භාග්‍යවතුන් වහන්සේගේ තුන්වන අග‍්‍ර ශ‍්‍රාවක වන, ධුතාංගධාරී භික්ෂූන් අතරින් අග‍්‍ර වූ මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළ පළමු ධර්ම සංගායනාවේ දී මුලින් ම සංගායනාවට ලක් වූයේ බ‍්‍රහ්මජාල සූත‍්‍රයයි. (බ‍්‍රහ්මජාලං). මේ දේශනාවට මේ නම පනවා වදාළේ භාග්‍යවතුන් වහන්සේ ම යි. ඊට අමතරව අර්ථ ජාලය (අත්ථ ජාලං), ධර්ම ජාලය (ධම්ම ජාලං), දෘෂ්ටි ජාලය (දිට්ඨි ජාලං), අනුත්තර සංග‍්‍රාමවිජය (අනුත්තරෝ සංගාමවිජයෝ) යන නම් ද පනවා වදාළා. කිසිවකින්වත් ආවරණය නො වූ හිරු සඳුට වඩා ප‍්‍රභාෂ්වර වූ භාග්‍යවතුන් වහන්සේගේ ප‍්‍රඥාවේ බල මහිමය මේ දේශනාවේ දී ප‍්‍රකට වෙනවා.

යම් යම් තර්ක විතර්කවල හිරවෙමින් සමාධිය තුළ හැඟීම්වලට මුළා වෙමින්, එ් වගේ ම පෙර ගත කළ ජීවිත දකිමින් එ්වා මුල් කරගෙන මුළා වෙමින් පුද්ගලයන් නොයෙක් ලෙස දෘෂ්ටිගත වන ආකාරය, දෘෂ්ඨි හැට දෙකක් යටතේ මෙහි දී විස්තර වෙනවා. එ් දෘෂ්ටි විස්තර කිරීමට පෙර, මෙන්න මේ වගේ ප‍්‍රකාශයක් භාග්‍යවතුන් වහන්සේ වදාළා.

‘‘පින්වත් මහණෙනි, පෘථග්ජනයා යම් කරුණකින් තථාගතයන් වහන්සේගේ ගුණ කියයි නම්, එ් ගුණය අල්පමාත‍්‍ර දෙයක් ම යි. ස්වල්ප දෙයක් ම යි. සීල ගුණ මාත‍්‍රයක් ම යි. පින්වත් මහණෙනි, වෙනත් දේවල් තියෙනවා ම යි. එ්වා ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප‍්‍රණීතයි. එ් වගේ ම තර්කයට ගෝචර වෙන්නේ නෑ. සියුම් නුවණැත්තන්ට විෂය වන දෙයක් තථාගතයන් වහන්සේ තම විශිෂ්ට වූ ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා යම් දෙයක් ලෝකයට ප‍්‍රකාශ කරනවා නම්, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේගේ යථාර්ථයෙන් ම තියෙන ගුණ ගැන මනා කොට වර්ණනා කරනවා නම් වර්ණනා කළ යුත්තේ. එ් විශිෂ්ට වූ ප‍්‍රඥාවෙන් අවබෝධ කරන ලද දේවල් මොනවා ද?”

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ එ් දෘෂ්ටි හැට දෙක දේශනා කළා. දෘෂ්ටි හැට දෙක දේශනා කිරීමෙන් අනතුරුව එ්වා සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ද වදාළා.

‘‘පින්වත් මහණෙනි, මේ දෘෂ්ටීන් නො දැනීමක් ම යි. නො දැකීමක් ම යි. විඳීමකට අයිති, තෘෂ්ණාවට පැමිණීමෙන් ඇති වූ කැළඹීමක් ම යි. තැති ගැනීමක් ම යි.”

‘‘පින්වත් මහණෙනි, මේ දෘෂ්ටි හටගන්නේ ස්පර්ශය ප‍්‍රත්‍යයනුයි. (ඵස්ස පච්චයා) එ් දෘෂ්ටි ආස්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදු විය නො හැකි දෙයක් ම යි.”

