මේ ලෝකයේ ජීවත් වන සෑම දෙනෙක් ම පාහේ ජීවිතයේ විවිධ දුක් කරදරවල දී අසරණ භාවයට පත් වේ. ජරා මරණ ආදී දුක් මෙන් ම කායික මානසික පීඩා, හදිසි අනතුරු, ස්වාභාවික විපත්, ලෙඩ රෝග ආදී දුක් කරදරවල දී ඒවායින් මිදීමට මනුෂ්‍යයෝ නොයෙක් පිහිට සොයාගෙන යති. දෙවිවරුන් යැයි සිතා භයානක අමනුෂ්‍යයන් සරණ යති. කේන්දර, නැකැත්, සුබ නිමිති, සුභ වෙලාවල් දේවාල මෙන් ම විවිධ බලවේග ද සරණ යති. මේ සියලු දෙයින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතයට සැනසිල්ලක් ය, පිහිටක් ය, සරණක් ය. මේ දේවල් සරණ ගිය ද මිනිසුන්ට සැනසිල්ලක්, පිහිටක් ලැබෙන බවත් නම් දක්නට නැත. බොහෝ විට සිදු වන්නේ කබලෙන් ලිපට වැටුණා මෙන් තව තවත් දුක් කරදරවලට ගොදුරු වීම යි.

ලෝකයේ කොතෙකුත් ආගම් තිබුණ ද කොතෙකුත් ශාස්තෘ යැයි කියා ගන්නා අය සිටිය ද සිහි කළ පමණින් පිහිට ලැබෙන ආගමක් හෝ ශාස්තෘවරයෙක් ගැන ඔබ අසා තිබේ ද? නොපෙනෙන දෙවියන් සිහි කොට, වෙනත් නොපෙනෙන බලවේගයක් සිහි කොට පිහිටක් ආරක්ෂාවක් ලැබුණා කියා ඔබ අසා තිබේ ද? ලොව බොහෝ ආගම් පිහිට ලැබෙනවා කියන්නේ මරණයෙන් පසු බව කීව ද එය කිසිවෙකුට නොපෙනෙන දෙයකි. එසේ පිහිටක් ලැබුණේ ද කියා කිසිවකු නොදනී.

එනමුදු මේ සියලු ආගම් දර්ශනවලට වඩා බුදු දහමේ සුවිශේෂත්වයත් තිබේ. එනම් බුදු දහමේ තිබෙන සන්දිට්ඨික ගුණය යි. මේ ජීවිතයේ දී ම පිහිටක්, ආරක්ෂාවක්, සරණක්, අවබෝධයක් ලැබෙන බවයි. මේ ගුණය බුදු දහමේ හැර ලොව වෙනත් කිසිදු තැනක නැත. සම්බුදු කෙනෙකුගේ තිබෙන අනන්ත ගුණානුභාවය නිසා ම, නිකෙලෙස් බව නිසා ම, බුදුරජුන් ගැන සිත පහදවා ගැනීමෙන් ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු පාපකර්ම යටපත් වන ප්‍රබල පුණ්‍ය කර්මයක් රැස් වන්නේ ය. එසේ ම බුදුරජුන් ගැන සිත අපහදවා ගැනීමෙන් ප්‍රබල පාපකර්මයක් ද රැස් වන්නේ ය. ඒ නිසා ම කර්මය දායාද කරගෙන ඉන්නා සත්වයාට බුදුරදුන් ගැන සිත පහදවා ගැනීමෙන් සැබෑම පිහිටක්, ආරක්ෂාවක් සැලසෙන්නේ ය. නිරයේ යාමට සිටි මට්ටකුණ්ඩලී අවසාන මොහොතේ දී බුදුරජුන් ගැන සිත පහදවා ගැනීමෙන් දෙව් ලොව ගියේ ය. සතර අපායට වැටීමට සිටි ඡත්ත මානවක බුදුරජුන් ප්‍රමුඛ තිසරණ යාම නිසා දෙව්ලොව උපන්නේ ය.

එමෙන් ම නිරයගාමී ව සිටි එක්තරා වයසක කාන්තාවක් බුදුරජුන් දැක සිත පහදවාගෙන වන්දනා කිරීමේ විපාක වශයෙන් දෙව්ලොව උපන්නා ය. ඒවා පරලොව වශයෙන් ලැබුණු විපාකයන් ය.

