇති විය. ඇගේ සිරුර පවා අසිරිමත් ආනන්දයකින් කිලිපොළා ගියේ ය. තම මව තමා ව අමතන හඬ ඇයට ඇසිණ.

“දුවේ සුන්දරී, ඔයාගේ තාත්තා මේ ඇත්තු, අශ්වයෝ හරකබාන, මුතු මැණික්, ගේ දොර සම්පත් ඔක්කොම අතහැරලා මහණ වුණා. දැන් මේ ඔක්කොම සම්පත් ඔයා අනුභව කරන්න. අපේ පවුලේ දායාදය අයිති ඔයාටනේ.”

“අම්මේ, මගේ තාත්තා පුත්‍ර ශෝකයෙන් ගොඩාක් දුක් වින්දා. අන්තිමේ දී මේ ඇත්තු, අශ්වයෝ, හරකබාන, මුතු මැණික්, මේ සුන්දර ගිහි සම්පත් ඔක්කොම අත් හැරලා දාලා මහණ වුණා. සහෝදර ශෝකෙන් දුක් විඳින මාත් මහණ වෙනවා.”

සුන්දරීගේ මව ඇය දෙස කාරුණික ව බලා සිටියා ය. විරාගී නිවන සොයාගෙන පියමන් කරන්නට සිතන තම දියණියට සන්සුන් හඬින් මෙසේ පැවසුවා ය.

“දුවේ සුන්දරී, ඔයත් බලාපොරොත්තු ව ඉන්නේ උතුම් මහණ ජීවිතේ නම්, ඒ ඔයාගේ නෙක්ඛම්ම සංකල්පය ඉෂ්ට වේවා! ඉතින් දුවේ ගෙයක් ගානේ ඇවිදගෙන ගිහින් තමයි පිණ්ඩපාතේ කර ගන්ට තියෙන්නේ. පාංශුකූල සිවුරු තමයි පොරව ගන්ට තියෙන්නේ. ඉතිං මගේ සුදු දුවත් මේ හැම දෙයක් ම ලබාගෙන ඒ උත්තම ප්‍රඥා ඇති බුදු සමිදුන් ළඟ පැවිදි වෙලා නිකෙලෙස් ජීවිතයක් ඇති කර ගන්න. මේ සියලු දුකින් නිදහස් වෙන්න.”

සුන්දරීගේ මව මුළු හදවතින් ම තම ආදරණීය දියණියට ආශීර්වාද කළා ය. සුන්දරී සියලු සුන්දර ගිහි සම්පත් අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දමා උතුම් පැවිදි බව ලබා ගැනීම පිණිස මෙහෙණ අසපුවකට ගියා ය. පැවිදි වූවා ය. නොබෝ කලකින් ම ඇය සික්ඛමානාවක් ව සිටිය දී ම, එනම් උපසම්පදාව පිණිස පුහුණු වන සාමණේරියක් ව සිටිය දී ම දිවැස් නුවණ පිරිසිදු කර ගත්තා ය. පෙර ජීවිත ගැන දන්නා පුබ්බේ නිවාස ඤාණය ලබා ගත්තා ය. ත්‍රිවිද්‍යාව ම ලබා ගත්තා ය.

අපගේ පින්වත් සුන්දරී රහත් තෙරණිය තම උපාධ්‍යාය භික්ෂුණීන් වහන්සේ ළඟ වැඳ වැටුනා ය. මේ විදිහට කියා සිටියා ය.

“භික්ෂුණී සංඝයා ශෝභමාන කරන කල්‍යාණ මිතුරිය වන ආර්යාවෙනි, මම ඔබතුමිය නිසයි ත්‍රිවිද්‍යාව ලබා ගත්තේ. බුදු සසුන සම්පූර්ණ කර ගත්තේ. ආර්යාවෙනි, මටත් අවසර දෙන්න. මං කැමතියි සැවැත් නුවරට යන්න. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් ඉදිරියේ සිංහනාද කරන්ට මාත් කැමතියි.”

ඒ උත්තම භික්ෂුණීන් වහන්සේ මෙසේ පිළිවදන් දුන් සේක.

“සුන්දරී, එහෙනම් ඔබ ඒ රත්තරන් පාටින් බබළන ශාස්තෘන් වහන්සේ ව බැහැ දකින්න. නොදැමුණු උදවිය දමනය කරන, කිසි ලෙසකිනුත් බියක් නැති ඒ බුදු සමිඳුන් ව දැක ගන්න. සුන්දරී ඔබත් හැම දුකින් මිදුනු, කෙලෙස් රහිත වූ, වීතරාගී වූ, කිසිම දෙයක් සමඟ එක් නොවූ, සදහම් මඟ වඩා අවසන් කළ බුදු සමිඳුන් ව දැක බලාගන්න.”

සුන්දරී, ඒ නිකෙලෙස් උත්මාවිය, බුදු සමිඳුන්ගේ ළය මඬලින් උපන් දියණිය තම සම්බුදු පියාණන් සොයා ගියා ය. භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටුනා ය. මෙසේ පැවසුවා ය.

“මහා වීරයාණන් වහන්ස, මං බරණැසින් පිටත් වෙලා ඔබ වහන්සේ ව බැහැ දකින්ට ආවේ. මං ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සුන්දරී. මං ඔබ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරන්නම්. බ්‍රාහ්මණ මුණිඳාණෙනි, ඔබ වහන්සේ බුද්ධ වන සේක. ශාස්තෘ වන සේක. මමත් ඔබ වහන්සේගේ හදවතින් ඉපදුණේ. ඒ නිවන් මඟින් ඉපදුණේ. නිවන් මඟ සම්පූර්ණ කරගෙන නිකෙලෙස් වූ දියණියක්.”

මහා ප්‍රඥා ඇති අප බුදු සමිඳාණෝ තම ළය මඬලින් උපන් දියණිය දෙස කාරුණික නෙතු සඟල යොමු කොට මෙසේ වදාළ සේක.

“සොඳුරු තැනැත්තී, ඔබගේ ඔය පැමිණීම ඉතා යහපත්, අයහපත් පැමිණීමක් නම් නො වේ. දමනයට පත් වෙච්ච ශ්‍රාවිකාවක් ඔය විදිහ ම තමයි. වීතරාගී ව, කිසිවක් හා එක්වෙන්නේ නැතිව, නිවන් මඟ සම්පූර්ණ කරගෙන නිකෙලෙස් සිතින් ශාස්තෘන් වහන්සේගේ පා යුග වඳින්ට එනවා.”

අහෝ! මේ සම්බුදු සසුන කොයිතරම් නම් ආශ්චර්යවත් ද? අපගේ මහා කාරුණිකයාණන් වහන්සේ මේ දුකින් පීඩිත ව අසරණ ව සිටි ලෝ සතුන් කී දෙනෙක් නම් සියලු දුකින් නිදහස් කළ සේක් ද?ඒ අමා පැන් පානය කළ කී දෙනෙක් නම් සියලු දුකින් නිදහස් වී ඒ පරම සුන්දර නිවන් සැපය තුළ රිසි සේ නිවී සැනසුනාහු ද? ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ සිරි පා කමල් අබියස අපගේ ද වන්දනාව වේවා! ඒ නිකෙලෙස් මුනිවරුන්ට ද මුනිවරියන්ට ද අපගේ නමස්කාරය වේවා!

සාදු! සාදු!! සාදු!!!