ඒ සුපින්බර රාත්‍රියේ දුරුතු පුන්සඳේ සෞම්‍ය සඳ කිරණින් මේ රම්‍ය වූ සීත පවන් රැලි හාත්පස හමා යද්දී කැදලිවලට වන් සියොතුන්ගේ මිහිරි නාදයන් වා තලයට මුසු විය. අවිදු අඳුර දුරලූ, සම්බුද්ධ ප්‍රඥාලෝකයෙන් තිලොව ම එළිය කළ ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ ඒ සොඳුරු පුන් පොහෝ දින පළමුවරට ලක්දිව් තලයට වැඩම කළ සේක.

ඒ, සම්බුද්ධත්වය පසක් කොට නවවැනි මස දී, උරුවෙල් දනව්වෙහි පූරිත පින් බලැති උරුවෙල් කසුප් – නදී කසුප් – ගයා කසුප් තුන්බෑ ජටිලයන් දමනය කරනු පිණිස, තථාගතයන් වහන්සේ විස්මිත ඉදු පෙළහර පාමින් වැඩ සිටි සමය යි. ඒ අතරතුර ජටිල පිරිස උදෙසා අංග – මගධවාසීන්ගේ මහා දානයක් එළැඹියේ ය. “මේ මහා පිරිස් මැද මහා ශ්‍රමණයන් පෙළහර පෑවොත් එය මගේ ලාභයට අන්තරාකර යැයි” උරුවේල කස්සපයන්ට සිතුණි. ඔහුගේ සිත තම සිතින් පිරිසිඳ දුටු භාග්‍යවතුන් වහන්සේ උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වැඩම කොට, අනවතප්ප විල් තෙර දන් වළඳා, එහි ම දිවා විහරණය කළ සේක. නිශා යාමයේ ධර්මදීපයට අවැසි පසුබිම සදන්නට, හෙළදිව බින්තැන්නේ මහාවාලුකා නදීතෙර මහියංගණ දනව් පියසට, ගුවන් ගැබින් පහළ වී, පුන්සඳ මඬලක් සේ සවණක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.

මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන්යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ මහානාග නම් වන උයනේ එදින මහත් වූ නිශාචර යක්ෂ සමාගමක් විය. ඔවුනට ඉහළින් ගගනතලයේ පායා තිබූ පුන්සඳ එක්වර ම අතුරුදහන්ව නිමේෂයකින් හාත්පස ඝන අන්ධකාරයේ වෙලී ගියේ ය. ඉක්බිති අඳුරු වූ අහස් කුස සොඳුරු ආලෝකයක් පහළ වී සඳ කිරණ පරයන බුදුරැස් දහරා විහිදුවමින්, මියුගුණ සෑ රදුන් පිහිටන තැන අවකාශයේ දම්රජාණෝ වැඩසිටි සේක. අනපේක්ෂිත අන්ධකාරයෙන් ද සීතලෙන් ද තැතිගත් යක්ෂයන් නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ.

“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.

“නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලු ම ලක්දිව දෙන්නෙමු. අපට අභය දුන මැනවැ” යි සියලු ම යක්ෂයෝ පිළිවදන් දුන්හ. ඔවුන්ගේ බිය ද සීත ද අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි නිසීදනය අතුරා වැඩ හුන් තථාගතයන් වහන්සේ, තේජෝ ධාතු සමාපත්තියට සමවැද, නිසීදනය ගිනිගෙන දිළිසෙන්නට අදිටන් කොට, හාත්පසින් විශාල කළ සේක. ග්‍රීෂ්මයෙන් වැළකීමට වෙරළ තීරය තෙක් යක්ෂයන් විහිද ගිය කල්හී, භාග්‍යවතුන් වහන්සේ රම්‍ය වූ ගිරිදිවයින එහි ළඟා කළ සේක. ඔවුන් එයට ගොඩවූ කල්හී යළි ගිරිදිවයින යථා තැන්හී පිහිට වූ දමිරදාණෝ නිසීදනය හැකිලූ සේක. එවිට තමන් වහන්සේ පිරිවරා ගත් මහත් වූ දේව සමාගමයට මධුර වූ සිරි සදහම් දෙසා වදාළ සේක. කෝටි සංඛ්‍යාත දෙවිවරුන් ධර්මාවබෝධ කොට මඟ ඵලලාභීන් වූ අතර ගණනින් අතික්‍රාන්ත සත්වයන් තිසරණ පන්සිල්හි පිහිටියහ.

