නූතන සමාජයෙහි බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත ඉතාමත් ඛේදනීය තත්ත්වයකට වැටී ඇති ආකාරය ජන සන්නිවේදන මාධ්‍ය මඟින් දෛනිකව සන්නිවේදනය වන පුවත් අනුව වටහාගත හැකි ය. සමාජයේ විවෘත සේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත මේ වන විට යළිත් ගොඩගත නො හැකි ආකාරයට විනාශ වී ඇති අයුරු දකින විට බෞද්ධ ඉගැන්වීම්වල සඳහන් වන බොහෝ ධර්මකරුණු සිහියට නැගේ.

නූතන සමාජය ඉතා දැඩි තරඟකාරීත්වයෙන් යුතු ය. ඉවක් බවක් නොමැතිව අධීවේගී තරඟයක නියැලෙනු විනා සතුටින් ජීවත්වන අය මේ සමාජයේ ඉතා දුර්ලභ ය. මතුපිටින් සතුටින් සිටින අයුරු පෙන්වුව ද සැබවින්ම බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඇත්තේ මතුපිටින් පෙන්වන සරුවපිත්තල අලංකාරය නො වේ. රටට අණබෙර ගසා ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහා ම කෝටි,මිලියන, ලක්ෂ ගණන් විය පැහැදම්කර පවත්වන සුවිසල් විවාහ මංගලෝත්සව බොහෝමයක් ම ඉතා ඛේදජනක ඉරණමකින් කෙළවර වේ. එසේ, නූතන දියුණු යැයි ප්‍රකාශ කරන අධිවේගී පාරිභෝගික සමාජය අතිධාවනකාරී මට්ටමට පහළට ඇද වැටී තිබීම බෙහෙවින් ම අවාසනාවන්ත කාරණයකි. බෞද්ධ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව මේ තත්ත්වය විද්‍යමාන ය.

තමන්ගේ වත්පොහොසත්කම්වල, දැන උගත්කම්වල, සමාජ මට්ටම්වල ආකාරයට ඇතැම් විට අනුන් පරයන සේ විවිධ පැකේජ් ක්‍රමවේදවලට අනුගතව විවාහ මංගලෝත්සව සඳහා අතමිට දිගහැර වියදම් කිරීම නූතන යුගයේ තමන්ගේ වත්පොහොසත්කම, සමාජ මට්ටම සමාජගත කරවිය හැකි එක්තරා විලාසිතාවක් ලෙසට විකාශය වී තිබේ. මේ යටතේ ඇති හැකි අය මෙන් ම නැති බැරි අය ද මාන බලන්නේ තමන්ට අතපෙවිය නො හැකි උසස් ම උපරිම මට්ටමකින් තමන්ගේ, දුවගේ, පුතුගේ, ඥාතීන්ගේ විවාහ මංගලෝත්සවය ජයට ම ගැනීමට ය. නැතිබැරි පවුල්වල විදේශගත වී දුක සේ උපයාගන්නා ධනය ස්වකීය දුවගේ, පුතුගේ විවාහය පිණිස වැයකර දැමීමට උත්සුකවන මට්ටම දක්වා ම මේ සමාජ විලාසිතාව පිළිකාවක් සේ ඔඩුදුවා තිබේ.

එක දිනක හෝ දෙකක කටයුත්තක් වෙනුවෙන් ලක්ෂ ගණනක මුදලක් වැයකර විවාහ මංගලෝත්සවය ජයට පවත්වා ඊට ටික දිනකට පසු විවාහය කටුගා දමන මට්ටමකට සමාජය පත්ව තිබීම ඉතා කණගාටුදායකය.

විවාහ මංගලෝත්සව පැකේජ් ක්‍රමයට අධික වියදමක් දරා පැවැත්වීමට සාපේක්ෂ ව එයින් ජීවත්වන යැපෙන්නන් ප්‍රමාණය ද අධික වී තිබේ. එසේ ම මෙය බොහෝ දෙනෙකුට ලක්ෂ ගණන් මුදල් උපයන හොඳ ස්වයං රැකියා සපයන එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට ද මේ වන විට පත්ව ඇති බව නොරහසකි. එසේ ම ඊට සාපේක්ෂ ව විවාහ වී ටික දිනකින් ම විවිධ හේතු මත දික්කසාද වන්නන් ද බහුල වීම නිසා නීතිඥවරුන්ට ද දික්කසාද නඩු පිණිස නීති කටයුතුවල නියැලී මුදල් ඉපයීමට පහසු මඟක් විවරවී තිබේ. ඒ අතර මෙරට පාරම්පරික සමාජ සාරධර්ම ද වේගවත් ව වියැකී යමින් තිබේ. අඹුසැමි දෙදෙනෙකු අතර පැවතිය යුතු ආදරය, සෙනෙහස වෙනුවට ඒ තැන්වලට මුදල, සමාජමට්ටම, පවුල් පසුබිම, කුලය, ගෝත්‍රය, ජාතිය, ආගම, දේශපාලනය ආදී දේ ආදේශකරණ වීම වෙනම සමාජ විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට ද අද පත්ව තිබේ.