නමුත් බුදුරදුන් ගැන සිත පහදවා ගත් කෝටි ප්‍රකෝටි පිරිසක් මේ ජීවිතයේ දී ම පිහිට සලසා ගත්තෝය. දීර්ඝ කාලයක් නිරයේ පැසීමට සිටි අංගුලිමාල මේ ජීවිතයේ දී ම අරහත්වයට පැමිණ සියලු දුක් නිමා කළේ බුදුරජාණන් වහන්සේ ව තම ජීවිතයට එකම පිළිසරණ බවට පත් කර ගත් බැවිනි. කෙනෙකු ශ්‍රද්ධානුසාරී වන්නේ මේ ජීවිතයේ දී ම ය. ධම්මානුසාරී වන්නේ ද මේ ජීවිතය තුළ දී ම ය. සෝතාපන්න වන්නේත්, අරහත්වය දක්වා සෑම මාර්ග ඵලයක් ම ලබන්නේත් මරණයට පෙර මේ ජීවිතය තුළ දී ම ය.

බුදු කෙනෙකුගේ අසිරියත්, බුදු කෙනෙකු සරණ යෑමෙන් ලැබෙන රැකවරණයත් තේරුම් ගැනීමට ඕනෑ තරම් විස්තර ශාසන ඉතිහාසයෙන් අපට හමු වේ. එක්තරා අවස්ථාවක දී කොසඹෑ නුවර වෙස්සාමින්තා නම් රාජ කුමාරිකාවක සතුරු රජෙකුට හසු විය. ඒ රජතුමාගේ රාජ මහේෂිකාව වීමට ඇයට යෝජනා කළ ද ඇය ඊට අකැමති වූ බැවින් පුච්චා මරා දැමීම පිණිස විශාල ගිනි ගොඩක් ගසනු ලැබිණ. කිසිවක් කරකියා ගත නොහැකි වූ වෙස්සාමින්තා, තමන් සරණ ගිය බුදුරජුන්ගේ ගුණ සිහි කරන්නට පටන් ගත්තා ය. ‘මා හට ඇති එකම පිළිසරණ බුදුසමිඳුන් පමණකැ’යි ඇය දැඩි සේ අදහා ගත්තා ය. රාජපුරුෂයන් ඇයව වහා ගිනි කඳ මැදට දැමූහ. අහෝ! බුදු කෙනකුගේ අසිරිය… මහා ගිනි ජාලාව මැද ඇය සුව සේ ම බුදුගුණ සිහි කරමින් සිටින්නී ය. ඇයගේ රෝම කූපයකටවත් හානියක් නැත. ‘තමන් සරණ ගියේ ය’ යැයි සිහි කළ පමණින් මෙතරම් පිහිටක් සැලසෙන වෙනත් ශාස්තෘ කෙනෙකු මේ තුන් ලෝකයේ ම සිටින්නේ ද? ඒකාන්තයෙන් ම නැත්තේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ධජග්ග සූත්‍රයේ දී මේ අයුරින් වදාළ සේක.

“අරඤ්ඤේ රුක්ඛමූලේ වා – සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං – භයං තුම්හාක නෝ සියා”

“පින්වත් මහණෙනි, ඔබ ආරණ්‍යයකට හෝ රුක් සෙවණකට හෝ පාළු තැනකට ගිය විට සම්බුදුරජුන් සිහි කරන්න. එවිට ඔබ හට කිසි විට බියක්, තැති ගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් ඇති නොවන්නේ ම ය.”

අසරණ වූ, බියට පත් වූ අවස්ථාවක මෙතරම් පිහිට සලසන වෙනත් කෙනෙක් තුන් ලොවෙහි ම නැත්තේ ම ය.

එක්තරා අවස්ථාවක දී රාත්‍රී කාලයේ අතරමං වූ දරුවෙකු කරත්තයක නිදා සිටියේ ය. මැදියම් රැයේ දී යක්ෂයන් දෙදෙනෙක් දරුවා දැක ඇඟට අත තැබූහ. දරුවා සුපුරුදු පරිදි “නමෝ බුද්ධාය” කියමින් අවදි විය. බුදුරජුන්ගේ නම ඇසූ පමණින් යක්ෂයන් බියට පත් විය. දරුවාට අනතුරු කරනවා වෙනුවට රජ මාලිගාවේ රන් තැටියකින් ආහාර ගෙනත් දී ඔහුට උපස්ථාන කළේ බුදුරජුන් සරණ ගිය දරුවකු බව දැන ගත් බැවිනි. ඒ අසහාය මුනිරජුන්ගේ නම කියූ පමණින් සෙත සැලසෙන්නේ ය. පිහිට ආරක්ෂාව සැලසෙන්නේ ය. දිවිහිමියෙන් සරණ ගියොත් සැලසෙන රැකවරණය ගැන කවර කතා ද?

