අනගාරික ධර්පාල ශ්‍රීමතාණෝ…!

“සිංහලයිනි නැගිටිව්…!” යන වේගවත් ස්වරයෙන් මුළු ලක් දෙරන ම තෙදවත් කළ මහා යුග පුරුෂයාණෝ වනාහි අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ය. සිංහලයේ අභිමානයත්, ශාසනයේ උදාරත්වයත් රකින්නට වරම් ලැබූ ශ්‍රේෂ්ඨ සිංහල වීර පුරුෂයාණෝ ද ඔහු ම ය.

බොදුනුවනට උද්යෝගයකුත්, ජාත්‍යානුරාගියාට ගෞරවයකුත්, ස්වදේශාභිමානයාට ගර්වයකුත්, දුස්සීලයාට සන්ත්‍රාසකුත්, ජාති ද්‍රෝහියාට සන්තාපයකුත්, ජාතිභෂ්ටයාට සන්තාපයකුත්, ඒ හැමටමත් ඉහළින් දුර්වාදියාට හෙණ පහරකුත් දුන් ඒ වීරයාණන්, මංගල පදයක් ලෙසින් සමස්ත ලක් දෙරණෙහි ම ගෞරවාදරයට පත් වූයේ ‘ධර්මපාල’ නම් වී ය. දේශනා කෞෂල්‍යයේ අපූර්ව විචිත්‍රත්වයෙන් දෙස් විදෙස් ජනයාගේ සිත් පැහැර ගනිමින් නිර්මල ශ්‍රී සද්ධර්මය නමැති අමා දිය දහර ලොව පුරා පතුරුවාලීමට ඔහු සැබැවින් ම දක්ෂ විය.

1893 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර දී පවත්වන ලද ‘ජගත් දෘෂ්ටි සම්මේලනයේ’ දී පවත්වන්නට යෙදුණු දේශනයෙන් අනතුරුව එරට වැසියන්ගේ ගෞරව සම්මානයටත්, භක්ති ප්‍රසාදයටත් එතුමන් පාත්‍ර වූයේ කොතරම් දැයි කිවහොත් ‘දෘෂ්ටි සංගම් ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි පළමුවැනි කාණ්ඩයේ 95 වැනි පිටෙහි, මෙසේ සඳහන් විය.

“පුළුල් වූ නළල් තලය පසු කොට පීරා හැරි කෘෂ්ණ වර්ණ වූ කෙටි කේශ කලාපය විසුරුවා, ප්‍රඥා පාටවයෙන් හෙබි දීප්තිමත් නේත්‍ර යුග්මය සභාව කෙරෙහි රැඳවීමෙන් තරංග පංක්තීන් මෙන් නැගි නැගී එන වචන මාලා අනුව සුරත ලෙලවා මේ පරිසමාප්ත බෞද්ධ නියෝජිතයා කළ, මනස්කාන්ත කථාව ඇසූ කවරෙකුට වුව ද ඔහු නියම ධර්ම ප්‍රචාරක වීර පුරුෂයෙකුගේ ප්‍රතිමූර්තියක් බව පෙනී යන්නේ ය. සමස්ත සදාචාර ලෝකයේ තථාගත ධර්මය පතුරුවා හැරීම පිළිබඳ ව පෙළගැසුණු ප්‍රබල බලමණ්ඩලයක ප්‍රභූත්වයෙහි මෙබඳු උදාර පුරුෂයෙකු සිටින බව පෙනී යාමෙන් කවරෙකුගේ වුව ද රෝමොද්ගමනය වන්නේ ය.”

මෙම සම්මේලනය නිසා ඔහුගේ ගමනට මහත් ශක්තියක් වෙමින් මේරී පෝස්ටර් මැතිණියගේ ද සහයෝගය ලැබුණි. ඇමරිකාවේ සිට ජපානය හරහා ලංකාව බලා පැමිණෙන ගමනේ දී තෝකියෝ නුවර දේශනා කිහිපයක් පවත්වන්නට විය. දේශනා කෞශල්‍ය කෙරෙහි පැහැදුණ අසභි නම් මහතෙර විසින් වසර 700ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් ද ධර්මපාලතුමන් වෙත ලබා දෙන ලදී.

1894 අප්‍රේල් මස 17 වන දින මෙම බුද්ධ ප්‍රතිමාව බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කිරීම සඳහා වඩමවාගෙන ගියේ ය. මහත් එඩියෙන් එරෙහි වූ ‘මහන්තාගේ’ මැදිහත් වීමෙන් එය තාවකාලික ව කල් දමන්නට සිදුවිය. 1895 වසරේ පෙබරවාරි මාසයේ දී එම පිළිම වහන්සේ බුද්ධගයා මහා විහාරයේ මතු මහලේ මැද මැදිරියෙහි සිංහාසනය මත ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ඒ අතර නොසන්සුන් වූ කූට ජටිල මහන්තාගේ මාර සෙනඟ විහාරයට කඩා පැන, අවි සරඹ පා, අරගල පිට අරගල කොට, එම බුද්ධ ප්‍රතිමාව ඔසවාගෙන ගොස් පිටතට දමා විකට හාස්‍යයෙන් මුව සරසා ගත්හ. අධිකරණ මාර්ගයට ගිය ධර්මපාලතුමා බුද්ධ ප්‍රතිමාව බුරුම ආවාසයෙහි තබන්නට අවසරය බෙංගාලයේ ආණ්ඩුකාර තැනගෙන් එම මැයි 27 වන දින ලබාගත්තේ ය. මහ බෝ මැඩ සිටි භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් තාඩන පීඩන මහන්තාගෙන් එල්ලවන්නට විය.

