මනුලොව ඉපදුණු අප සියලු දෙනා කුඩා කල පටන් ම බොහෝ දෙනාව අනුකරණය කරනවා. ආදර්ශයට ගන්නවා. ළමා වයසේ දී දෙමාපියන්, සහෝදර සහෝදරියන් කරන කියන දේවල් දිහා බලන් ඉඳලා ඒ විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. තරුණ තරුණියන් මෙන් ම වැඩිහිටියන් ද ක්‍රීඩක-ක්‍රීඩිකාවන්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, දේශපාලඥයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයින් ඇතැම් වෘත්තිකයින්… වැනි චරිත අනුකරණය කරමින් ඒ වගේ කෙනෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ.

එනමුත් අවිද්‍යා ඝණ අන්ධකාරය සුනුවිසුනු කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තෙරුවන් සරණ ගිහින් උපාසක භාවයට පත්වෙන ගිහි ශ්‍රාවකයන් විසින් චිත්ත ගෘහපතිතුමා හා හත්ථක ආලවක උපාසකතුමාවත්, ගිහි ශ්‍රාවිකාවන් විසින් ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකී නන්දමාතාවත් ආදර්ශයට ගත යුතුයි කියලයි.

ඉතින් ඔබ මේ උපාසක උපාසිකාවන් ගැන දන්නේ නැති නම් ඒ අයව ආදර්ශයට ගන්නේ කොහොමද? ඔවුන්ගේ ජීවිතවල පැවති සොඳුරු ගුණදහම් ඇතිකරගෙන එවැනි උදාර කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද?

‘උපාසක උපාසිකාවන්ගේ මිම්ම’ පිළිබඳව විස්තර වන මේ ලිපිපෙළ කියවීමෙන් ගිහිගෙදර වසන ඔබ විසින් ආදර්ශයට ගත යුතු ඒ උදාර ජීවිත පිළිබඳව මනාව දැනගෙන, ඔවුන් තුළ තිබූ ඒ සොඳුරු ගුණධර්ම තම ජීවිත තුළත් ඇතිකර ගැනීමට උපකාර සැලසෙනු ඇත.

චිත්ත ගෘහපතිතුමාගේ “ නොදුටු මිතුරා ”

ගිහි සාමීචිපටිපන්න බවින් යුක්ත වූ චිත්ත ගෘහපතිතුමා නිරන්තරයෙන් ම සංඝයාගේ අවශ්‍යතා ගැන සොයා බලමින් සංඝයාට සුව සේ වැඩ සිටීමට අවස්ථාව සලසාදීම නිසා, චිත්ත ගෘහපතිතුමා විසින් කරවන ලද මච්ඡිකාසණ්ඩයේ පිහිටි අම්බාටක විහාරයේ නිරන්තරයෙන් ම බොහෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලා වැඩසිටියා.

දවසක් චිත්ත ගෘහපතිතුමා ඒ භික්ෂූන් වහන්සේලාට “ස්වාමීනී තෙරුන් වහන්සේලා හෙට දවසේ මගේ දානය ඉවසා වදාරන සේක්වා.” කියලා තම නිවසේ දානයට ආරාධනා කරලා ආදරයෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා පිටත්වෙලා ගියා.

පහුවදා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා සිවුරු හැඳ පොරවගෙන පා සිවුරුත් අරගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවසට වැඩම කරලා පනවා තිබූ ආසනවල වැඩ සිටියා. ඒ වෙලාවේ චිත්ත ගෘහපතිතුමා එතනට ඇවිදින් ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා. වාඩිවෙලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් ‘ධාතු නානත්වය’ පිළිබඳව ගැඹුරු දහම් කරුණක් විමසා සිටියා. චිත්ත ගෘහපතිතුමා දෙතුන් පාරක්ම විමසා සිටියත් ස්ථවිර භික්ෂූන් වහන්සේලා එයට පිළිතුරු දී ගත නොහැකිව නිශ්ශබ්දව වැඩ සිටියා.

ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලා අතර වැඩසිටි සියල්ලන්ට ම නවක වූ ‘ඉසිදත්ත’ නම් තෙරුන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අවසර අරගෙන, චිත්ත ගෘහපතිතුමාට ඒ දහම් ගැටළුව මනාව විසඳා දුන්නා. ඊට පස්සෙ චිත්ත ගෘහපතිතුමා ඒ ගැන බොහෝම සතුටට පත් වෙලා ඉතාම ප්‍රණීත ලෙස පිළියෙල කර තිබූ දානය භික්ෂු සංඝයාට තමන්ගෙ දෑතින් ම මැනවින් පිළිගැන්වූවා.