සමන්තකූටවාසී මහා සුමන දෙවිඳුන් ද සෝතාපන්න අරිය සව්වෙකු බවට පත්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේ ය. මහා කාරුණිකයන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද අභිනීල කේශධාතුන් මිටක් ප්‍රදානය කළ සේක. ස්වර්ණමය කරඬුවකින් එය පිළිගත් සුමන දෙව්රජුන් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන රුවන් අතුරා කේශධාතු නිධන් කොට ඉන්ද්‍රනීල මාණික්‍යමය ථූපයක් කරවී ය. සත්රියන් උස් වූ, විසි එක් රියන් වටප්‍රමාණ ඇති ඒ මියුගුණ සෑ රජුන්ට සිය නමස්කාරය පුද කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේගේ අන්තේවාසික සරභූ මහරහතන් වහන්සේ විසින් සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව සම්බුදු චිතකයෙන් ඍද්ධි බලයෙන් රැගෙන මෙහි වැඩි සේක. අරහත් මුනිවරුන් පිරිවරමින් ග්‍රීවාස්ථි ධාතුව මියුගුණ සෑයේ තැන්පත් කොට මේඝවර්ණ පාෂාණයෙන් වසා දොළොස් රියන් උස කඤ්චුක චෛත්‍යයක් කරවී ය. පසු කළෙක දේවානම්පිය තිස්ස නිරිඳුන්ගේ සොයුරු උද්ධ චූලාභය කුමරුන් අසිරිමත් වූ ස්ථුපය දැක එය තිස් රියන් උස් වූ සෑයක් බවට පත් කළේ ය. පසු කළෙක ශ්‍රී ලංකාද්වීපය එක් සේසත් කළ ධීර වීර ගාමිණී අභය රජු ඒ වසා අසූරියන් කඤ්චුක චෛත්‍යයක් කරවීය. සුමන සමන් දෙවිඳුන් නිල්මිණිවන් කෙස් කළඹ ස්වර්ණමය කරඬුවකින් පිළිගෙන, බුදුරදුන් වැඩ සිට අමාදම් වැසි වැස්සවූ බිම රුවන් අතුරා ඒ මත කේශධාතු තැන්පත් කොට ඉන්ද්‍රනීල පාෂාණයෙන් වසා තැනවූ මියුගුණ සෑය එලෙසින් දෙවි මිනිසුන්ගේ වන්දනාමාන උදෙසා මේ දම් දිවයිනෙහි ස්ථාපිත විය.
අන්ධකාරයේ නිමග්නව සිටි දේශයකට ආලෝකය ලබාදෙනු පිණිස, සම්බුදු දහමින් මුළුමහත් ජාතියක් ශිෂ්ටත්වයට පත් කරවනු පිණිස පසුබිම තනන්නට වැඩම කර වදාළ ශාන්ති නායකයාණන් වහන්සේගේ ඒ උදාරතර ප්‍රථම ලංකා ගමන සිදුවූයේ එලෙසිනි. නිර්වාණ ස්වරණ ද්වාරය විවර කරමින් සම්බුද්ධ රාජ්‍යයක් බවට පත්වන්නට, සම්බුදු සිරිපා පහසින් පූණ්‍ය භූමියක් බවට මේ හෙළබිම පත්වූයේ උතුම් දුරුතු පුන්පොහෝ දිනක දී ය. අනුබුදු මිහිඳු මාහිමියන්ට සදහම් බිජු වපුරන්නට හෙළදිව නම් කෙත සැකසීමට වැඩම කළ ඒ ශ්‍රේෂ්ඨ ගමන බුදු පුබුදුවෙන් පිබිදුණු සැදැහැවත් ශ්‍රාවකයන් මහත් හරසරින් සිහිපත් කළ යුතු ය. සම්බුදු සිරිපා පහසින් පළමුවරට මේ පියකරු දිවයින ශුද්ධ භූමියක් බවට පත්කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන්පොහෝ දා ඉතිහාසය දෙස පුනරාවලෝකනයක් කිරීමට සුදුසු ම දිනයකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අසිරිමත් සදහම් සන්දේශය රැගෙන හෙළදිවට වැඩම කළ පසු ලක්දිව ධර්මද්වීපයක් බවට පත්විය. ඒ සම්බුදු දහමින් ආලෝකවත් වූ ජීවිත ගත කළ අතීත මුතුන් මිත්තන් අහස් කුස සිඹින සුන්දර දාගැබ් ඉදිකළහ. හෙළදිව ස්වයංපෝෂිත කළ විස්මිත වාරි කර්මාන්ත ඉදිකළහ. බුද්ධදාස රජතුමා වැනි ජීවක පරපුරේ කරුණා මෙත් සිතැති වෙදදුරුන් බිහිව මිනිසුන් පමණක් නොව සතා සිව්පාවුන් ද ප්‍රතිකාර කොට සුවපත් කළහ. ගුණ නුවණින් ද බත බුලතින් ද සරුසාර වූ ඒ අතීතයේ මෙරට වැසියන්ගේ ජීවනාලිය වූයේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන උත්තම සංකල්පය යි. එනිසා ම කෘෂිකර්මාන්තයත්, වෙළහෙළඳාමත්, ශිල්ප ශාලාවත්, හෙළ වෙදකමත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බඹ විහරණයෙන් සමන්විත ව ලොව සුවපත් කෙරුණි. කසාවත් දැරූ අරහත් මුනිවර මුනිවරියන්ගෙන් ද ගුණ සුවඳින් හෙබි උපාසක උපාසිකාවන්ගෙන් ද යුක්ත වූ ඒ පින්බර යුගයේ රූමත් තරුණියකට අතේ වටිනා මැණිකක් තබාගෙන තනිය ම රට පුරා යා හැකි නිරපරාධි, සදාචාරාත්මක, සෞභාග්‍යවත් සමාජයක් පැවතුණි. විදේශ ආධිපත්‍යයට යටත් වන්නට පෙර සෙංකඩගල යුගයේ පවා පැවති ඒ ශ්‍රී විභූතිය රොබට් නොක්ස් නම් විදේශිකයා දුටුවේ මෙලෙසිනි “සිංහල බෞද්ධයෝ වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. භාග්‍ය සම්පන්න ද මෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මිනිසුන් ය. සිංහල බෞද්ධයාගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගැනීමේ විචක්ෂණ ඤාණයක් ඔවුන්ට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද වහා එය සන්සිඳවාගෙන සමඟි වෙති. සිංහල බෞද්ධයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩිවේලා නො නිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කරති. සිංහල ස්වාමිදුව කොතරම් මහේශාක්‍ය වුවත්, කොතරම් දැසිදසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කරයි. සිංහල බෞද්ධයෝ උදය – සවස දෙකේ ම පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නව ගුණවැල් අතින් ගෙන නිතර බුදුගුණ භාවනාවෙහි යෙදෙති. හොරකම් අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි.