ලිංගිකත්වය පිළිබඳ නූතන පුද්ගල හා සමාජ ආකල්ප විකෘති, විෂම හැඩතල ගෙන තිබීම ද විවාහ ජීවිත මෙබඳු ක්ෂණික දෙදරා යෑම්වලට ඉවහල් වී තිබේ. මේවාට විවිධ හේතුසාධක ද තිබේ. ජෛව, රසායනික, ප්‍රවේණිගත හා ආකල්ප වැනි විවිධ බලපෑම් ද මීට ඉවහල් ව ඇත. ගන්නා ආහාරපාන විකෘති විෂම රසායන ද්‍රව්‍ය ඇතුලත් විවිධ රසකාරකවලින් පිළියෙල කර තිබීම, ආශාවල්, ආකල්ප, ඉන්ද්‍රිය පිනවීම, දැඩි ආත්මාර්ථකාමී බව, විෂම ලෝභය වැනි මානසික හේතු සාධක ද මානව චර්යා විකෘති හැඩතල ගැනීමට ඉවහල් වේ. මේ හේතු අද ලිංගික ආස්වාදය ලැබීමට අදාළ මානව චර්යා සකස් කිරීමෙහි ලා ප්‍රධාන සාධක බවට පත්ව තිබේ. විවාහ සංස්ථාවට පරිබාහිරව ලිංගික ආස්වාදය ලැබීමේ විවිධ අසම්මත ක්‍රමයන්ට ද මෙකල මානවයා ඉතා තදින් යොමුව සිටින බවට සාධක සන්නිවේදන මාධ්‍ය තුළ බහුල ව දැකගත හැකි ය.

ඉතා නවීන සිරිත් විරිත් ලෙස අද ලෝකයා අතර ව්‍යාප්ත ව යන ව්‍යාහිචාරය, කාමමිථ්‍යාචාරය බඳු දුසිරිත් නිසා ලාංකික විවාහ ජීවිත ඉතා කෙටි කලක් තුළ බිඳ වැටෙමින් පවතියි. විවාහ ජීවිතය නිරර්බුදව ගත කිරීමට වඩා ඉවක් බවක් නොමැතිව කාමය පසුපස අතිධාවනකාරී ව ලුහුබැඳ යාම නිසා දූදරු මාපිය සබඳතා පවා මෙකල අර්ථශූන්‍ය තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය අතිශය කණටුදායක ය. අඹුසැමි සබඳතාව යහපත් ව පවත්වාගැනීම විවාහ ජීවිතයේ නිරර්බුද පැවැත්මට අත්‍යවශ්‍ය ය. යහපත් අඹුසැමි සබඳතාවයක් නිවැරදිව පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ව බෞද්ධ ඉගැන්වීම් තුළ ඉතා සවිස්තර ව දක්වා ඇත.

බෞද්ධ ඉගැන්වීම්වල සැමියා හා බිරිඳ ගත කරන පවුල් ජීවිතය සතර ආකාරයකින් විස්තර කර තිබේ. මින් පළමුවැන්න නම් මළකඳක්, මළකඳක් සමඟ වාසය කිරීම යි. ඉන් අදහස් වනුයේ පවුලක අඹු සැමි දෙදෙනා ම දුස්සීල නම්, තද මසුරු අය නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අක්‍රෝෂ කරයි නම්; එනම් ධර්මය ගැන නොතකයි යන්නයි. එබඳු එක්ව වෙසෙන අඹු සැමියන්ගේ ගුණය මළ බැවින් මළ අය හා සමාන වන බවයි.
දෙවන වාසය නම් මළකඳක්, දෙව්දුවක් සමඟ වාසය කිරීම යි. ඉන් අදහස් වන්නේ සැමියා දුස්සීල නම්, තද මසුරු ව, ශ්‍රමණ බමුණයන්ට අක්‍රෝෂ කරද්දී, බිරිඳ සිල්වත් ව, නිතර දාන මාන දෙන තැනැත්තියක් නම්, නොමසුරු නම් එය මළකඳක්, දෙව්දුවක් සමඟ වාසය කිරීමට සම බවයි.