දන්පැන් වළඳා ආපසු විහාරයට වඩිනවිට ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා තමන්ට නොවැටහුණු ඒ දහම් කරුණ විසඳා දීම ගැන ඉසිදත්ත තෙරුන්ට බොහෝ ප්‍රශංසා කළා. ආයෙමත් දවසක චිත්ත ගෘහපතිතුමා අම්බාටක විහාරයේ වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලාට තම නිවසේ දානයට ආරාධනා කරලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා දානයට වැඩම කළාට පස්සෙ ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වෙලා,
“ස්වාමීනී, ඔය නොයෙකුත් දෘෂ්ටි ඇතිවෙන්නේ කුමක් ඇති කල්හි ද? ඔය නොයෙකුත් දෘෂ්ටි ඇති නොවන්නේ කුමක් නැති කල්හි ද?” කියලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටියා.

චිත්ත ගෘහපතිතුමා දෙතුන් පාරක්ම විමසුවත් ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා එයට පිළිතුරු දීමට නොහැකිව නිශ්ශබ්දව වැඩ සිටියා. එදිනත් ඒ සියලු ස්ථවිර භික්ෂූන් වහන්සේලාට ම නවක භික්ෂුව වශයෙන් වැඩ සිටි ඉසිදත්ත තෙරුන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අවසර අරගෙන, සක්කාය දිට්ඨිය ඇතිවිට ඔය නොයෙකුත් දෘෂ්ටි ඇතිවන බවත්, සක්කාය දිට්ඨිය නැතිවිට ඔය නොයෙකුත් දෘෂ්ටි ඇති නොවන බවත් පවසා ඒ දහම් ගැටළුව ඉතාම විචිත්‍ර ආකාරයෙන් චිත්ත ගෘහපතිතුමාට විසඳලා දුන්නා.

ඉතිං මේ ඉසිදත්ත තෙරුන් වහන්සේ උපත ලැබුවේ දඹදිව අවන්ති දේශයේ ‘වඩ්ඪ’ කියන ගමේ. චිත්ත ගෘහපතිතුමා මේ ඉසිදත්ත තෙරුන් වහන්සේගේ ගිහි කල නොදුටු මිතුරෙක්. මේ දෙදෙනා හමු වී නැති අතර හසුන්පත් මගින් තමයි මිතුදම් පවත්වා තිබෙන්නේ. දවසක් චිත්ත ගෘහපතිතුමා ඉසිදත්ත තරුණයාට තෙරුවන් ගුණ ඇතුළත් දීර්ඝ හසුනක් යැවුවා. ඉසිදත්ත තරුණයා තෙරුවන් කෙරෙහි අතිශයින්ම පැහැදුණා. ‘මේ තරම් ශ්‍රේෂ්ඨ වූ දහමක් ලොව ඇතිවිට තවදුරටත් මේ ගිහිගෙයි රැඳී සිටීමෙන් පලක් නෑ. ඒ නිසා මාත් ගිහිගෙය හැරගොස් පැවිදි වෙනවා’ කියලා හිතුවා. මෙහෙම හිතලා චිත්ත ගෘහපතිතුමාට තමන් පැවිදි වන බව හසුනක් මගින් දන්වලා, ඒ දිනවල අවන්ති දේශයේ වැඩසිටි මහා කච්චාන මහරහතන් වහන්සේව හොයාගෙන ගිහින් තමයි ඉසිදත්ත තරුණයා පැවිදි බව ලැබුවේ.

ඉතිං චිත්ත ගෘහපතිතුමා නොයෙකුත් දෘෂ්ටි ඇතිවන ආකාරය හා ඇති නොවන ආකාරය ගැන විමසූ දහම් ගැටළුව ඉසිදත්ත තෙරුන් වහන්සේ ඉතාම විචිත්‍ර ආකාරයෙන් විසඳා දුන් නිසා, චිත්ත ගෘහපතිතුමා ඒ ගැන බොහෝම සතුටට පත්වෙලා,

“ස්වාමීනී, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ කොහේ ඉඳලද වැඩියේ” කියලා ඇහුවා.

“පින්වත් ගෘහපතිය, මම වැඩියේ අවන්ති ජනපදයේ ඉඳලයි.”

“ස්වාමීනි, අවන්තියෙහි ‘ඉසිදත්ත’ කියලා අපි දැකපු නැති, යහළු වූ අපගේ පැවිදි කුල පුත්‍රයෙක් ඉන්නවා. ඔබ වහන්සේ එයාව දැකලා තියෙනවද?”

“එසේය ගෘහපතිය.”

“ස්වාමීනී, දැන් ඒ තෙරුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොහේද?”

මෙසේ පැවසූවිට ඉසිදත්ත තෙරුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. ඉන්පසුව චිත්ත ගෘහපතිතුමා

“ස්වාමීනී, ආර්යයන් වහන්සේ අපගේ ඉසිදත්තයන් වහන්සේ ද?” කියලා ඇහුවා.

