අළු යට තිබුණු ගිනි පුපුරු ඇවිළී ගොසින් සිය ගණනින් මිනිස් ජීවිත බිලි ගන්නා කුරිරු යුද්ධයක් බවට පත් වෙලා යුක්රේනය සිසාරා පැතිර යනවා. මා මේ සටහන තබන මොහොත (2022 මාර්තු මාසයේ පළමු සතිය) වන විටත්, මිලියන සංඛ්‍යාත යුක්‍රේන වැසියන් පමණක් නොව; රුසියානුවන් ද යුදකාමී ආවේගයන්, දුක් සන්තාපයන් නොඅඩුව පිරී ගත් සිත් ඇතිව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ ඛේදවාචකයේ කොටස්කරුවන් බවට පත්ව සිටිනවා. හුදෙක් ඔවුන් පමණක් නොවෙයි; ලෝක බලවතුන් ඉදිරියේ බෙලහීනයන් ව සිටින අප වැනි ‘කුඩා’ (වර්ගඵලයෙන් පමණක් නොවේ; ආර්ථික දේශපාලනික සමාජයීය ස්ථාවර භාවයෙන්…) රටවල් පවා මේ අර්බුදය ඉදිරියේ කැළඹී ගොසින්…

රුසියාව හරි ද? රුසියාව වැරදි ද? යුක්‍රේනය හරි ද? යුක්‍රේනය වැරදි ද? මේ පිටුපස තිබෙන ලෝක දේශපාලනික දිශානතිය කුමක් ද? අර්බුදය විසඳා ගැනීම පිණිස සාකච්ඡා සිදු කෙරෙමින් තිබිය දී ම පවා නොනැවතී එල්ල කෙරුණු ප්‍රහාර මධ්‍යයේ නූපන් දරුවන්ගේ පටන් මරණ බය අත්විඳිමින් සනිටුහන් කෙරෙන මේ නින්දිත කාලපරිච්ඡේදය මානව ඉතිහාසයේ නීච ඇදවැටීමක් බවට පත් වන බව නිසැකයි. කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත්ව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මනුලොව හැර යද්දී, එහි බලපෑමෙන් නැගී සිටීමක් ගැන සිතා ගන්නට පවා නොහැකිව තිබෙද්දී, කාලයක් පුරා පැසව පැසවා ඔඩු දුවමින් තිබූ බල අරගලයක ලේ කඳුළු විසිරුණු පුපුරා යාම බවට පත් වූ මේ යුදමය වාතාවරණය මනුෂ්‍යත්වය අගයන කිසිවෙකුදු විසිනුත් නොපසසන්නක්.

මානව වර්ගයා මත බලපවත්වන කවරාකාරයේ අන්තවාදයක් වුවත්, කවරාකාරයේ බලහත්කාරකමක් වුවත් සුදුසු විය යුත්තේ ගර්හා ලැබීමට යි. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයන් තුළ පවා එවැනි දේ සැලකෙන්නේ පිළිකුල් සහගත දේ ලෙසයි. එහෙම එකේ, උතුම් මිනිස් දහම් තුළ ඒවා හීන වූ දේ ලෙස සැලකීම ගැන කවර කථා ද…! නමුත්, ලෝකය යනු ඒ හීන, නීච දේවලින් කිසි කලක හිස් වන්නක් නොවෙයි. අප කැමති වුණත්, අකමැති වුණත් මනුලොව උපන් අපට මෙවැනි දේට මුහුණපාන්නට සිදු වීම වළක්වාලිය නොහැකියි.

ඇත්තට ම, අප අකමැති වූවා කියා පාලනය කොට නවතාලිය හැකි දෙයක් හෝ අප කැමති වූවා කියා පාලනය කොට පවත්වා ගත හැකි දෙයක් හෝ ලෝකයේ තිබෙනවා ද? උපන් සත්වයන්ගේ ජීවිත වනාහි තම වසඟයේ පවත්වා ගත හැකි ස්වභාවයෙන් යුතු දෙයක් නොවෙයි. ‘මගේ, මගේ’ යැයි කියා ආදරයෙන් කවා පොවා නහවා පිරිමැද සතපා පෝෂණය කරලනු ලබන ආධ්‍යාත්මික ඇස පවා බිඳී නොපෙනී යන කලක් එනවා. මගේ කියා සලකන මේ ඇසට පවා පෙනෙන්නේ අප දකින්නට කැමති ප්‍රියමනාප රූප පමණක් නොවෙයි. කනත්, නාසයත්, දිවත්, කයත්, මනසත් යන සියලු ඉඳුරන්ගේ ස්වභාවය ද එය ම යි. ඇත්තට ම, මගේ ම යැයි කියා ගත් මේ සමස්ත ශරීරය ප්‍රිය අප්‍රිය දේ හා සම්භෝග වීමෙන් අඛණ්ඩ ව පීඩා විඳින ස්වභාවය සහිතවයි තිබෙන්නේ. එහෙම එකේ, අපේ ගෙදර උදවිය අපි කැමති විදිහට ම ඉඳීවි ද? අපේ රටේ නායකයෝ අපි කැමති විදිහට රට කරවාවි ද? රුසියාව – යුක්‍රේනය අප කැමති විදිහට යුද්ධ නොකර සිටීවි ද? එය සිද්ධ වන්නේ නැහැ…