තෙවැනි වාසය නම් දෙවියෙක්, මළකඳක් සමඟ වාසය කිරීම යි. ඉන් කියවෙනුයේ බිරිඳු දුස්සීල ව, තද මසුරු ව, ශ්‍රමණ බමුණන්ට අක්‍රෝෂ කරද්දී, සැමියා සිල්වත් නම්, නිරතුරු දාන මාන දෙන තැනැත්තෙක් වන්නේ නම්, එය මළ කඳක්, දෙවියෙක් සමඟ වාසය කිරීමට සම බව යි.

සතර වෙනුව දෙවියෙක් දෙව්දුවක් සමඟ වාසය කිරීම දක්වා තිබේ. එහි අදහස අඹු සැමි දෙදෙනා ම සැදැහැවත් නම්, නිතර දාන දෙන සුලු ස්වභාව ඇත්තේ නම්, සීලයෙන් යුතු වන්නේ නම් දැහැමින් ජීවත් වන ඔවුහු ඔවුනොවුන් හා ප්‍රිය කථා ඇත්තෝ වන්නෝ ය. ඔවුන්ට අර්ථයෝ ධනයෝ බොහෝ වෙත්, පහසුවෙන් විසිය හැකි වෙයි. සමාන සිල් ඇති ඒ දෙදෙනා හට සතුරන් නො වන්නේ ය. නොසතුටු සිත් ඇති නො වන්නේ ය. ඔවුන් මෙලොව ධර්මයේ හැසිර මරණින් මතු නිදා පිබිදියාක් සේ ඉසුරුමත් ව දෙව්ලොව උපදින බව ද සඳහන් වෙයි.

යහපත් පවුල් දිවියක් ගත කිරීමේ හැකියාව සැමියාගේ මෙන් ම බිරිඳගේ ඇවතුම් පැවතුම් අනුව සිදුවන්නකි. පවුලක මතුපිටින් ගෘහ මූලිකයා පිරිමියා ලෙස සඳහන් වුව ද අභ්‍යන්තරයේ දී සෑම කටයුත්තක් ම සිදුවනුයේ බිරිඳගේ මැදිහත් වීම පරිදි බව නොරහසකි. මේ තත්ත්වය අද අඩු වැඩි වශයෙන් මෙරට සමාජයේ සෑම අඹුසැමි දෙපළක් සම්බන්ධයෙන් ම වලංගු ය. මේ නිසා පවුලේ නොනිල ප්‍රමුඛයා බිරිඳයි. මේ හේතුව නිසා බිරිඳකගේ කාර්යභාරය පවුලේ සමඟිය මෙන් ම දියුණුව උදෙසා ද ඉතා වැදගත් වේ.

විවාහය සඳහා සුදුසු ස්ත්‍රියක තෝරා ගැනීමේ දී දැනට සලකා බැලෙන විවිධ කරුණු කාරණවලට අමතරව පහත සඳහන් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ව විමසා බැලීම වැදගත් ය. ඒ අනුව විවාහ වීම සඳහා උචිත මෙන් ම අනුචිත සප්තවිධ ලක්ෂණයන්ගෙන් යුත් විවිධ ස්ත්‍රීන් සමාජයේ වෙසෙන බව සප්ත භරියා සූත්‍රයෙහි බුදු හිමියන් විසින් මැනවින් පෙන්වා දී තිබේ.

ඒ සුත්‍රයෙහි පරිදි දිනක් බුදුරජුන් අනාථපිණ්ඩික සිටාණන්ගේ සිටු මාලිගයට වැඩම කරන ලදී. වෙනදාට නැති මහා ඝෝෂාවක් නිවස තුළින් ඇසෙයි. එසේ කෙවුලන් සේ ඝෝෂා කරන්නේ කවුරුන්දැයි සිටුවරයාගෙන් බුදුරදුන් විමසන ලදී. එයට පිළිතුරු දෙන සිටුවරයා “ස්වාමීනි, අප සමඟ වාසය කරන ලේලිය වන සුජාතා ව මෙසේ කෑ කෝ ගසයි. ඈ පොහොසත් පවුලකින් මෙහි කැඳවාගෙන එන ලද්දී ය. ඈ ඇගේ නැන්දනියට හෝ මයිලණුවන් වන මට හෝ තම ස්වාමි පුරුෂයාට හෝ අවනත නො වෙයි. දඩබ්බර ය. යටහත් පහත් බවක් නො දක්වයි. අකීකරු ය. එහෙත් ඇය ඔබ වහන්සේට මහත් ගෞරව කරන්නී ය. ඔබ වහන්සේ කියන දේකට පමණක් ඇහුන්කන් දෙන්නී ය. පිළිගන්නී ය.” යනුවෙන් ඇය පිළිබඳ දක්වා සිටියේ ය.

