අප මේ කතා කරන්නේ ‘නීල් ආම්ස්ට්‍රෝන්ග්’ ගැන ය. ඔහුගේ මරණය ගැන අපට සැල වුණේ අගෝස්තු 25 වනදා යි. 82 හැවිරිදි වියේ පසු වූ ආම්ස්ට්‍රෝන්ග් හෘද රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මිය ගියේ ය.

‘මෙය මිනිසෙකුගේ කුඩා පියවරක් පමණක් වූව ද මානව සංහතිය ම තැබූ යෝධ පිම්මක්’ ලෙස පවසමින්, සඳ මත පා තැබූ පළමු මිනිසා වීමේ ගෞරවය දිනා ගත්තේ ආම්ස්ට්‍රෝන්ග් ය. ඒ 1969 ජූලි මස 20 වන දිනයි. ලොව පුරා මිලියන 500ක් පමණ පෘථිවි වැසියන් ඒ යෝධ පියවර තැබෙන අයුරු සජීවී ව නැරඹූහ. ආම්ස්ට්‍රෝන්ග්ගේ පා සටහන පොදුවේ විශ්වීය රහස් ගවේෂණයේ නියැළුන ලෝකයට මහත් බලාපොරොත්තු සමුදායක් ද පෞද්ගලික ව ඔහුගේ ජීවිතයට ප‍්‍රමාණ කළ නො හැකි අන්දමින් ගරු බුහුමන්, කිත් පැසසුම් හා මිල මුදල් ද එක් කරන්නට සමත් විය.

කිසිවෙකුට යළි කිසි දිනෙක සම කළ නො හැකි, නො බිඳිය හැකි සලකුණක් මානව න්‍යාය පත‍්‍රයේ සනිටුහන් කරන්නට ඒ එකමෙක පියවර සමත් වූ බව පිළි ගන්නට ලෝකය මැලි වූයේ නැත. ආම්ස්ට්‍රෝන්ග් යළි පෘථිවියට පැමිණියේ ඉතිහාසගත වීරයෙකු බවට පත් වෙමිනි. එදිනට පසුව සෑම මිනිසෙකුට ම ආම්ස්ට්‍රෝන්ග් යනු ඔවුන්ගේ ඉතිහාසයේ ‘සඳ මත පා තැබූ පළමු මිනිසා’ ය. ඔහු ගියේ කොතැනට ද එතැන රොක් වූයේ සඳ මත තැබූ පියවරේ අභිමානයයි. සමාජය ඔහු දෙස බැලූවේ ගෞරවයෙනි, ආඩම්බරයෙනි, ‘ලොවේ එකම එකා’ යන අද්විතීයත්වයේ හැඟීමෙනි. සාඩම්බර මිනිසෙකු ලෙස සමාජය තුළ රැඳී සිටීමේ භාග්‍යය ලද ඔහු දැන් මිය ගොසිනි.

ජීවිතය ඔහුට ලබා දුන්නේ අනෙකෙකුට පහසුවෙන් නො ලැබෙන බොහෝ දේවල් ය. ජීවිතය ඔහුට ලබා නො දුන්නේ ද අනෙකෙකුටත් පහසුවෙන් නො ලැබෙන අගනා ම දේවල් ය. ජීවිතය ඔහුට ලබා දුන් දෙයින් ඔහු සඳ දිනුවේ ය. සඳ දිනා ගත් නිසා ඒ තාක් ජීවිතය සතු නො වූ, ආත්ම වර්ණනය උදෙසා වූ බොහෝ දේ ද දිනා ගත්තේ ය. එහෙත් ජීවිතය ඔහුට අනගිතම දේ නො දුන් නිසා ඔහු ජීවිතය නො දිනා ම මිය ගියේ ය. සැබෑවකි. ඉපදීමෙන් නිදහස් නො වී ම ඔහු මිය ගොසිනි. ලෙඩ වීමෙන්, වයසට යෑමෙන් නිදහස් නො වී ම ඔහු මිය ගොසිනි. මරණයෙන් නිදහස් නො වී ම ඔහු මිය ගොසිනි. අඩුම තරමේ එලෙස ජීවිතය දිනීමේ මාර්ගය ගැන නො අසා ම, නො සොයා ම ඔහු දැන් හිස් අතින් මිය ගොසිනි.

