සියලු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතු වූ, තුන් ලෝකයට ම අසහාය ශාස්තෘ වූ, ආශ්චර්යවත් මනුෂ්‍යරත්නය වන, අපට එකම පිළිසරණ වන, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හදමඬලින් පැනනැගුණු උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලංකාදීපයට ලැබුණේ තථාගතයන් වහන්සේගේ මහා කරුණාව නිසා ය.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මේ ලක්දිවට වැඩම කොට, සත්පුරුෂයන්ට වාසභූමියක් කොට, මෙහි ආරක්ෂාව සක්දෙවිඳුට භාර කොට සිංහලයන් කෙරෙහි මහා යහපතක් උදා කළ සේක. ඒ වාසනාව, ඒ භාග්‍යය අදටත් ලක්වැසි සිංහලයන්ට ලැබෙන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ හදමඬලින් උපන් ඖරස පුත්‍රරත්නයක් වන, මිහිඳු මහරහතන් වහන්සේ ඒ සසුන් දායාදය රැගෙන මෙරටට වැඩිය අනුබුදුන් වන සේක. උන්වහන්සේ සතියක් ඇතුළත වදාළ ධර්මය අසා ලක්දිව මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන් 8500ක් බිහි විය. එසේම වස් වැසීම පිළිබඳ ව මහාවග්ග පාළියෙහි සඳහන් වස්සූපනායිකක්ඛන්ධකය දෙවනිපෑතිස් රජුට දේශනා කරන කල්හී, එය අසා සිටි රජුගේ නැගණියගේ පුත්‍රයා වන මහා අරිට්ඨ අමාත්‍යතුමා තම සොහොයුරන් පනස්පස් දෙනාත් සමඟ ගෞතම බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තේය. අසිරියකි! සසරෙහි රැස්කළ පින් ඇති ඒ සියලු දෙනා වහන්සේ කෙස් රැවුල් බා අවසන් වනවාත් සමඟ ම උතුම් අරහත්වයට පත් වූ සේක. මෙසේ සිංහල රහත් සඟ පරපුර ආරම්භ විය. ථූපාරාම සෑ පූජාවේ දී අකු ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීමෙන් පසු සම්බුදුරජුන් කෙරෙහි පැහැදී 30,000ක් ගම් දරුවෝ සම්බුදු සසුනෙහි පැවිදි වූහ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රාතිහාර්යය දක්නා ලද දස දහසක් ලක්වැසි පුරුෂයෝ බුද්ධානුස්සතිය මුල් කොට විදර්ශනාව වඩා උතුම් අරහත්වයට පත්ව මේ බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්හ. එමෙන් ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවන්නට හා සංඝමිත්තා රහත් තෙරණිය වඩමවාගෙන එන්නට ගිය අරිට්ඨ නමැති රාජ පුත්‍රයා ද පන්සියයක් සිංහලයන් සමඟ මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් පැවිදි ව උතුම් අරහත්වයට පත් වූයේය. මෙසේ එකල ලක්දිව රහතන් වහන්සේලාගෙන් පිරී පැවතුණි. උන්වහන්සේලාට දන් පැන් පුදා, ඇප උපස්ථාන කොට, සිත පහදවාගෙන බොහෝ සිංහලයෝ යහපත උදා කර ගත්හ. එපමණක් ද නොව ලක්වැසි දෙවියෝ ද යක්ෂ, නාග, රාක්ෂ ආදී අමනුෂ්‍යන් ද පවා උන්වහන්සේලා සිහි කරමින් අදටත් ගුණ කියමින් වන්දනාමාන පුදපූජා කරනවා නොඅනුමානය. මෙසේ උන්වහන්සේලා උත්තම බවට පත් වූයේ තථාගත ශ්‍රී සද්ධර්මය තුළින් ම ය. මහා අවාසනාවන්ත, අභාග්‍යසම්පන්න ජීවිත උරුම කර ගත්තවුන්ට පවා මේ ධර්මයට පැමිණීමෙන්, වාසනාවන්ත, භාග්‍යසම්පන්න ජීවිත ලැබෙන්නේය.