ඇය තමා හමුවට කැඳවන ලෙස බුදුරදුන් දන්වා සිටියහ. ඇය ඉතා කීකරුව උන්වහන්සේ හමුවට පැමිණ වැඳ නමස්කාර කොට සන්සුන් ව එකත්පසෙක සිටියා ය. ඇය අමතන උන්වහන්සේ විවාහ ජීවිත ගත කරන බිරින්දෑවරුන් හත් දෙනෙක් පිළිබඳ ව කරුණු ගෙනහැර දැක්වූ සේක.

ඇතැම් බිරින්දෑවරු ස්වාමියාට අනුකම්පා විරහිත ය. මනසින් නිතර ම දූෂිත ය. හැම විට ම තම ස්වාමියාට අවමන් කරයි. අන් පුරුෂයින්ගේ ඇසුර ප්‍රිය කරයි. ඇය මුදලට ලොල් ය. මුදලට ගත හැකි ය. ස්වාමියා නසා හෝ තම සිතැඟි ඉටු කර ගනියි. ඒ නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාව නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධක භාර්යාව යි.
සැමියා විසින් වෙහෙස වී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව සොරුන් හා සම හෙයින් චෞර භාර්යාව නම් වේ.

ගෙදර වැඩකිරීමට නොකැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ, හිමියා යටත් කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්යා භාර්යාව යි.
සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය සැමියා රකින්නා වූ, හිමියා සපයන ධනය පරිස්සම් කරන්නා වූ භාර්යාව මවක හා සම වූ මාතෘ භාර්යාව යි.
නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනි භාර්යාව යි.
බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්‍රතා ඇත්තා වු භාර්යාව සඛී භාර්යාව යි.
ස්වාමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ, හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාසී භාර්යාව යි.

මෙකී දේශනාව අවසානයේ දී සුජාතාවගේ තදපරුෂ ස්වභාවය පහව ගොස් ඒ සිටු පවුලේ සතුට සමාදානය යළිත් ඇති විය.

සප්ත භරියා සූත්‍රයෙහි මතු නිරයගාමී වන භාර්යාවන් තිදෙනා හා මතු සුගතිගාමී වන භාර්යාවන් සතර දෙනා දක්වා ඇත්තේ මේ අයුරිනි.

“යා චිධ භරියා වධකාති වුච්චති
චෝරී ච අය්‍යාති ච යා පවුච්චති
දුස්සීලරූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා නිරයං වජන්ති තා”

දුස්සීල වූ, නපුරු වූ හිමියාට අනාදර කරන්නා වූ වධක භාර්යාව ය, චෞරී භාර්යාව ය, ආර්යා භාර්යාව ය යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යති.

“යා චිධ මාතා භගිනී සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති
සීලේ ඨිතත්තා චිරරත්තසංවුතා
කායස්ස භේදා සුගතිං වජන්ති තා”

සීලයේ පිහිටි මාතෘ භාර්යාව ය, භගිනි භාර්යාව ය, සඛී භාර්යාව ය, දාසී භාර්යාව ය යනු මොවුහු මරණින් මතු සුගතිගාමී වෙති.

මෙකී කාරණාවන් මනාව අවබෝධ කොටගෙන ක්‍රියාත්මක වන පවුල් ජීවිත සාර්ථක ව පවත්වාගෙන යා හැකි ය. පවුල් ජීවිත අවුල් වීමේ මූලික ම කාරණා වන්නේ නිසි අවබෝධය නොමැති වීම යි. ස්ත්‍රිය මෙන් ම පුරුෂයාට ද මෙහි දී වැදගත් කාර්ය රැසක් පැවරී ඇත. ධර්මානුකූල ව ම ක්‍රියා කොට ආදර්ශවත් චරිත ලෙස මෙලොව පරලොව දියුණුව සලසා ගැනීමට බෞද්ධයන් කටයුතු කළ යුතු ම ය.

කථිකාචාර්ය
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