“යුද්ධය එපා” යැයි කියා සාමය වෙනුවෙන් ආයාචනා කරන ජනතාවකට එරෙහිව කෙරෙන රුසියානු ක්‍රියාන්විතයට මා කිසිසේත් ම කැමති නැහැ. බහුතර ලෝවැසියන් ද කැමති නැහැ. එහෙත්… බහුතරය පවා කැමති නොවූවා කියා ඒ යුද වැදීම නැවතුණේ නැහැ. මෙයට කිව යුත්තේ ආඥාදායකකම කියා ද? අත්තනෝමතිකත්වය කියා ද? අයුක්තිය, අසාධාරණය කියා ද? එයට අකමැති වූවන් මේ කවර වචනයකින් හෝ ඒ ගැන කථා කරද්දී එයට කැමති වූවන් ‘රුසියාව හරි’ කියා කථා කරනවා. ඒ කැමති – අකමැති සියල්ලන් විසින් මේ සමස්ත ක්‍රියාදාමයට කිව යුතු සර්වකාලික, සර්ව සාධාරණ තනි වචනයක් තිබෙනවා. ඒ තමයි, ‘සසර’…

බලන්න මේ සිදුවීමේ සාරාංශය දෙස… ‘යුක්‍රේනය යටත් කර ගැනීමට රුසියාව හමුදා රැස් කරනවා’ කියා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් චෝදනා කළා. ‘රුසියාව එසේ නොකරනු ඇති බවත්, රුසියාවේ තර්ජන හමුවේ ජීවත් වීමට තමන් ඉගෙනගෙන සිටින බවත්’ කියමින් යුක්‍රේනයේ ජනාධිපතිවරයා ලෝකයේ අනතුරු හැඟවීම් නොසලකන බවක් පෙන්වා සිටියා. ‘පහර දීමක් නොකෙරෙන බවත්, දේශසීමාව ආසන්නයේ ආරක්ෂාව තහවුරු කිරීමක් පමණක් සිදු කෙරෙන බවත්’ රුසියානු ජනාධිපතිවරයා පැවසුවා.

දින කිහිපයක් මේ උණුසුමේ ගෙවී යද්දී යුක්‍රේනයට පහර දී යටත් කර ගන්නා ලෙස රුසියානු ජනාධිපතිවරයා ස්වකීය හමුදාවනට අණ දුන්නා. යුද්ධය අවශ්‍ය නැතත් ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින්නට කියා යුක්‍රේන ජනාධිපතිවරයා සිවිල් වැසියනට පවා අවි දරන්නට බලය ලබා දුන්නා. රුසියානු ප්‍රහාර හමුවේ තුවාල වී ලේ වැගිරෙමින් රෝහලක් කරා ගෙන එනු ලැබූ අවුරුදු හයක දියණියකගේ පණ බේරා ගන්නට නොහැකි වූ තැන ‘පුටින්ට මෙය පෙන්වන්න’ කියමින් යුක්‍රේන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හඬා වැළපුණා. ‘මේ යුද්ධය අපට වුවමනා දෙයක් නොවෙයි’ කියා යුක්‍රේනයේ සිරභාරයට පත් වූ රුසියානු සොල්දාදුවෙකු ද හඬා වැළපුණා.

එහෙත්… ඒ මුසාවන්, ප්‍රචණ්ඩත්වයන්, අකමැති වූ දේවල් අත්දකින්නට ඒ සියලු දෙනාට ම සිදු වුණේ නැති ද? මේ හුදෙක් ඔවුන්ගේ කථාව නොවෙයි; මතක තබා ගන්න, මේ අපේ ද කථාව යි. සසර කියා කියන්නේ මෙයට යි…

රටේ ලෝකේ සිද්ධ වෙන මේ දේවලට කියන නම තමයි ‘සසර’ කියා නිතර සිහි කරන්න. ආදරෙන් හිටපු, පණ වගේ හිටපු අය වෙනස් වෙනවා. ඒ තමයි සසර. ගුණ කියපු, පසසපු අය දොස් කියනවා. ඒ තමයි සසර. ජීවිත කාලයක් එකට ගෙවන්න හිතාගෙන අත්වැල් බැඳ ගත්ත ප්‍රාණසම ස්වාමියා, ප්‍රාණසම බිරිඳ එකිනෙකාගේ මුහුණු දකින්නවත් අකමැති අය බවට පත් වෙනවා. ඒ තමයි සසර. ආදරයෙන් කැතකුණු අතගාලා හදපු දරුවො නපුරු දරුණු වචන කිය කියා, අතපය උස්සගෙන අම්මා තාත්තා ඉස්සරහට එනවා. ඒ තමයි සසර. දරුවන්ට වගේ සෙනෙහසින් මග – නොමග කියා දීලා උඩට ඔසවපු ගෝලයෝ ගුරුවරයාට බැට දෙනවා. ඒ තමයි සසර. එහෙව් සසරකට වැටිලා, එයට ගැටිලා අපට මොනවද ලැබෙන්නේ?