බුද්ධ කාලයේ දී සැවැත්නුවර සිටි එක්තරා ගර්භිණී මවක තම සහෝදරයා විසින් වනාන්තරයට රැගෙන ගොස් මරා දැමීමට සූදානම් විය. එක් නුග ගසක් මුල ඇයව ඇද දමා මරණයට තැත් කරන විට දරු ප්‍රසූතියට ආසන්න විය. ඇය කෙතරම් ආයාචනා කළ ද අර පාපී සහෝදරයාගේ හිත තුළ කිසිදු දයානුකම්පාවක් නො වී ය. ඉතා ම අසරණ වූ ඇය තමන්ට මේ අවස්ථාවේ ඇති එක ම රැකවරණය කුමක්දැයි කල්පනා කළා ය. එවිට සිහි වූයේ පෙර දිනයක බුදුරජුන් හමු වීමට ගිය අවස්ථාවක දී කළ ප්‍රකාශය යි. “ඔබට දුකක් කරදරයක් ව්‍යසනයක් පැමිණි විට තථාගතයන් වහන්සේ ව සිහි කරන්න” යනුවෙනි.

සැණෙකින් ඇය සම්බුදුරජුන් ව සිහි කරන්නට පටන් ගත්තා ය. ඒ මොහොතේ දී නුග ගසේ සිටි වෘක්ෂ දේවතාවා මෙසේ කල්පනා කළේ ය. ‘මේ කාන්තාව බුදුගුණ සිහි කරද්දී මගේ විමානය අසල දී මා ඉදිරියේ මරණයට පත් කළහොත් මා හට දේව සභාවෙන් චෝදනා නැගෙන්නේ ය. බුදුන් සරණ ගිය කෙනෙකුට මෙවැනි විපතක් මා ඉදිරියේ දී සිදු වීම සුදුසු නැත.’ මෙසේ සිතා මිනිස් වෙසක් මවා අර පුරුෂයා බියගන්වා පලවා හැර හේ මවත්, දරුවාත් බේරා ගත්තේ ය.

සම්බුදුරජුන් සිහි කිරීමෙන් ලැබෙන රැකවරණය පිළිබඳ මා ලැබූ සත්‍ය වූ අත්දැකීමක් තිබේ. එය මෙසේ ය. මේ සිදුවීම සිදු වූයේ 2017 වසරේ නවම් පොහෝ දිනයේ දී ය. එදින උදෑසන පහට පමණ මම යහළුවෙකු සමඟ මෝටර් සයිකලයෙන් පොල්ගහවෙල අසපුව බලා ගියෙමි. වෙනදා පොහොයට අප නිවස ආසන්නයේ අසපුවට ගිය ද එදින විශේෂයෙන් ම පොල්ගහවෙල අසපුවට ගියේ අපේ පාසල් පුස්තකාලයට ඉල්ලුම් කර තිබූ සදහම් ග්‍රන්ථ කට්ටලය ලබාගැනීම පිණිස ය. උදෑසන සිල් සමාදන් වූ අතර උදේ 10ට පමණ පොත් කට්ටලය ලබාගැනීමට හැකි විය.

සවස දේශනයට ද සවන් දුන් අපි පස්වරු 3.00ට පමණ නිවෙස් බලා පිටත් වුණෙමු. අතරමග දී නගරයෙන් ස්පීකර් සෙට් එකක් ද රැගෙන නැවතත් ගමන ආරම්භ කළෙමු. නිවසට කිලෝමීටර් දෙකක පමණ දුරක් යාමට තව ඉතිරිව තිබුණි. ඉදිරියෙන් සාමාන්‍ය වංගුවක් තිබුණ ද මා හට පාර හොඳට හුරුපුරුදු බැවින් බයික් එකේ වේගය අඩු නො කළෙමි. පාරේ වෙනත් වාහන ද නො වී ය. වේලාව හවස 4ට ආසන්න වී තිබෙන්නට ඇත. පාරේ වංගුව පසු වෙනවාත් සමඟ ම පාරේ දකුණු පැත්තේ සිටි හරකෙක් වේගයෙන් පාර පැන්නේ ය.