1894 වසරේ දී මහාබෝධි ගම ටිකාරි මහාරාජාට හිමිවූ ප්‍රදේශයක් බැවින් නන්ද කිසෝරි ලාල් මහතා ටිකාරි රාජාගේ මන්ත්‍රීන් සමඟ සාකච්ඡාකොට මහාබෝධි ගම බෞද්ධයන්ට විකුණන්නට කැමතිකරවා ගත්තේ ය. ඊට රුපියල් ලක්ෂයක් මිල නියම කරන ලදී. මෙය මිල දී ගැනීමට මුදල් සපයා ගැනීම සඳහා 1894 අගෝස්තු මස ධර්මපාලතුමා ලංකාවට පැමිණ බෞද්ධ මහජනයාගෙන් මුදල් එකතුකිරීමට පටන් ගත්තේ ය. අගෝස්තු මාසයේ පටන් දෙසැම්බර් මාසය දක්වා ලක්දිව නා නා පළාත්වල ධර්ම දේශනා පවත්වමින් රු. 38031ක් සම්මාදම් එකතුකර ගැනීමට ධර්මපාලතුමාට හැකිවිය. බුරුම රට බෞද්ධයෝ ද රු. 1000ක් එකතු කළහ.

1896 පෙබරවාරි මාසයෙහි ජපන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් ඇති වූ නඩු විභාගවලට වියදම් වීම නිසා මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුතු ප්‍රමාද විය. ධර්මපාලතුමන්ගේ සියම් ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මුදල සියම් රටින් ලබාදීමට රාජශක්තිය, චන්ද්‍රදත්ත, භාතරංසි යන රාජ කුමාරවරු සහ සේනාධිපති ජෙරනී යන උතුමෝ ද ඉදිරිපත් වූහ. රුපියල් ලක්ෂයක් පොරොන්දු කරවාගෙන මහාබෝධි ගම විකුණන්නේ දැයි බෙංගාලේ රජයෙන් විචාරා දේව වංශ කුමාරයා විදුලි පණිවිඩයක් එවී ය. මේ විදුලි පණිවිඩය බෞද්ධ පක්ෂයේ අභාග්‍යයට මෙන් අසන ලද්දේ බෙංගාලේ ආණ්ඩුවේ මහ ලේකම්වරයාගෙනි. ඔහු වනාහි මහන්තාගේ නීතිඥවරයාගේ පියා යි. ඒ නිසා “මහාබෝධි ගම විකුණන්නේ නැත.” කියා පිළිතුරක් යැවී ය. මෙලෙසින් යළිත් මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුත්ත අසාර්ථක විය.

දිගින් දිගට ම පැවති බුද්ධගයා නඩුව සම්බන්ධ ඝෝෂාව මුළු දඹදිව පුරා රැව් පිළිරැව් දී පැතිර පැවතුණි. අන්තිමේ දී බෞද්ධ පක්ෂයේ වාසියට නඩුව තීන්දු විය. මහන්තාගේ පක්ෂයෙන් ඉහළ උසාවියට ඇපෑල් ගන්නා ලදී. එහි දී ද ලැබුණ තීන්දුව බෞද්ධ පක්ෂයට වාසි විය. එවිට මහන්තා කල්කටා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑල් ගන්නා ලදී. එහි දී මහ බෝ මැඩ විහාරය හින්දු කෝවිලක් නොව, බෞද්ධ විහාරයක් ම බව ප්‍රකාශ කොට තීන්දුව ලැබිණ. මෙසේ අනගාරික ධර්මපාලතුමා ගත් උත්සාහය අතරතුර පැමිණි විපත්, හිරිහැර නිසා අත්හැර දමන ලද්දේ නම් කිසි කලෙකත් ඉංග්‍රීසි ආණ්ඩුව ලවා මහාබෝධි විහාරය බෞද්ධ විහාරයක් ලෙස මෙසේ සහතික කරවාගන්නට නො ලැබෙනු ඒකාන්ත ය.
1913 දී ධර්මපාලතුමන් කල්කටාවේ සිටිය දී ලංකාවේ සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවිය. සිංහලයන් හා මුසල්මානුවන් අතර ඇති වූ බිහිසුණු මනුෂ්‍ය මාරක මංකොල්ලය දිවයිනේ නගරයක් දනව්වක් නොහැර ප්‍රචණ්ඩ අග්නිජාලාවක් මෙන් පැතිර යන්නට වූ බැවින් ලංකාද්වීපයේ ‘මාර්ෂල් ලෝ’ නීතිය පැනවී ය. මේ අරගලයේ මූලිකයෝ යැයි සිතනු ලැබූ ලංකාවේ සිංහල ජන ප්‍රධානීහු සිරකර තබන ලදහ. බොහෝ ජන නායකයෝ මෙහි දී මිය ගියහ. ඇතැමුන් මරණයට කැපකරන ලදහ.

