“සෙත්මිණ” වැඩිහිටි නිවාසයට අප ගොඩවුණේ එහි වෙසෙන පියවරුන් වෙනුවෙන් පින්කමක් කිරීමේ අදහසිනි. ඒ සඳහා තව කාලය තිබූ බැවින් වටපිට බැලූ මට එක් පියෙකු හමුවේ දෑස නතර විය.

සේපාලිකා ගස යට හිඳගෙන ඈත බලා සිටින ඒ පියා වෙත මම සෙමෙන් ළං වුණෙමි. භීතිය, දුක, සන්තාපය, ශෝකය කැටි වූ ඒ දෑස මා ළඟට එනතුරු ම නො දුටුවෝ ය.

මම ඔහු සිටි කුඩා බංකුවට බර වූයෙමි. මා දෙස බැලූ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු මහා රළ පහරක් වෙරළට වේගයෙන් ගසා එන්නා සේ කම්මුල දිගේ රූරා වැටුණි. ඒ කඳුළු හලන්නට කිසිදු බාධාවක් නැත. ඉතාමත් වේගයෙන් ගලන කඳුළු දෙස මම බලා සිටියෙමි.

“ඇයි මේ?” මම හඬ අවදි කළෙමි.

“මට මගේ දරුවෝ මතක් වුණා.”

ඒ පියාගේ සිතේ ගුලි වී කැටි වී හිර වී තිබුණ දුක, කඳුළු අතරින් මුදා හළ බවක් මට සිතුණි.

‘දරුවෝ’ යනු මව්පියන්ගේ ලේ, ඇට, මස්, නහර, කිඳා බැසගෙන තිබෙන එක් සුන්දර වූ බලාපොරොත්තුවකි. ඉතාමත් දුකසේ ඇති දැඩි කරන දරුවෝ ටිකෙන් ටික උස් මහත් වනවිට මව්පියන්ව මදිපුංචි වන්නේ ඇයි? ඔවුන්ව නුරුස්සන්නේ ඇයි? ඒ හඬට කන් නො දෙන්නේ ඇයි?

ඉතා වේගයෙන් පරිහානියට යන අද සමාජයේ ඇත්තේ දරුවන් දෙමාපියන් අතර යම් අරගලයකි. උස් මහත් වන දරුවන් ඔවුන් ගැන සොයනවාට කැමති නැත. නමුත් දරුවන් සිතන්නේ අප දැන් රැකියාවක් කරන, සමාජයේ අත්දැකීම් ඇති පිරිසක් බව ය. අම්මා – තාත්තා අවවාදයක් කළොත් ඔවුන් කිපේ. දොර වේගයෙන් වසයි. රවා බලයි. එකටෙක කියයි. “මම දැන් පොඩි එකෙක් නෙමේ. මගේ පස්සෙන් එන්න එපා. මම මගේ වැඩ ගැන බලා ගන්නම්” යැයි කියයි. සමාජය පුරා උඩුදුවමින් යන පවුලක් තුළ ඇති ගැටුම එතැනින් ඇරඹෙයි.

පුතා විවාහ කරගෙන නිවසට එන ලේලිය සම්ප්‍රදායික සිරිත් විරිත් සුරකින්නට මැලිබවක් දක්වයි. බොහෝ විලාසිතාවලට කැමති ඇය, යහලු මිතුරන් ද බොහෝ සේ ඇසුරු කරයි. ප්‍රියසාද ඇයගේ ජීවිතයේ බහුල ය. තමන් සමාජයේ යම් ස්ථාවරයක සිටින බව සිතයි. ඇයගේ සිතුවිලි මහලු මව්පියන්ට නොතේරේ. ඔවුන් සොයනුයේ ඉතාමත් නිරහංකාර, ප්‍රියමනාප, සියුමැලි ගති ඇති, තම ඥාතීන්ට ගරු බුහුමන් කරන දියණියකි. නමුත් තරුණ ලේලියට ඒ කටයුතු හිසරදයක් ය. පවුල තුළ එතැනින් ද ගැටුම හටගනියි.