එවිට ඉසිදත්ත තෙරුන් වහන්සේ “එසේය ගෘහපතිය.” කියලා පිළිතුරු දුන්නා.

එතකොට ‘මේ ඉන්නෙ අපි මෙතෙක් කලක් නොදැකපු අපගේ යහළු වූ පැවිදි කුලපුත්‍රයානේ.’ කියලා දැනගත්ත චිත්ත ගෘහපතිතුමා බොහෝම සතුටට පත් වුණා. අනතුරුව “ස්වාමීනී, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වාසය කරන සේක්වා..! අම්බාටක වනය රමණීයයි. මම ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය සපයා දෙන්න උත්සාහවත් වෙන්නම්.” කියලා ඉසිදත්ත තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

එතකොට ඉසිදත්ත තෙරුන් වහන්සේ “පින්වත් ගෘහපතිය, ඔබ කල්‍යාණ වූ වචන කියනවනේ කියලා” පිළිතුරු දුන්නා. අනතුරුව දන්පැන් වළඳා විහාරයට වැඩම කළ ඉසිදත්ත තෙරුන් වහන්සේ තමන් වැඩසිටි සේනාසනය අස්පස් කරලා තියලා පා සිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත්වෙලා වැඩියා. මච්ඡිකාසණ්ඩයෙන් යම් ආකාරයකින් පිටත්වෙලා වැඩියා ද එසේ වැඩියාම යි ආයෙමත් කිසිම දිනක ආපසු මච්ඡිකාසණ්ඩයට වැඩම කළේ නෑ.

“අසංසට්ඨං ගහට්ඨේහි
අනාගාරේහි චූ’භයං
අනෝකසාරිං අප්පිච්ඡං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”

“ගිහි පැවිදි කා සමඟවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. අල්පේච්ඡයි. අන්න ඒ තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.”

( ධම්මපදය – බ්‍රාහ්මණ වර්ගය )

ශ්‍රාවක සඟරුවනේ අසිරිය

මසුරුමල දුරුකළ සිතින් යුතුව වාසය කළ චිත්ත ගෘහපතිතුමා නිතර ම දන්පැන් පූජා කරමින් සංඝෝපස්ථාන කටයුතුවල ඇලී වාසය කළා. ඉතිං එක දවසක් චිත්ත ගෘහපතිතුමා අම්බාටක විහාරයේ වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා තම නිවසට වඩමවා ඉතා ප්‍රණීත වූ ගිතෙල් මුසු කිරිබතක් සියතින් ම පූජා කළා. අනතුරුව ඒ භික්ෂූන් වහන්සේලා දන්පැන් වළඳා ආපසු විහාරයට වඩිනවිට, චිත්ත ගෘහපතිතුමාත් ඒ භික්ෂූන් වහන්සේලා පිටුපසින් විහාරයට යන්න පිටත් වුණා.

ඒ කාලය කැකෑරෙන අව්රස්නය ඇති කාලයක්. කුඩ දැරීමත්, පාවහන් දැරීමත් නැති ඒ යුගයේ පායන කාලයක පොළොවත් හොඳට ම රත්වෙලා හින්දා, ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා බෙහොම අපහසුවෙන් තමයි වැඩම කළේ.

ඒ වෙලාවේ එම භික්ෂු සංඝයා අතර සියල්ලන්ට ම නවක භික්ෂුව වශයෙන් වැඩසිටි ‘මහක’ නම් තෙරුන් වහන්සේ ස්ථවිරයන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, ස්ථවිරයන් වහන්ස, සීතල සුළඟක් හමනවා නම්, වැහි වලාකුළුත් පාවෙනවා නම්, වැහි පොදත් එක දෙක වැටෙනවා නම් හොඳයි නේද? ”

“ප්‍රිය ආයුෂ්මත් මහක, සීතල සුළඟක් හමනවා නම්, වැහි වලාකුළුත් පාවෙනවා නම්, වැහි පොදත් එක දෙක වැටෙනවා නම්, ඒක බොහෝම හොඳයි නෙව.” කියලා. ස්ථවිරයන් වහන්සේ එයට පිළිතුරු දුන්නා.

එතකොට මහක තෙරුන් වහන්සේ සීතල සුළඟක් හමා යයි ද වැහි වලාකුළුත් පාවෙනව ද වැහි පොදත් එක දෙක වැටෙනව ද එබඳු වූ අසිරිමත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා. ඒ වෙලාවෙ පිටුපසින් ගමන් කරමින් හිටිය චිත්ත ගෘහපතිතුමාට හිතුණා ‘මේ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට ම නවක වූ යම් භික්ෂුවක් වෙත් නම්, මේ සා මහත් ඍද්ධි ආනුභාවය උන්වහන්සේගෙයි.’ කියලා.