සිංහලයෝ කරුණාවන්ත ය. පර හට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයන් ළඟ මේ ගුණධර්ම ඇති බව අත්දැකීමෙන් ම මම දනිමි. සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලුටු ය. සුමධුර ය. අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල දීපයේ එකම සිංහල හිඟන්නෙක් වත් නැත.” (එදා හෙළදිව ග්‍රන්ථය – රොබට් නොක්ස්)

මෙසේ සෞභාග්‍යවත්, සදාචාර සම්පන්න රටක් ව පැවති මේ දහම් දිවයිනට දුර්භාග්‍ය අවසානාවන්ත කාල පරිච්ඡේදයක් පැමිණියේ විදේශ ආක්‍රමණත්, මිෂනාරීන්ගේ පැමිණීමත් සමඟ ය. අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් අභිමානවත් ජාතියක් වශයෙන් ප්‍රෞඪ ඉතිහාසය දෙස බලා ප්‍රීති වන්නටත්, වර්තමානය දෙස බලා සංවේග වන්නටත්, යහපත් අනාගතයක් පිණිස තිරසර අධිෂ්ඨානයක් ඇතිකර ගන්නටත් මේ දුරුතු පුන් පොහෝ දිනය සුදුසු ම දිනයකි. තුන්ලෝකාග්‍ර ශාස්තෘන් වහන්සේගේත්, උත්තම ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය මහා සංඝරත්නයේත් පිළිසරණ ලබා ගුණදහමින් ද ස්වංයංපෝෂිත සහජීවනයකින් ද අභිමානවත් ලෙස යළි පුබුදින්නට, ඒ අතීත ශ්‍රී විභූතිය සමඟින් ඒකාත්මික වන්නට අපට ද වාසනාව උදාවේවා!

ඇසුර :- මහාවංශය සහ පූජ්‍ය පණ්ඩිත මාපලගම
සිරි සෝමිස්සර හිමිපාණන් රචිත
පොහොය වර්ණනාව ග්‍රන්ථය