ඔබ, ඔබ ගැන මොන තරම් සැලකිලිමත් ද? ලෙඩක් දුකක් වෙන්න නො දී, අතුරුආන්තරාවක් වෙන්න නො දී ඔබ, ඔබ ව මොන තරම් පරිස්සම් කරනව ද? ඔබට උවමනා කරන විදිහට එක දෙයක් හරි සිදු නො වුණොත්? ඔබ කාට ද මුලින් ම ඇඟිල්ල දිගු කරන්නේ? ඒ වගේ වෙලාවක ඔබේ චෝදනාවට ලක් වෙන්නෙ ඒ සිදුවීමට වග කිව යුතුයි කියලා ‘ඔබට හිතෙන කෙනා’ නේ ද?

හිතේ ආවේගය නිසා දෝෂාරෝපණය කරලා ඒ ගැන පසුතැවුණ අවස්ථා ඔබට නැද්ද? පනින්න පෙර සිතා බලන්න ඕනෙ කියලා අපිට මතක් වෙද්දි අපි පැනලා විතරක් නෙමෙයි, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහිල්ලත් ඉවරයි. සසරේ දීර්ඝ කාලයක් අපි පුරුදු වෙලා තියෙන්නේ හිතෙන දේ කරන්න මිසක් දෙයක් හිතලා බලලා කරන්න නෙමෙයි. ඒ පුරුද්දට ම අපි තවමත් හිතට එන දේ කරනවා; හිතට එන දේ කියනවා. අන්තිමේ පසුතැවිලි වෙන්න මහමෙරක් තරම් දේවල් ඔළුවෙ ගොඩගහ ගන්නවා.

අපි කවුරුවත් අඩුපාඩු නැති අය නෙමෙයි. අඩු, වැඩි වශයෙන් අපි කාගෙකාගෙත් දුර්වලකම් තියෙනවා. ඒ මනුෂ්‍ය ස්වභාවය තේරුම් අරගෙන ජීවත් වුණොත් අනිත් අයගෙ අතපසුවීම්වලට, අඩුපාඩුවලට සමාව දෙන එක සහ ඒ දේවල් පටිඝ නිමිත්තක් කර නො ගෙන ඉන්න එක ගොඩක් පහසුයි.

ඒ වගේ ම යි, බොහෝ මිනිසුන් කියන කරන දේවල්, ඒ අය ඉන්න මානසික තත්වයන් උඩ වෙනස් වෙනවා. පීඩා විඳින ප‍්‍රශ්නයක් නැතිව අපි වැඩක් කරද්දි සහ එහෙම ප‍්‍රශ්නයක් ඇතිව අපි ඒ වැඩේ ම කරද්දි යම් වෙනසක් නැද්ද? ප‍්‍රශ්න මැද්දෙ නො වෙනස් ව තම කාර්යභාරය ඉටුකරන්නෙ සුළුතර පිරිසක්. මේ ලෝකෙ ගොඩක් දෙනා ගෙවන්නෙ ප‍්‍රශ්න ඉහවහ ගියපු ජීවිත. ඒ වගේ ම, වැරදි විදිහට හිතන්න පුරුදු වුණ මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. එහෙම අය අතින් මොන තරම් අඩුපාඩු වෙන්න පුළුවන් ද? එහෙම තැනකදි අපි මොකට ද කලබල වෙන්නෙ?

මේ ඒ ගැන ආයෙත් හිතා බලන්න උපකාර වෙන පුංචි කතාවක්.

හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළු වුණේ කඩිනමින්. සැත්කමට භාජනයවීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නො ඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් ඔහු වෛද්‍යවරයා වෙත කඩාපැන්නා.

“ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසි ම වගකීමක් නැති හැටි?”

වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා.

“මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඬේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නො වී ඉන්නකෝ.”

“කලබල නො වී ඉන්න? කලබල නො වී ඉන්නෙ කොහොම ද? ඔයාගේ පුතාට මෙහෙම දෙයක් වුණොත් ඔයා කලබල නො වී ඉන්නව ද?”
පියා තරහින් කෑ ගැහුවා.

තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම.

“මිනිස්සු ඉපදෙනවා. ඒ වගේ ම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැමදෙයක් ම කරනවා.”

“මහ ලොකුවට උපදෙස් නම් දෙනවා” පියා තමාට ම කියා ගත්තා.

සැත්කමට පැය කිහිපයක් ගත වුණා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්.

“ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා.”

වෛද්‍යවරයා ඔහුගේ වාහනය වෙත දුවමින් කිව්වා.

“ඔයාට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.”

එහෙම කියලා වාහනයට නැගපු වෛද්‍යවරයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.

“ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහනකන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.”

පියා වෛද්‍යවරයා ගැන හෙදියට එහෙම කිව්වේ නො මනාපයෙන්. හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්.

“එයාගේ පුතා ඊයේ සිද්දවෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා එච්චර ඉක්මනට යන්න ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න.”

දැන් කල්පනා කරල බලන්න. අපි වුණත් ඒ වගේ අවස්ථාවක ‘සැත්කමට බඳුන් වූ දරුවගේ තාත්තා’ වගේ හැසිරේවි. එහෙම වෙන්නෙ අපි බලන්න පුරුදු වෙලා ඉන්නෙ අපේ රාමුවට කොටු වෙලා නිසයි.

මේ වගේ ම පිරිස් බුද්ධ කාලෙත් හිටියා.