තව විටෙක රූප පෙට්ටියේ පෝලිමට යන නාට්‍ය පෙළ අපගේ කාලය මෙන්ම පවුලේ සමගිය ද සොරාගෙන ඇත. බත්පත බෙදා ගන්නා තාත්තා ප්‍රවෘත්ති බැලීමට ද, කුඩා දරුවන් කාටුන් බැලීමට ද, වැඩිමහල් දරුවන් ක්‍රිකට් හෝ නාට්‍ය බැලීමට ද, අම්මා ඉවුම් පිහුම් හෝ වෙනත් දෙයක් නැරඹීමට ද සැරසී සිටියි. එනිසා ම අනා ගන්නා බත්පිඬ කටට යනවා ඔවුන් නො දනී. නිවසට කෙනෙක් පැමිණ කතා කළද ඔවුන් නො දනී. ඇබ්බැහි වී ඇති තමන් රුචි දෙයට ඇස පොපියා සිටින ඔවුහු නිදිමත වූ විට එතැනින් නැගිට ඇඳට වැටී නිදා ගැනීමට ද හුරු වී සිටිති. ඒ නිවසේ දරුවන් මාපියන් අතර සුහද ගනුදෙනුවක් වන්නේ නැත. තම තමාගේ තොරතුරු කීමක් හෝ විමසීමක් නැත. දරුවන් ඔවුන්ගේ ලෝකවල තනි වේ. මව්පියන් තමන්ගේ ලෝකයේ තනි වේ. එතැනින් ද පවුලේ සමඟිය බිඳ වැටී අර්බුද හටගෙන ඇත.

අද අපේ සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ තවත් මැසිවිල්ලක් තිබේ. අපට තිබුණ කුඩා අවදිය අපේ දරුවන්ට නැතැයි කියයි. තමාගේ කුඩා කාලයේදී වෙල් ඉපනැල්ලේ දුව පැනපු ආකාරය, ගඩා ගෙඩි කඩාගෙන කෑ ආකාරය, ඔංචිලි පැද්ද ආකාරය, මිදුල පුරා දුව පැන නැටූ ආකාරය, ඔවුන්ගේ සිත්වල සිහිනයක් මෙන් මතකයක් ඇත. තම දරුවාට නොමැති, ඒ විවේක සුවය පිළිබඳව ඔවුන්ට කණස්සල්ලක් ඇත. නමුත් ජංගම දුරකතනය මෙන් ම නොයෙක් තාක්ෂණ උපකරණවලට සිර වී ඇති දරුවා ගැන ලොකු වැටහීමක් ද මාපියන්ට නැත. තරඟකාරී සමාජයේ නො දීම බැරි දෙයක් ලෙස සිතා දුරකතනය දරුවාගේ අතේ තබන්නේ ද මව්පියෝ ය. ඉන්පසු මැසිවිලි නගන්නේ ද ඔවුන් ම ය.

තාක්ෂණය මේ වනවිට අප වටකොට හමාර ය. එයින් බේරී පලායාමක් සිතනු මෝඩකමකි. නමුත් තාක්ෂණය නිසි ලෙස පරිහරණය කිරීමට දරුවා හුරුකිරීම මාපියන් සතු වගකීමකි. මෙවලම් භාවිතය නිසා දරුවා නොමඟ ගියා යැයි කීමට මාපියන්ට අවසරයක් නැත. ඒ දරුවාට නිසි රැකවරණය ඔවුන් නොදුන් නිසා ය. පවුලේ අර්බුදය මේ හේතුව නිසා ද ඇති වේ.