සිංහල බෞද්ධයන්ගේ පෙරහැරකට මුසල්මානුවන් විරුද්ධ වීම හේතුකොට ගෙන ඇවිළ ගිය මෙම සටනෙන් සිංහලයන් තුළ පැවති නිර්භීතභාවයත්, බිහිසුණු බවත් නිසා එයට හේතුව ‘සිංහල බෞද්ධයා’ නම් ප්‍රබල ජාතික පුවත්පත මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පළ කළ ලෝක ප්‍රසිද්ධ කරුණු සහ එතුමන්ගේ රුහිරු හුණු කරවන ප්‍රබල දේශනා යැයි ඉංග්‍රීසි රජය සැක කරන්නට විය. ධර්මපාලතුමන් ‘බිහිසුණු’ පුද්ගලයෙකු යැයි ද ‘රටක් නැගිටුවිය හැකි වීරයෙකැ’ යි ද ‘එම නිසා දිවයිනේ සාමයට බාධාකාරයෙකැ’ යි ද සැක කර ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එතුමන්ට ලංකාවට පැමිණෙන්නට ඉඩ නො දෙනු පිණිස 1914 ලෝක සංග්‍රාමය ආරම්භ වූ වහා ම එතුමන් ව කල්කටාවේ සිරකොට තැබූහ.

මහාබෝධි සමාගමට බලවත් අලාභ හානි විය. කාර්යාලයේ තිබුණු සියලු පොත්පත් සහ ලියකියවිලි පොලිස් අත්අඩංගුවට පත් විය. මහාබෝධි සමාගමේ සියල්ල ම තාවකාලික වශයෙන් පරම විඥානාර්ථ සමාගමට බාර වූ අතර මහාබෝධි ශාස්ත්‍ර ශාලාව ධර්මපාලතුමන්ගේ කණිටු සොහොයුරු වූ සී. ඒ. හේවාවිතාරණ මහතාගේ පෞද්ගලික පාලනයට භාර විය. ‘සිංහල බෞද්ධයා’ පුවත්පත රජයෙන් තහනම් කරන ලදී. එහි කර්තෘ ධුරය දැරූ යූ. පී. ඒකනායක මහතා බන්ධනාගාරගත කෙරිණ. එතෙක් ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය කර බෙදාහරිමින් තිබූ මහාබෝධි යන්ත්‍රාලය වැසිණ. “ධර්මපාලතුමන්ගේ වැඩ ඉවරයැ” යි මිසදිටුවෝ උදම් ඇනූහ.

වසර සතක් සිරබත් කෑ ධර්මපාලතුමා 1916 පෙබරවාරි මස 06 වන දින ඉන්දියාවේ සිට ලෝකයා හමුවේ සන්දේශයක සටහනක් තැබී ය.

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

සිරි දේවමිත්ත ධර්මපාල යන නමින් පැවිදි වූ මහා වීරයාණන් අපවත් වීමට මාස 5කට පෙර මෙසේ සටහන් කළේ ය.

“මම දැන් මහලු ය. අබල දුබල ය. වැඩි කලක් ජීවත් නොවන සුලු ය. මා හෘදයාබාධයකින් පෙලෙන බැවින් කොයි මොහොතේ වුව ද මරු වසඟ විය හැක.

මා හදිසියෙන් මළහොත් මාගේ මතක ශරීරය යූ. උත්තම ස්වාමීන් වහන්සේ හා බ්‍රහ්මචාරී දේවප්‍රිය විසින්, බරණැස් නුවර සාරනාථයේ ශුද්ධ ඉසිපතනයට ගෙන ගොස් එහි දී ආර්ය බෞද්ධ චාරිත්‍රානුකූලව මගේ ශරීරය දවා, අළු මූලගන්ධ කුටි විහාරස්ථාන මධ්‍යයේ භූමිස්ථ කොට ඒ මතුපිට අඩි තුනක් උස ස්ථූපයක් ගොඩ නැංවිය යුතුයි.”

අද ද බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරයේ ඒ මහා වීරයාණන් වෙනුවෙන් නිර්මිත සිහිවටන කෞතුකාගාරය දක්නට ලැබේ.

නළල තබා සිත පිරි බොදු බැතියෙන් නෙතෙහි කඳුළු ද සිතෙහි ශ්‍රද්ධාව ද පිරීතිරී යන ලෙසින් ඒ උතුම් වජිරාසන පූජා භූමිය වන්දනා කරන්නට ලෝකවාසී බෞද්ධයනට වාසනාව ලැබුණේ එතුමාගේ අප්‍රතිහත ධෛර්යයට පුණ්‍යානුමෝදනා වන්නට ය.

ඒ මහා යුගපුරුෂයාණන් හට සසර දුක් නිවාලීමේ වාසනාව උදා වේවා!!!