මිල මුදල් එක්ක ගනුදෙනු තිබෙන ගිහි ජීවිත ගෙවනා අපට, හරි හම්බ කරනවා කියන එක ඒ තරම් ම පහසු දෙයක් නෙවෙයි. අඩු වැඩි වශයෙන් වෙහෙස මහන්සි වෙමින්, දිවා රැය සැලසුම් සකස් කරමින්, සතෙන් සතේ ගණන් හිලව් බල බලා වියහියදම් කරමින් තමයි අප බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. විවේකය අඩු, වෙහෙසකර, ඕනෑම මොහොතක කවරාකාරයකින් හෝ සහමුලින් ම අහිමි වී යා හැකි කාම සම්පත් සොයා සිදු කරන ව්‍යායාමයක් තමයි ගිහි ජීවිතේ කියන්නේ…

අප සොයන ඒ සියලු දේ අන්‍ය සාධාරණයි. එය කාම වස්තූන්ගේ ස්වභාවයක්. රජුන්ට, ගින්නට, ජලයට, සොරුන්ට, අප්‍රිය අමනාප වූ කුල අඟුරකට (ඒ කියන්නේ ඤාතීත්වයෙන් සම්බන්ධ වුණ විනාශකාරී අයෙකුට) අප මහත් වෙහෙස ගෙන උපයන සියල්ල සැණෙකින් වුණත් විනාශ කරන්නට පුළුවනි, පැහැර ගන්නට පුළුවනි. ඒ කිසිදු විපතකින් අහිමි නොවූවත්, දුක් මහන්සියෙන් හරිහම්බ කරන මේ සියල්ල ම එකක් නෑර අපට දමා යන්නට සිදු වන දවස ළඟ ළඟ ම එළඹෙනවා. මැරුණ කිසිවෙකු ඉපැයූ කිසිවක් කිසි දිනෙක ගෙන යන්නේ නැහැ. පෙට්ටියට දමා වැසුවත් ඒ දේවල් පරලොව දී ප්‍රයෝජනයට ගන්නට ද බැහැ.

ඇත්තටම අපි උපයන මේ සියලු දේ කාලිකයි. මේ ජීවිතයේ දී පමණයි පරිහරණය කළ හැක්කේ. මේ ජීවිතයේ ම වුණත් ඒ දේවල් හැමදාටම පරිහරණය කරන්න බැහැ. අපි බොහොම සැප පහසුවෙන් වාඩි වෙලා හිටපු හාන්සි පුටුවේ හාන්සි වෙලා ඉන්න බැරි කාලයක් අපට එනවා. සීරීමක්වත් වෙන්න නො දී පරිස්සම් කරපු, අතක් පයක් තරම් ම හුරුපුරුදු විදිහට පාවිච්චි කරපු යානවාහන පදවන්න බැරි කලක් අපට එනවා. අභිරුචියෙන් කෑව බීව දේවල් කන්න බොන්න බැරි කාලයක් අපට එනවා. ඇන්ද පැලැන්ද දේවලුත් එහෙම ම යි. ඒ විතරක් ද? අපි ආදරය කළ අපේ ම සමීපතමයන්ගේ රුව අපට පෙනෙන්නේ නැතිව යනවා. ඒ හඬ පැහැදිලි ව ඇහෙන්නේ නැතිව යනවා. හිතට එන දේවල් කියා ගන්න බැරි විදිහට වචන පිට කරන්න බැරි වෙනවා. කිසිම දෙයකින් මේ වෙනස් වීම වළක්වන්න බැහැ. වටිනා ම කියන දේවලින් සම්පූර්ණ කර ගත්තා වුණත් කාමයන් කාලික යි. කාලයේ පහර කෑමට ලක් වනවා ම යි…

උපයන්න මොන තරම් නම් දුක් වින්ද ද? මොන තරම් නම් නිදි වැරුව ද? මොන තරම් නම් කායික මානසික පීඩාවන් ඉසිලුවා ද? කියන කාරණා තුට්ටුවකටවත් මායිම් නොකර ඒ ඉපැයූ සියල්ල ම දමා යන්නට සිදු වන බව නියතයක්. එහෙම එකේ, දාලා යන ඔය දේවල් අතරේ ගෙනියන්න දෙයකුත් උපයා ගත්තොත් නරක නෑ නේ ද? ඔව්. කිසිසේත් ම නරක නැහැ.

ඔය අදහස ම මෙයින් සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ සිටු පුත්‍රයෙකුගේ සිතේ උපන්නා. මව්පිය පාර්ශවයනගෙන් අසූ කෝටිය බැගින් උරුම වූ ධනයක් සහිත වූ ඔහුත් මෙහෙම කල්පනා කළා. ‘මගේ මව්පියන් හෝ මව්පියන්ගේ මව්පියන් හෝ ආදී මුතුන් මිත්තන් හෝ කිසිවෙකුත් තමන් ඉපැයූ, බොහෝ වෑයමෙන් ආරක්ෂා කළා වූ මේ කිසිදු ධන සම්පතක් පරලොව යද්දී ගෙනියලා නැහැ නෙව… මං මේ සියල්ල ම අරන් යන්න ඕන…!’ මෙහෙම සිතූ ඔහු ඒ මුළුමහත් ධනය ම ගෙනියන්නට ක්‍රමයක් කල්පනා කළා. එහෙම ක්‍රමයක් ඔහුට මුණගැහුනා. ‘අරන් යන්න ඕන නම්…., දීලා යන්න…!’ ඒක තමයි ගෙනියන්න තියෙන ක්‍රමය.