‘‘පින්වත් මහණෙනි, දක්ෂ මසුන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු සියුම් සිදුරු ඇති දැලක් වතුර ටිකක් තියෙන දිය වළක අතුරනවා. ඔහුට මෙහෙම හිතෙනවා. මේ දිය වළේ යම්තාක් ගොරෝසු සතුන් ඉන්නවා ද, එ් සියලූ සතුන් ම මේ දැල තුළට හසුවෙනවා. එතකොට මේ දැල තුළ ම යි ඔවුන් බැඳිලා ඉන්නේ. දැල තුළ ම යි උඩට එතොත් උඩට එන්නේ. ගිලූනොත් ගිලෙන්නේ. ඔන්න ඔය විදිහ ම යි, මේ කරුණු හැට දෙකක් ඔස්සේ නොයෙක් ආකාර දෘෂ්ටි උගන්වනවා ද, එ් සියල්ලෝ ම මේ දෘෂ්ටිවාද හැට දෙක නැමති දැල ඇතුළට ම ගිහිල්ලයි ඉන්නේ එ් දැලට ම බැඳිලයි ඉන්නේ. මේ දෘෂ්ටිවාද නැමති දැල ඇතුළේ ම යි උඩට එනවා නම් උඩට එන්නේ. ගිලෙනවා නම් ගිලෙන්නේ.”

‘‘පින්වත් මහණෙනි, මේ දෘෂ්ටීන් ග‍්‍රහණය කර ගත්තොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මේ මේ විදියට පරලොව යනවා කියලා තථාගතයන් වහන්සේ දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලූත් දන්නවා. එ්වා දැනගත්ත කියලා අමුතුවෙන් එ්වාට බැඳෙන්න යන්නේ නෑ. එ් දෘෂ්ටිවලට හසු නොවන නිසා ම යි තමා තුළ ම නිවී ගිය බව දැනගෙන ඉන්නේ.”

‘‘පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව මේ ස්පර්ශ ආයතනයන්ගේ (ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ) හටගැනීමත්, නැතිවීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් පවතින ස්වභාවයෙන් ම අවබෝධ කර ගනියි ද, මේ සියලූ දෘෂ්ටිවලට වඩා උත්තරීතර වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.”

මේ දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතුව කම්පා වුණා. ‘ලෝකයේ සදාකාලික මැවුම්කරුවකු ඉන්නවා’ යන දෘෂ්ටිය මෙහි පස්වන දෘෂ්ටිය ලෙස විස්තර වෙනවා.

‘‘පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගියාට පසු, යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින් ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප‍්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා”

ඉතා දීර්ඝ කාලයක් ගතවුණාට පසු නැවත මේ ලෝකය සකස් වෙනවා නම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දී, හිස් බ‍්‍රහ්ම විමානයක් පහළ වෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ අර ආභස්සර ලෝකයෙන් චුත වෙලා හිස් බ‍්‍රහ්ම විමානයේ උපදිනවා. එහිත් මනෝමය ශරීර ඇතිව, ප‍්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා. ඉතින් දීර්ඝ කාලයක් ගත කරන ඔහුට පාළු ගතියක් ඇති වෙනවා. නොඇල්මක් ඇති වෙනවා. කැළඹීමක් ඇති වෙනවා. ‘අහෝ……! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක් ද…?’ කියලා හිතෙනවා. එතකොට ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ අනෙකුත් සත්වයන් ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ‍්‍රහ්ම විමානයේ එ් සත්වයාගේ ස්වභාවයෙන් ම උපදිනවා. ඔවුනුත් එහි මනෝමය සිරුරු ඇතිව, ප‍්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝක විහිදුවමින්, අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගත කරනවා.

එතකොට යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇති වෙනවා. ‘මං තමයි බ‍්‍රහ්මයා, මහා බ‍්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, මා තමයි කර්තෘ, නිර්මාතෘ, මා තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ’ කියලා. එ්කට හේතුව කුමක්ද? කලින් ම මටයි මේ විදියට සිතුණේ, අහෝ…….! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් හොඳ දෙයක් ද කියලා. මේක තමයි මගේ ප‍්‍රාර්ථනාව වුණේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියලා.