රුසියාව යුක්‍රේනයට පහර දෙද්දී ඒ ගැන සිතේ තරහක් හට ගන්න බැරි ද? ඒ තරහව නිසා අපට නපුරු වචන කියවෙන්නේ නැති ද? අපි දෙස්දෙවොල් තියන්නේ නැති ද? මේ හැම දෙයක් ම සිද්ධ වෙන්න පුළුවන් දේවල්. රුසියාව කළ දේ ගැන උපදවන තරහ සිතේ විපාකය, කියවෙන නපුරු වචනයේ විපාකය රුසියාවට ද? යුක්‍රේනයට ද? තමන්ට ද? සත්පුරුෂ ගුරු දෙවිඳුන් ඒ ගැන අවවාද කර තිබෙන්නේ මෙහෙම යි. “අනුන්ගෙන් බීජ අරගෙන තමන්ගේ කුඹුර වපුරනවා…!” වැපිරුවේ අනුන්ගෙන් ගත්ත බීජ තමයි, හැබැයි කුඹුර තමන්ගේ. අස්වැන්න තමන්ට. ඒ තරහ සිතේ, නපුරු වචනයේ දුර්විපාකය විඳිය යුත්තේ තමනුයි. ඒ තමයි සසර…!

ඔන්න ඔය න්‍යාය ම තමයි අප දිවිගෙවන සමීප පරිසරයට ගළපා ගත යුත්තේත්. අප අකමැති දේ අපට දකින්න වෙනවා. අප අකමැති දේ අපට අහන්න වෙනවා. අප අකමැති ගන්ධයන්, රසයන්, පහසවල් විඳින්න වෙනවා. අප අකමැති දේවල් ම අපට හිතෙනවා. ‘චී’ කියලා එපා වෙන මට්ටමටත් එන අවස්ථා තියෙනවා. ‘ආයෙ නම් නෑ’ කියලා ශපථ කර ගන්නවා. හැබැයි, ඔය අතරේ අප කැමති දේවලුත් බොහොම ටිකක් හරි තිබෙන නිසා අපට මේක එපා ම වෙන්නෙත් නෑ. ‘චී… ආයෙ නම් නෑ’ කියලා වමාරපු දේ ම ආයෙ ආයෙමත් ගිලිනවා… ඒක තමයි සසර.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිය බලන්න. උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් වමනය කළා. කාමාශක්ත ලෝකයා වසඟ කරලන කිසිදු කෙලෙස් අරමුණක නිමිත්තකටවත් ඒ අරහත් මුනිඳුගේ සිත ස්පර්ශ කළ නොහැකි වුණා. ශ්‍රී සද්ධර්මයේ අසිරිය බලන්න. වමාරපු දේ ගිල නොදමන ස්වභාවය සාරය කොට ගත් ඖෂධය වූයේ ඒ ධර්මය යි. ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයේ අසිරිය බලන්න. ඒ අමා ඖෂධය වළඳා උන්වහන්සේලා ද වමාරපු දේ නොගිලින ස්වභාවයට පැමිණ වදාළා. කෙලෙස් රෝගයන්ගෙන් පහස්නා ලදුව, ආතුර ව, පීඩිත ව වෙසෙන සත්ව ප්‍රජාව බැඳී ගත් සියලු බන්ධනයන්ගෙන් නිදහස් ව අමා මහ නිවන ස්පර්ශ කළ ආර්යයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

දුක්ඛ පීඩාවන් හරය කොට ගත් සසරට ගැටෙන්න එපා. එයට ඇලෙන්නටත් එපා. අනුන්ගේ දුක දැක ඇස් කන් පියාගෙන සිටින්නට කියා නොවෙයි මේ කියන්නේ. අනුන්ගේ දුකෙහි දී හදවත කම්පා වීම කියන්නේ ‘කරුණාව’ නමැති බ්‍රහ්ම විහරණයට යි. රුසියාව තරම් දුරක සිට හෝ තමන්ගේ වහළ යට තරම් ම ළඟක සිට හෝ කුසල් වේශයෙන් එන අකුසල මූලික චිත්තාවේගයනට යට වන්නට එපා. සසර ඉක්මවන කෙනෙක් වීම පිණිස අප්‍රමාදී වෙන්න. ලොවට අනුකම්පා ඇති ශාස්තෘවරයෙකු විසින් යහපත පිණිස සිදු කරන අනුශාසනාවන් යම්තාක් වේ ද අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නිර්මල ව වැඩ සිටින්නේ ඒ අනුශාසනාවන් දරාගෙන යි. කල්‍යාණමිත්‍රයන් වහන්සේලා ඇසුරේ ඒ ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගැනීම පිණිස අප තුළ ද වීරිය වැඩේවා!

සටහන – උදුලා පද්මාවතී