‘දන් දීම’ කියන්නේ අසිරිමත් පුණ්‍ය තීර්ථයක්. එදා ඒ ආකාරයෙන් පරලොවට ගෙනයන්නට හැකි දෙයක් රැස් කරන්නට, සියල්ල අත්හරිමින් ‘දන් දීම’ නම් වූ පුණ්‍ය තීර්ථයේ පිහිටි සිටුපුත්‍රයා ඒ ජීවිතයේ දී ම දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලයේ සුමේධ තවුසා ව මේ මහා භද්‍ර කල්පයේ සතරවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙසින් ලොව පහළ වී ලෝ සත දුකින් එතෙර කරලන නිවන් මග විවෘත කරලීම පිණිස නියත විවරණ ලැබුවා. එසේ නියත විවරණ ලබා පාරමී දම් සපුරා සත්‍යාවබෝධයට සපැමිණි අපගේ ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ කවරෙකු හෝ උන්වහන්සේ තරම් දන් දීමේ අගය ගැන දන්නවා නම් තමා ලද භෝජනයේ අවසන් පිඬ හෝ තිරිසන් සතෙකුට හෝ නො දී අනුභව නොකරන බවයි. ඉතින්, උන්වහන්සේ ව ආදරයෙන් සරණ ගිය අපත් භෝජනයේ අවසන් පිඬ හෝ තිරිසන් සතෙකුට හෝ දීම ම යි කළ යුත්තේ.

‘දන් දෙන්න ලැබේවා!’ යන උතුම් අරමුණ පෙරදැරි ව දවස ආරම්භ කරන එක බොහෝ ම යහපත් දෙයක්. සම්බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළේ සුභ මුහුර්තයක් විදිහටයි. නිවසේ ආහාරපාන පිළියෙල කරන විට පවා ‘දන් දෙන්න ලැබේවා!’ යන චේතනාව ඇතිව ඒ කටයුතු සිදු කරනවා නම් එපමණකිනුත් අප සොඳුරු පිනක් රැස් කළා වනවා. අත්නොහැර පින් කර ගැනීම නිවන් මඟේ අභිවෘද්ධියට අතිශයින් ම උපකාරකයි. ඒ නිසා, මේ දේවල් සුළු යැයි නොසලකා නොහැර හැම මොහොතෙම පින් රැස්වන පිළිවෙතක යෙදෙන්නට අප දක්ෂ විය යුතුයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් වරෙක, ඉවත දමන ඉඳුල් වතුර ටික පවා ‘ඉඳුල් දිය ආහාර කොටගත් සත්වයෝ මෙයින් යැපෙත්වා’ යන පින් සිත උපදවාගෙන බැහැර කිරීමෙනුත් පින් රැස්වෙන බව දේශනා කොට තිබේ. තිරිසන් සතෙකුට දෙන දානයටත් ආනිශංස සියයක් සකස් වන බවයි බුද්ධ දේශනාව. බලන්න, එක දවසක් තුළ අපට කොපමණ නම් පින් කරන්නට පුළුවනි ද…!

ආහාරපාන විතරක් නෙවෙයි; පරලොවට ගෙනයන්න හැකි පරිද්දෙන් අපට ලෝකයට ප්‍රිය වචනය දන් දෙන්නට හැකියි. අප්‍රිය අමනාප වචනයෙන් දැවෙන තැවෙන පීඩා විඳින ස්වභාවය ඉක්මවන කුසල විපාක එයින් රැස් වනවා. ඒ වගේ ම, ආචාරශීලී හැසිරීම, මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම අපට ලොවට දන් දිය හැකියි. ‘දන් දීම’ එතරම් ම පහසු දෙයක් නොවන නිසා වචනයෙන් කථා කළ පමණින් මේ දේවල් පහසුවෙන් කරන්නට හැකි වන්නේ නම් නැහැ. දුෂ්කර ව හෝ පුරුදු පුරුදු වුණහොත් දුක් මහන්සියෙන් හරි හම්බ කර ගන්නා ඒ දේවල් පරලොවට ගෙනියන්නට බැරිකමකුත් නැහැ. දෙලොව යහපත පිණිස ද අමා මහ නිවන පිණිස ද ධර්මය දේශනා කොට වදාළ ශාස්තෘන් වහන්සේනමක් සරණ ගිය අපත් ඒ දුෂ්කර දේ පුරුදු පුහුණු නොකරන්නේ නම් ලොව අන් කවුරුන් ඒ දේ කරන්න ද? ඒ නිසා, අත්නොහැර දන් දීම පුරුදු කරමින් පරලොවට ගෙනයන දේවල් උපයන්නට සිත් නැමේවා! සියල්ලෝ දන් දීමෙහිලා සතුටු සිත් ඇත්තෝ වෙත්වා!

දන් දීමෙහි සමාදන් වූ සිත් ඇත්තවුන් වෙන්න. අන් අයවත් දන් දීමෙහි සමාදන් කරවන්න. මෙලොව වගේ ම පරලොව ද වියහියදම් පිණිස උපයා ගත් පුණ්‍යස්කන්ධ ඇති පොහොසතෙක් වෙන්න. දන් දීමෙහි ඇලුනු සිත ම නිවනෙහි ඇලුනු – අමා මහ නිවන ස්පර්ශ කළා වූ පින්සාර සිතක් උපදවාලන්නට වාසනාව ලබන දවසක් අපටත් මුණගැසේවි. ඒ දවසට සදහට ම නිවී යාම පිණිස සියලු අකුසල් බැහැර කරමින්, පරිපූර්ණ වශයෙන් ම අත්හරින්නට මෙසේ බුද්ධ ශාසනයක අත්හැරීම දියුණු කරලමින් රැස් කළ පින උපකාරක වනවා ම යි…!

සටහන – උදුලා පද්මාවතී