මීට වඩා බොහෝ සෙයින් තාක්ෂණික අතින් දියුණු ශිෂ්ටාචාරයන් දුරාතීතයේ පැවතිණි. ඒ ශිෂ්ටාචාර වැසියන් ද සඳ මත පා තබන්නට ඇත; අනෙක් ග‍්‍රහලෝක මත ද පා තබන්නට ඇත; පිට සක්වළ වාසස්ථාන පවා සාදාගෙන දිවි ගෙවන්නට ඇත. එකල ද මෙකල මෙන්ම ඒ ‘එක් මිනිසෙකුගේ කුඩා පියවර, මානව සංහතිය ම තැබූ යෝධ පිම්මක්’ බවට පත් වන්නට ඇත. එහෙත් විශ්වය ජය ගත් ඔවුහු ද ඒ කිසිදු යෝධ පිම්මකින් තම ජීවිතය ජය ගන්නට සමත් වූයේ නැත. බොහෝ සමත්කම් පෙන්නුව ද අසමත් මිනිසුන් ලෙසින් ඔවුහු ද මිය ගියහ. හිස් අතින් ම මිය ගියහ.

පරක් තෙරක් නො පෙනෙන සසර පුරාවට තම තමන් විසින් ම හදා ගත් කෙලෙස් දුර්ගයෙන් එතෙර වීමේ යෝධ පිම්ම තබන්නට නම් මේ කිසිවක් උවමනා නො වේ. එයට උවමනා වන්නේ එක දෙයකි. ඒ එකම දෙය නම් එතෙර වන්නට පෙරුම් පුරනා දෙව් මිනිස් සංහතියේ ‘යෝධ පිම්ම’ වූ, චිත්ත සන්තානය දියුණු කිරීමෙන් ලබන සත්‍යාවබෝධය ගුරුවරයෙකු, මඟ පෙන්වන්නෙකු නො මැතිව තනිව ම උපදවා ගත් අසමසම අනුත්තරීය මනුෂ්‍ය රත්නයත්, ඒ නිදුකාණන් වහන්සේ පෙන්වා වදාළ ‘යෝධ පිම්මේ ඒකායන මඟ’ත්, ඒ සුමඟ ඔස්සේ ‘යෝධ පිම්ම’ තබන්නට පිළිපන් ශ‍්‍රාවක පිරිසත් අනන්‍ය වූ අසම සම වූ ගුණ වශයෙන් ම හඳුණාගෙන සරණ යාමත්, නො කිළිටි වූ ආර්ය ශීලයකින් යුක්ත වීමත් ය.

මෙකරුණ සිදු නො වනතාක් සඳ මත නො ව බුධ, සිකුරු, අඟහරු මත පා තැබුව ද මැරෙන ඉපදෙන ලෝකයෙන් නිදහස් වන්නට ලැබෙන්නේ නැත. අද සඳ මත පා තබා ලොවක් විශ්මයට පත් කරන්නා මරණයෙන් මතු ඒ සඳ දෙස බලා උඩුබුරන්නෙකු වන්නට කරුණු සකසා ගන්නේ නම් සඳ මත තැබූ පියවර බලූ වටින්නේ ද නැත. ආම්ස්ට්‍රෝන්ග් අපට ඉතිරි කර යන පාඩම එයයි. ඔහු අද කො තැනකදැයි අපි නො දන්නෙමු. ඔහු ජීවිතය නො දිනූ බව පමණක් අපි දන්නෙමු.

හිරු, සඳු, තරු පවතින තුරු අප නො මැරී සිටින්නේ නැත. එහෙත් හිරු, සඳු, තරු පවතින තුරු පමණක් නො ව ඉන් මතුවට ද නූපදී ඉන්නට අපට හැකි ය. ඒ යෝධ පියවර දැන් දැන්ම වුව තබන්නට බැරිකමක් නම් නැත. මඟ විවර ව තිබේ. උවමනා වන්නේ ප‍්‍රඥ පිරිපුන් වීර්යවන්තයන් පමණි.

ආම්ස්ට්‍රෝන්ග්ගේ ජීවිතය නො ලද අනගිතම දේ අපේ ජීවිතවලට ලැබී තිබියදීත් කුමට නම් තවත් පමා වෙමු ද?

සියල්ලෝ දුලබ දහම තුළ අප‍්‍රමාදී වෙත්වා!