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ කල්‍යාණ කීර්ති රාවය පැතිරෙද්දි එය ඉවසා දරා ගන්නට නො හැකි වුණ පරිබ‍්‍රාජක පිරිස් ‘සුන්දරී’ ඇමක් විදිහට අරගෙන, ඇයව කෙලෙසලා, මරා දමලා ජේතවනාරාමයේ වැළලූවා. බොහෝ පිරිස් ජේතවනාරාමයට පැමිණීමත් පිළිකෙව් කළා. දානමාන පවා නො ලැබී ගියා. “සවියත් දුර එපිට නො බලමින් දිවා චාරිකාවේ වඩිනා ගෞතමයන්ගේ රාත‍්‍රී චාරිකාවේ තරම බලව” කියමින් තීර්ථකයන් සුන්දරීගේ සිරුර ඔසවා ගෙන වීදියක් වීදියක් ගානෙ ගියා. විමසා බලලා දෙයක් පිළිගන්න පුරුද්දක් නො තිබුණ අය ඒ දේ ම අල්ලා ගෙන භාග්‍යවතුන් වහන්සේට අපහාස කළා. අභූතයෙන් චෝදනා කළා.

තව පාරක් චිංචිමානවිකාව කුසේ දර මිටියක් බැඳගෙන ඇවිත් තමන් ගැබ් ගත්තේ භාග්‍යවතුන් වහන්සේ නිසා කියමින් චෝදනා කළා. ඒ මුසාව එතැනදිම හෙළි නො වන්නට තවත් බොහෝ අය භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරලා නිරයගාමී අකුසල කර්ම රැස්කර ගන්නා බව නිසැකයි.

මේ කාලේ වගේ ම ඒ කාලෙත් බහුල වුණේ තමන්ගේ මතයට රුචි වෙන දේ අනුව හැම දේ ම තීරණය කිරීම මිස විමසා බලා තීරණ ගැනීම නෙමෙයි.
පටාචාරාව සිහිවිකල් වෙලා ඇඳිවත පවා අහිමිව දුවගෙන එද්දි බොහෝ මිනිසුන් කළේ ඇයට උසුළුවිසුළු කරපුඑක; පළවාහැරපුඑක. ජනානුකම්පාව ලබන්න උවමනා තැනදි ඇය ලැබුවෙ ජනාවේගය.

කුමාරකස්සප මාතාව ගැරහුම් ලැබුවෙත් මතුපිටින් බලලා තීරණ ගන්න, සිතට එන දේ කරන, සිතා බලා කිසිවක් නො කරන මිනිසුන්ගෙන්.
උපාලි මහරහතන් වහන්සේ අතින් ඇවතක් වූ බව කියලා වසල වාදයෙන් අමතමින්, උන්වහන්සේ ව සසුනෙන් නෙරපන්න බල කළෙත් එවන් හිස් මිනිසුන්.

අවුරුදු 2600කට එහා කාලේ එහෙම නම් අද කාලේ ගැන කවර කතා ද?

ඒ හැම තැනම නිවැරදි දේ කළේ අපි ආදරයෙන් සරණ ගියපු අපේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ ව සරණ ගියපු අපිත් රාමුවක ඉඳගෙන තීරණ ගැනීම නො කළ යුතු යි නේ ද?

අභූතයෙන් චෝදනා කරන එක අකුසලයක්. මෙතැන තියෙන බරපතළම දේ තමයි අපි එහෙම නො දැන, නො විමසා චෝදනා කරන්නෙ සිල්වත්, ගුණවත් උතුමන්ට වෙන්න පුළුවනි. එහෙම වුණොත් ලැබෙන ප‍්‍රතිවිපාක අතිශය දරුණුයි. මිනිසුන් විනිවිද දකින්න පුළුවන්කමක් අපිට නෑ. ඒ නිසා කළ යුතු හොඳ ම දේ තමයි සිතත් රැකගෙන, කටත් රැකගෙන ප‍්‍රවේශම් වෙනඑක.

Facebook සහ නොයෙකුත් Website හරහා මඩ, අවලාද රැළි පිටින් නැගෙන කාලයක් මේ. ඒ දේවල් කරන මිනිස්සු තමන් කරන දේ බරපතළකම තේරුම් අරන් නෑ. ඒවා දකිද්දි ඒ පුහුදුන් මිනිසුන් ගැන අනුකම්පාව උපදවා ගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද?

බොරුවට තටු තියෙනවා. ඒ නිසා බොරුව ඉගිල්ලිලා, ඉක්මනින් හැම තැනට ම යනවා. ඇත්ත එන්නෙ හරිම හෙමින්. ඇත්ත එනකොට බොරුව ආදරයෙන් වැලඳගත්ත අය තමන්ටත්, සමාජයටත් වෙන්න පුළුවන් ලොකුම හානිය කරගෙන ඉවරයි. එවන් පුහුදුන් මිනිසුන්ට අනුකම්පා කිරීම හැර වෙනකරන්න දෙයක් නෑ.

අනුන්ගේ ගුණ මිස නුගුණ නො දකින, නො සොයන උත්තමභාවයට එන්න හිස් මිනිසුන්ට බෑ තමයි. ඒත් තමන්ගේ නිරුවත හැම තැනට ම පෙන්නමින් අනුන්ගේ ඇඳිවතට ඇඟිල්ල දිගු කරන ඒ හිස් මිනිසුන් ඇදවැටිලා ඉන්න පහත් තැනට නො වැටෙන්න අපිට වග බලා ගන්න පුළුවන්.

අපේ ශාස්තෘන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන්නෙ ඒ දේ. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන් වුණ අපිත් ඒ මඟ ම ගනිමු. ශාස්තෘ ගෞරවයෙන් යුතු ව අපිට කරන්න පුළුවන් හොඳ ම දේ ඒක නේ ද?