ඒ ශ්‍රී සද්ධර්මය සත්වයාව සතර අපායෙන් මුදවන්නේය. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනින් නිදහස් කරවන්නේය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒ නිසාම මහත් වූ ආශ්චර්යය ඇත්තේය. මේ ලංකාද්වීපයෙහි ද මහා අවාසනාවන්ත ජීවිතයක් ලැබ, තථාගත ශ්‍රී සද්ධර්මයට පැමිණීමෙන් සියලු කෙලෙස් නසා, ලෝකයාගේ පුද පූජාවන්ට සුදුසු වන ජීවිතයක් ලබාගත් උතුම් රහතන් වහන්සේනමක් ගැනයි අද හිත පහදවා ගන්නට ලැබෙන්නේ. ඒ නේසාද රහතන් වහන්සේයි.

මේ ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම ‘වියදි’ නම් වැද්දෙක් වාසය කළේය. හේ මුවන්, ඌරන්, මොනරුන්, ගිරවුන්, වටුවන් ආදී වූ නොයෙක් සතුන් දඩයම් කරයි. දවසකට පන්සියයක් මළපුඩු සහ උගුල් අටවයි. නොයෙක් ප්‍රාණවධ ප්‍රයෝග කරයි. දවස් පතා පන්සියයක් සතුන් මරයි. මේ වැදි පුත්‍රයා සතුන් කෙරෙහි කිසි දයානුකම්පාවක් නැතිව නිරන්තරයෙන් ලේ වැකුණු අත් ඇතිව, මස් පුළුස්සා කමින් හා විකුණමින් ජීවිකාව කොට අඹුදරුවන් පෝෂණය කරන්නේය. එක් දවසක් පව් කිරීමෙහි ඇලුණු වැදි පුත්‍රයාට කිසිදු සතෙකු දඩයම් කර ගැනීමට නොහැකි විය. හිස් අතින් ම ගෙදර ගොස් මස් නැතිව බත් කෑමට නොහැකියි සිතා, තණ මිටක් ගෙන හරකුන් සිටින තැනට ගොස්, එක් වසු නාම්බෙකුට තණකොළ පෙන්වූ පසු, එය කෑම පිණිස දිව දික් කළ සැණින් ඒ දිව කපා පිසගෙන බත් කෑවේය. එදවස රාත්‍රියේ ඔහුගේ සකල ශරීරයෙහි මහා දැවිල්ලක් උපන්නේය. හිස යකඩ මුගුරු ආදියෙන් තලන්නාක් මෙන් විය. තියුණු හුල්වලින් අනින්නාක් බඳු විය. මෙසේ රාත්‍රිය මුළුල්ලෙහි දුක් විඳ නින්දක් නොලැබ පහන් වූ කල, මාගම තිස්මහවෙහෙරට ගොස් භික්ෂූන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව සිටියේය.

භික්ෂූන් වහන්සේ ද මේ ප්‍රාණවධ කරන තැනැත්තෙකියි දැන දේවදූත සූත්‍රයෙන් බණ වදාළ සේක. විමාන වත්ථුවෙන් ස්වර්ග කතාව ද වදාළ සේක. එදා පටන් වැදි පුත්‍රයා සතුන් මැරීම අත් හැර වාසය කළේය.

ඉක්බිති එක් දවසක එම වැද්දා මහ ජනයා හා සමඟ ගොළු මුහුදට ගොස් දිය නෑවේය. එක් දිව්‍ය නාග රාජයෙක් ඔහු දැක දරණ වැලෙන් වෙලා ගත්තේය. තමා නාගරාජයාට හසු වූ බව දැන, පළමුව තමා ඇසූ දේවදූත සූත්‍රය සිහිකොට, “බුදුරජුන් විසින් මෙය වදාරන ලද බව සත්‍යය යි.