මා හට කිසිවක් කරකියා ගත නො හැකි විය. බයික් එක හැරවීමට හෝ නැවැත්වීමට කාලයක් ද නැත. ජීවිතයේ කිසිදු දිනක මෙවැනි හදිසි අනතුරකට මුහුණ නොදුන් මාගේ ඇඟ කිළිපොළා ගියේ ය. වේගයෙන් ආ හරකා බයික් එකේ හැපෙනවාත් සමඟ මම මහා හඬින් “නමෝ බුද්ධාය” යනුවෙන් කෑ ගසා කීවෙමි. ඒ සමඟ ම මම දෑස් පියාගතිමි. බයික් එක වේගයෙන් විසි වී ගියේ ය. මගේ හදවත වේගයෙන් සැළුණි. මම දෑස් විවර කළෙමි. මීටර් සියයකට පමණ ඉදිරියෙන් පාර දෙපැත්තේ තිබූ කඩ දෙකට පැමිණි මිනිසුන්, පාරට පැමිණ අප දෙස පුදුමයෙන් බලා සිටියෝ ය. කිලෝ අටකට, දහයකට වැඩි පොත් කට්ටලය පාර අයිනේ වැටට උඩින් ගොස් එහා වත්තට විසි වී තිබුණි. ස්පීකර් සෙට් එක ද කාණුවට වැටී තිබුණි.

අහෝ අසිරිය…! බයික් එක පෙරළුණේ නැත. යාළුවාට කුමක් වී දැයි සැණෙකින් මම පිටුපස හැරී බැලුවෙමි. ඔහු ද බයික් එක උඩ ම ය. හරකා නැවත පාරෙන් එහා පැත්තට ගොස් බිරාන්ත වූ සිරුරින් යුතුව නොසෙල්වී අප දෙස බලා සිටියේ ය. ටික වෙලාවක් යනතුරු අපි දෙදෙනා සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි ව නිහඬ ව බයික් එක මත සිට කල්පනා කරමින් සිටියෙමු. අහෝ මං සරණ ගිය ඒ සම්බුදුරජුන් සිහි කළ පමණින් එසැණින් ම මෙතරම් පිහිටක් ලැබෙන්නේ යැයි මට තේරුනේ එදා ය. ‘නමෝ බුද්ධාය’ යන වචනය පවා කෙතරම් සෙත සලසන්නේ ද? ඒ බුදුරජුන් දිවිහිමියෙන් සරණ ගියොත් මොනතරම් පිහිටක් සැලසෙන්නේ දැයි අප කෙසේ නම් සිතන්න ද? බියක්, තැති ගැනීමක්, දුකක්, කරදරයක් පැමිණි විට ඒ බුදුරජුන් සිහි කළ පමණින් පවා සෙත සැලසෙන්නේ ය යන වග ඒකාන්තයෙන් ම සත්‍යයක් ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ඇති එක ම පිහිට බවට පත්කර ගන්නට සුදුසු ම යි. මේ ජීවිතයේ දී ම ඒ පිහිට ආරක්ෂාව සැලසේ.

සම්බුදු සමිඳුනේ, මේ සා දීර්ඝ සසර ගමනේ දී මේ සා පිහිට සලසන බුදු කෙනෙකුන් ව ජීවිතය පුදා සරණ යන්නට තරම් අප වාසනාවන්ත නොවූයේ මන්දැයි මට නම් තවමත් නොතේරේ. ඒත් බුදු සමිඳුනේ, ඔබ වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා උතුම් සම්බුදු බව ලැබුවේ ජරා මරණ දුකින් ගැලවීමට නොහැකි අසරණ ලෝක සත්වයන් ඒ දුකින් එතෙර කිරීමට නො වේ ද? නම සිහි කළ පමණින් පවා පිහිට ලැබෙන උතුම් සම්බුදු කෙනෙක් ගැන අසා දැන ගන්නට තරම් අපි මේ යුගයේ දී වාසනාවන්ත වුණෙමු. ඒ සම්බුදුරජුන්ගේ උතුම් සම්බුදු ගුණ ඉගෙන ගන්නටත් වාසනාවන්ත වුණෙමු. බුදුරජුන් වදාළ පිවිතුරු මිහිරි ශ්‍රී සද්ධර්මය අප දන්නා සිංහල භාෂාවෙන් කියවන්නටත් අවස්ථාව ලැබුවෙමු. අහෝ ඒ බුදුරජාණන් වහන්සේ නියමාකාරයෙන් සරණ යන්නටත්, දිවි පුදා ධර්මයේ හැසිරෙන්නටත් තවම අපට අවස්ථාව තියෙනවා නො වේ ද?