එ් වගේ ම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇති වුණේ මේ විදියේ අදහසක්. ‘මේ තමයි භවත් බ‍්‍රහ්මයා, මහා බ‍්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, කර්තෘ, නිර්මාතෘ, ශ්‍රේෂ්ඨ කෙනා, ලොව සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. මේ බ‍්‍රහ්මයා විසිනුයි අපිව මැව්වේ. එ්කට හේතුව මොකක්ද? මේ ලෝකයෙහි මුලින් ම ඉපදිලා හිටිය මොහුව තමයි අපි දන්නේ. අපි පසුව ඉපදුණ අයනේ’ කියලා.

‘‘පින්වත් මහණෙනි, ඉතින් එහි යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහු ඉතාමත් දිගු ආයුෂයකින් යුතු වුණා. ඉතා සුන්දර වුණා. ඉතාමත් මහේශාක්‍ය වුණා. නමුත් යම් සත්වයන් පසුව උපන්න ද ඔවුන්ට ආයුෂ තිබුණේ ස්වල්පයයි. එතරම් ලස්සන වුණේ නෑ. අල්පශාක්‍ය වෙලයි හිටියේ. එබඳු සත්වයෙක් එ් ලෝකයෙන් චුතවෙලා මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ දකින්නට ලැබෙන දෙයක්. ඉතින් මිනිස් ලොවට ආපු එ් කෙනා ගිහිගෙය අත් හරිනවා. ඔහු වීර්යයෙන් යුතුව, මහත් වීර්යයෙන් යුතුව, යළි යළි වීර්යය කර, ඉතා හොඳින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාධිමත් වූ විට එ් කලින් ගත කළ හැකි ජීවිතය සිහි කළ හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එයින් එහාට සිහි කරන්න පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා.

‘‘යම් එ් බ‍්‍රහ්මයෙක් (බ‍්‍රහ්මා) ඇත් ද, ඔහු තමයි මහා බ‍්‍රහ්මයා (මහා බ‍්‍රහ්මා). සියල්ල මැඩලන කෙනා (අභිභූ), වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා (අනභිභූතො), සියල්ල දක්නා කෙනා (අඤ්ඤදත්ථුදසො), ලොව වසඟයෙහි පවත්වන කෙනා (වසවත්තී), ලෝකයේ අධිපතියා (ඉස්සරො), මෙයා තමයි කර්තෘ (කතතා), නිර්මාතෘ (නිම්මාතා), ශ්‍රේෂ්ඨ කෙනා (සෙට්ඨෝ), ලොව සකස් කරන කෙනා (සජිතා), පුරුදු කළ වශී ඇති කෙනා (වසී), ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ (පිතා භූතභව්‍යානං). එයා තමයි අපිව මැව්වේ. එයා නිත්‍යයි. (නිච්චෝ), ස්ථීරයි (ධුවො), සදාකාලිකයි (සස්සතෝ), වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි (අවිපරිණාම ධම්මෝ). සදාකාලිකව පවතින යමක් ඇත්ද, එය එ් විදියට ම පවතිනවා. එ් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ අපි අනිත්‍යයි, අස්ථිරයි, අල්ප ආයුෂයෙන් යුක්තයි. චුතවන ස්වභාවයෙන් යුක්තයි. එ් නිසයි මෙලොවට ආවේ” කියලා.

‘‘පින්වත් මහණෙනි, මේ කාරණය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප‍්‍රණීතයි. එ් වගේ ම තර්කයට විෂය වන්නේ නෑ. තර්කය ඉක්මවා ගිහිල්ලයි තියෙන්නේ. සියුම් නුවණැත්තන්ට පමණයි විෂය වන්නේ. තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා මේ වගේ දේවල් ලෝකයට ප‍්‍රකාශ කරනවා ද, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේ යථාර්ථ වශයෙන් ම තියෙන ගුණ ගැන මනා කොට වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුත්තේ.”
(බ‍්‍රහ්මජාල සූත‍්‍රයෙන් – දී. නි. 01)

පින්වත් මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය (බුද්ධානං බුද්ධවිසයෝ) සිතන්නට නො යා යුතුයි. සිතන්නේ නම් උමතු බව හිමිවෙනවා (උම්මාදස්ස). දුක හිමිවෙනවා (විඝාතස්ස).
(අචින්තෙය්‍ය සූත‍්‍රය – අං. නි. 02)

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.