මහක තෙරුන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය නිසා ඉතා පහසුවෙන් විහාරයට වැඩම කළ ස්ථවිර භික්ෂූන් වහන්සේලා මහක තෙරුන් වහන්සේට ප්‍රශංසා කරලා තම තමන්ගේ විහාරවලට වැඩම කළා. මහක තෙරුන් වහන්සේත් තමන්ගේ විහාරයට වැඩම කළාට පස්සෙ චිත්ත ගෘහපතිතුමා එතනට ඇවිදින් ආදරයෙන් වන්දනා කරලා, එකත්පස්ව වාඩි වෙලා “ස්වාමීනී, ආර්ය වූ මහක තෙරුන් වහන්සේ මට උතුරු මිනිස් දහමක් වූ ඍද්ධි ප්‍රාතිහාර්යයක් දක්වන සේක් නම් ඉතා මැනවි” කියලා මහක තෙරුන් වහන්සේට පැවසුවා.

එතකොට මහක තෙරුන් වහන්සේ “එහෙනම් පින්වත් ගෘහපතිය, ආලින්දයෙහි උතුරු සළුව බිමට එලලා ඒ මත තණකොළ මිටියක් විසුරුවන්න” යැයි පැවසුවා. “එසේය, ස්වාමීනී” කියලා චිත්ත ගෘහපතිතුමා ආලින්දයෙහි තම උතුරු සළුව බිමට එළලා, ඒ මත තණකොළ මිටියක් විසිරෙව්වා.

එවිට මහක තෙරුන් වහන්සේ කුටියට වැඩලා, යතුරු අගුල දමලා, යතුරු සිදුර අතරින් ගිනිදලු නිකුත් වෙලා තණකොළ දැවිලා යනවා ද උතුරු සළුව නොදැවී තියෙනවා ද එබඳු වූ අසිරිමත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා. මෙය දුටු චිත්ත ගෘහපතිතුමා අනතුරුව උතුරු සළුව ගසලා අරගෙන පුදුමයටත්, ලොමුඩහ ගැනීමටත් පත්වෙලා එකත්පස්ව හිට ගත්තා. මහක තෙරුන් වහන්සේ තම කුටියෙන් නික්මිලා ඇවිදින් “පින්වත් ගෘහපතිය, මේ ඇති නේද?” කියලා චිත්ත ගෘහපතිතුමාගෙන් ඇහුවා.

ඉතිං චිත්ත ගෘහපතිතුමා තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්යයක් දැක්වීම පිළිබඳව මහක තෙරුන් වහන්සේට බොහෝම ප්‍රශංසා කරලා “ස්වාමීනී, ආර්ය වූ මහකයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වාසය කරන සේක්වා! අම්බාටක වනය රමණීයයි. මම ආර්ය වූ මහකයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සපයා දෙන්න උත්සාහවත් වෙන්නම්.” කියලා මහක තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

එතකොට මහක තෙරුන් වහන්සේ, “පින්වත් ගෘහපතිය, ඔබ කල්‍යාණ වූ වචන කියනවනෙ.” කියලා චිත්ත ගෘහපතිතුමාට පිළිතුරු දුන්නා.
මහක තෙරුන් වහන්සේ චිත්ත ගෘහපතිතුමා පිටත්වෙලා ගියාට පස්සෙ, එවෙලේම තමන් වැඩ සිටි සේනාසනය අස්පස් කරලා පා සිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත්වෙලා ගියා. මහක තෙරුන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙන් යම් අයුරකින් වැඩියා ද ඒ වැඩියා ම යි.

ආයෙමත් කිසිම දිනක ආපසු මච්ඡිකාසණ්ඩයට වැඩම කළේ නෑ.

“අඤ්ඤා හි ලාභූපනිසා
අඤ්ඤා නිබ්බානගාමිනී
ඒවමේතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නා’භිනන්දෙය්‍ය – විවේකමනුබ්‍රෑහයේ”

“ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙන වැඩපිළිවෙළක්. නිවන් අවබෝධ කරන එක වෙන වැඩපිළිවෙළක්. බුදුසමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒ නිසා ඔහු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට කැමති වෙන්නේ නෑ. බණ භාවනා කිරීමට උවමනා විවේකයම යි ඇතිකර ගන්නෙ.”

(ධම්මපදය – බාල වර්ගය)

ඒ ආර්යය වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය සාදර ගෞරවයෙන් සිහි කරන්නෙමු. සිරස නමා වන්දනා කරන්නෙමු. සාදරයෙන් සරණ යන්නෙමු…

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.