අවිද්‍යා මෝහ අන්ධකාරයේ ගිලී සිටින, ජීවිතයේ දිනන සැබෑම වැඩපිළිවෙළ නොදන්නා සෑම මනුෂ්‍යයෙක් ම පාහේ නිතර ම අන් කෙනෙකුගේ සරණක් සොයයි. ජරා මරණ ශෝක වැළපීම්වලින් පීඩා විඳින ඔවුන් සැබෑ ලෙස ම මේ දුක් විඳින ජීවිතයෙන් මිදෙන්නේ කොහොමද කියා දන්නේ නැත. ඒ නිසා බොහෝ දෙනෙක් නොපෙනෙන අද්භූත බලවේග, කේන්දර, නැකැත්, දේවාල සරණ යයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ දී කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා අරබයා මෙවැනි දේශනාවක් කළ සේක.

“බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛචෙත්‍යානි – මනුස්සා භයතජ්ජිතා”

“බයේ ගැහි ගැහී ඉන්න බොහෝ මිනිසුන් පිහිටක් සොයාගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස්කොළන් සරණ යනවා.”

“නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති”

“ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇති වන්නේ නැහැ. අනික ඔය සරණ කිසිසේත් උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම් කවදාවත් කිසිම දුකකින් නිදහස් වන්නට පුළුවන්කමක් නෑ.”

“යෝ ච බුද්ධං ච ධම්මං ච – සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති”

“යම් කෙනෙක් අවබෝධයෙන් යුතුව බුදු සමිඳුන් සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංඝරත්නයත් සරණ ගියා නම් ඔහු ප්‍රඥාව දියුණු කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.”

“දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්ච’ට්ඨංගිකං මග්ගං – දුක්ඛූපසමගාමිනං”

“දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා ගිහින් නිවන අවබෝධ වීමත් ආර්ය සත්‍යයයක්. දුක සංසිඳවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.”

“ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති”

“ඔය තිසරණය ම තමයි එක ම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.”

සරණ යාමේ දී අපි විශේෂයෙන් ම දැනගත යුතු දේ නම් පුද්ගල සරණක් ලෙසට අපට තිබෙන්නේ බුදුරජුන් සරණ යෑම පමණක් ම බව ය. “අප ළඟට එන්න, අපි පිහිට වෙන්නම්, අපි මග ඵල දෙන්නම්.” කියන අය ළඟ සැබෑ පිහිටක් නොමැති බවත් හඳුනා ගන්න දක්ෂ විය යුතු ය. නැකැත් කේන්දර භූත බලවේග දේවාල සරණ යාම හරියට සූර්යාලෝකය තිබිය දී කණාමැදිරි එළි සොයනවා වගේ වැඩකි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සූර්යාලෝකය නම් ඔය නැකැත් කේන්දර දේවාල කණාමැදිරි එළි වගේ ය. අන්ධකාර ලෝකයට කණාමැදිරි එළි වටිනවා වුව ද හිරු පෑයූ සැණින් කණාමැදිරි එළිවලට වූ දෙයක් නොමැත. යම් කෙනෙක් හරියට තිසරණයේ පිහිටියොත් ඔය කාලෙන් කාලෙට එක් එක් අය කියන කතන්දරවලට අසුවෙන්නේ නැති ඍජු චරිතයක් වේ. නිවැරදි මාර්ගය එයා අධර්මයෙන් වෙන්කර හඳුනා ගනී. සත්පුරුෂයා අසත්පුරුෂයාගෙන් වෙන් කොට හඳුනා ගනී. මේ සෑම දෙයක් ම ලැබෙන්නේ තිසරණයේ මනා කොට පිහිටියොත් පමණකි.

මේ යුගයේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය නිසා ඒ බුදුරජුන්ගේ නිර්මල ධර්මය අප කවුරුත් දන්නා සරල සිංහල භාෂාවෙන් ඇසීමට, කියවීමට අපට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ බුදුරජුන් නියම ලෙස සරණ යන හැටි ඉගෙන ගන්නටත් අවස්ථාව තිබේ. ඒ බුදු ගුණ ඉගෙනගෙන හිත පහදවා ගැනීම තම තමන් පුද්ගලිකව කළ යුතු දෙයකි. භයානක සසර ගමනින් මිදීමට කැමති සියල්ලෝ ඒ බුදුරජුන් ගැන ඉගෙන සිත පහදවා ගනිත්වා! ජීවිතයට එක ම පිහිට පිළිසරණ බවට තිසරණය පත්කර ගනිත්වා! මේ ජීවිතයේ දී ම තිසරණ සරණ යාමේ පිහිට සැනසීම ලබත්වා! සිහි කළ පමණින් පිහිට ලැබෙන මෙවන් අසිරිමත් ශාස්තෘවරයෙක් වෙන කොහෙන් නම් සොයන්න ද…!

– සටහන
නයන ගමගේ