බුද්ධපුත්‍ර වූ සංඝයා වහන්සේ විසින් ඒ ධර්මය දරා ගන්නා ලදී. ඒ ධර්මය මා විසින් අසන ලදී. ඒ ධර්මයේ ආනුභාවයෙන් මට කිසි අන්තරායක් නොවන්නේය.” යි සිතීය. ධර්මයේ ආනුභාවය හේතුවෙන් ඒ නා රජුට වැදි පුත්‍රයා මරාගත නොහැකි ව තමාගේ නාග භවනට ගෙන ගොස්, “යහළුව, තොප කුමක් නිසා මරණයට බිය නොවන්නේ ද?” යි ඇසීය. එකල වැදි පුත්‍රයා නා රජුහට කියනුයේ, “නා රජ්ජුරුවෙනි, ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයන්ට හිතසුව පිණිස වදාරන ලද්දා වූ සියලු රසයන්ට වඩා අග්‍රම රසයෙන් යුතු අති උත්තම වූ ධර්මයන් ඇසීමි. එය සිහි කරන මට මරණයට බිය නූපදී.” එවිට ඒ නා රජු “යහළුව, මමත් ඒ බුදුන් දෙසූ ධර්මය අසනු කැමැත්තෙමි. ඔබ ඇසූ පරිදි මටත් කියව.” යි කීහ. ඉක්බිති වැදි පුත්‍රයා අකුසල් කළවුන් අට මහා නරකයෙහි විඳිනා දුක කෙටියෙන් කියනුයේ, “යමෙකු අතින් සතුන් මැරීම ආදී අකුසල් කෙරෙත්ද, ඒ පාපී සත්වයෝ මරණින් මතු භයානක වූ සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහාරෞරව, තාප, ප්‍රතාප, අවීචි යන අට මහා නරකයෙහි වැටෙන්නාහ. මෙසේ එක් මහා නිරයක් වටා උස්සද නිරයවල් දහසයක් බැගින් අට මහා නරකයට උස්සද නරක එකසිය විසි අටක් වෙයි. ඒ හැම අටමහ නරක සමඟ එකසිය තිස් හයකි. මේ නිරයවල වැටුණු සත්වයන් විඳිනා දුක ලොව්තුරා බුදුන්ට මිස ඍද්ධිවන්තයන්ටවත් කියා නිම කළ නොහැකිය.” යනුවෙන් පැවසීය. ඉන්පසු තිරිසන් ජාතියෙහි උපන්නවුන් විඳිනා දුක් හා ප්‍රේතයන් විඳිනා දුක් සංක්ෂේපයෙන් දක්වා නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ දුක් නොවිඳ සැප විඳින්නට කැමති සත්පුරුෂයෙකු විසින් සියලු පව් දුරුකොට කුසල් කළ යුත්තේ යැයි නා රජහට ධර්මදේශනා කළේය.

ධර්ම කථාවෙහි පැහැදුණු නා රජු කැමති කැමති වස්තු ලබාදෙන මාණික්‍යරත්නයක් වැදි පුත්‍රයාහට දුන්නේය. එතැන් පටන් වැදි පුත්‍රයා මාණික්‍යරත්නානුභාවයෙන් දන් පින් කරමින් අඹුදරුවන් පෝෂණය කළේය. මෙසේ ටික කාලයක් ගිහි ගෙදර වාසය කොට මාණික්‍යරත්නය පුත්‍රදාරාවන්ට පවරා තිස්මහවෙහෙරට ගොස් භික්ෂූන් කරා එළඹ “ස්වාමීනී, මා මහණ කළ මැනව”යි ඉල්ලා සිටියේය.

භික්ෂූන් වහන්සේලා ඔහුගේ හේතු සම්පත් බලා මහණකොට උපසම්පදා කරවූ සේක. ඉන්පසු උන්වහන්සේ ‘නේසාද තෙරුන් වහන්සේ’ නමින් ප්‍රසිද්ධ වූ සේක. උන්වහන්සේ නිතර සසර බිය සිහි කරන සේක. අප්‍රමාදී ව බවුන් වඩමින් වත පිළිවෙතින් සරුව වසන සේක. මෑත භාගයෙහි එම දේවදූත සූත්‍රය ම අසා රහත් බවට පැමිණි සේක. ඒ පවත් අසා, මහජනයෝ ද “අකුසල් කළ වැද්දෝ පවා සත්පුරුෂයින්ගේ ධර්මයට පැමිණ කුසල් කොට, පැවිදි ව රහත් බවට පැමිණියෝ වේ ද?”

යි කියා පවින් වැළකී, දානාදී පින්කම් කොට, කුසල ධර්මයන් පුරා බොහෝ දෙනා දෙව්ලොව උපන්හ. ඒකාන්තයෙන් ම බුද්ධ රත්නය අසිරිමත් වන සේක. ධර්ම රත්නය අසිරිමත් වන සේක. සංඝ රත්නය අසිරිමත් වන සේක.

මෙසේ සියලු වරදින් නැගී සිටි, ධර්මානුභාවයෙන් ම යහපත සලසා ගත්, සියලු කෙලෙස්මල සෝදා හළ, අමා මහ නිවනින් සැනසීම ලත්, ලක්දිව පහළ වුණු රහත් මුනිවරයෙක් වන නේසාද රහතන් වහන්සේට නමස්කාර වේවා..!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.