මේ සියලු ගැටුම්වලට මව්පියන් මෙන්ම දරුවෝ ද වගකිව යුත්තෝ වෙති. දරුවන් කුඩා කාලයේදී තරගයට දුවන රැල්ලට තල්ලුකරන වැඩිහිටියෝ අධ්‍යාපනයක් පමණක් ඔවුන්ට දීමට සැරසී සිටිති. එහා ගෙදර පොඩි එකාට වඩා තමන්ගේ දරුවා එක ලකුණකින් හෝ ඉදිරියෙන් සිටිනවා නම්, එය මහමෙරකි. පන්ති… පන්ති… පන්ති… ඉරිදා දහම් පාසලකට නොයන දරුවා අමතර පංති යැවීමට මව්පියන් කටයුතු කරන්නේ එනිසා විය හැකිය. දහමින් කිසිදු පෝෂණයක් ලබා නොදී තරඟයකට යොමු කරන දරුවා නො තේරෙන වයසේ සිට තරඟයට දුවයි. එලෙස උස් මහත් වන දරුවා සමාජගත වීමේදී යම් යම් ගැටුම් ඇති වේ. ගුණයෙන්, දහමින් පෝෂණය නො කිරීම මව්පියන් කළ වරදකි. එයට සියුම් ලෙස දඬුවම් විඳින්නේ ඔවුන් වයසට යාමත් සමඟ ම ය. තමාගේ දරුවා කුඩා කාලයේ සිට ම ළඟට ගෙන “පුතේ, මනුස්ස ජීවිතයක් ලැබෙන එක දුර්ලභ යි. ඒ නිසා මේ ජීවිතේ වරද්දගන්න එපා..! ඔයා තෙරුවන් සරණේ මනාකොට පිහිටලා ඉන්න. පාපමිත්‍රයන් ඇසුරු කරන්න එපා. අමාරුවෙන් හරි පන්සිල් රැකගෙන ඉන්න…” කියා දරුවන්ට කියාදෙන මව්පියන් අපට හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

ඒ වගේම පාසල් යනවිට දණ නමා මව්පියන්ට වන්දනා කරන්නට කියා නොදෙන නිසා ඔවුන් බායි… බායි… කියමින් අත වනන්නට පුරුදුව සිටියි. නිවසේ වැඩසිටින බුදුපිළිම වහන්සේට වන්දනා කොට අම්මා, තාත්තා, ආච්චි, සීයාට වන්දනා කොට නිවසෙන් පිටවෙන දරුවෝ අද ඉතාමත් ම සීමිත ය. තරඟය ඔවුන් පසුපස හඹා එන නිසා ඔවුන් ද ඒ තරඟයට දිවීමට සැරසී සිටියි.

අද සමාජයේ එකින් එකට පෙළ ගැසී ඇත්තේ එක් එක් ආකාරයේ ගැටුම් ය. මෙය තවදුරටත් සමාජගත වීමට පෙර වර්තමානයේ ජීවත්වන අප විසඳුම් සෙවීමට උත්සුක විය යුතුය. ඒ සඳහා ඇති එකම විසඳුම බුදු දහම යි. තම දරුවා තිසරණයේ සමාදන් කොට පංචසීලය රැකීමටත්, දහමෙන් පොහොසතුන් කිරීමටත් ගුණයෙන් වර්ධනය කිරීමටත් කටයුතු කිරීම යි. ඒ වගේම දිනපතා පවුලේ සියලු දෙනාම එකතුව බුද්ධ වන්දනාවට කාලයක් වෙන්කර ගැනීමත්, කුඩා දරුවන්ට ආදර්ශයක් වන සේ තම වයෝවෘද්ධ දෙමාපියන් රැකබලා ගැනීමත් කළ යුතුව ඇත. එසේ නොමැතිව වයසක වැඩිහිටියන්ට පොඩි දෙයටත් කෑ ගසමින්, බැණ වදිමින්, අපහාස කරමින්, ඔවුන්ගේ සිත බොහෝ සේ තලාපෙළා දමයි නම්, ඔවුන්ට ද ඒ විපාකය බොහෝවිට දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයක් ලෙස ගෙවීමට සිදුවනු ඇත. මරණින් මතු දුගතිය හිමිවනු ඇත.

මේ සියලු දෙයින් අපට පසක් වනුයේ එක් දෙයකි. එනම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තොරව අපගේ ජීවිතයේ ගැටලුවලට වෙනත් විසඳුමක් නොමැති බව ය.

සටහන – නයනා නිල්මිණි