රටක සිදුවන ආගමන, විගමන නිමක් නැත. අප රටට ද එකී කථාව එකසේ පොදු ය. එලෙස බොහෝ දෙනා ආගිය පමණින් අපට යහපත සැලසෙන්නේ නැත. අපට පමණක් නො වේ, කවර රටකට වුව ද එය එසේ ම ය.
ශ‍්‍රී බුද්ධ වර්ෂ 318 දී මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ ධර්ම දූත ආගමනය වඩාත් අනභිභවනීය වන්නේ ද ආශ්චර්යවත් වන්නේ ද මහින්දාගමනය යනු ලක්වැසියන්ගේ ජීවිත සුඛිත මුදිත කරවූ, දෙලෝ යහපත සලසවා ලූ, යහපත මිස අයහපතක් ශේෂ නො කෙරුවා වූ ලොව උත්කෘෂ්ට ම ආගමනය වන නිසාවෙනි.

අම්බස්තල කඳු මුදුනින් රැව් පිළිරැව් දී පැතිරී ගිය සත්‍යයේ සදහම් සන්දේශය එදා මෙදා තුර රටකින් රටකට ලැබුණ උත්තරීතර ම දායාදය බව අවිවාදිත ය. ගස් ගල්, පර්වත, වනාන්තර සරණ ගිය මිනිසුන් කෙලෙස් තවනා වැඩපිළිවෙළකට අනුගත කරවීම සුළුපටු කර්තව්‍යයක් නො වේ. එවැනි ධර්මයක් ගැන අසාවත් නො තිබුණු ප‍්‍රජාවක් හමුවේ විශේෂයෙන් ම එය බැරෑරුම් කටයුත්තකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ සමාජ පරිවර්තනය විප්ලවීය පුනර්ජීවනයක් ම වූයේ එනිසාවෙනි. එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහි වූ අද්විතීයවූත්, උදාරතරවූත්, අසමසමවූත් මහා විප්ලවීය නායකයාණෝ දම්සෝ නරනිඳු පුත් මහා මහින්දයන් වහන්සේ මිස අන්කවරකු හෝ නො වේ.

අතින් අතට, පරපුරෙන් පරපුරට ගෙන යන විට අගය නො වෙනස් ව පවතින්නා වූ ද එක සේ ම යහපත සලසන්නා වූ ද කාලයේ පහර දීමට හසු නො වන්නාවූ ද දායාදයක් වේ නම් ඒ මේ ධර්ම දායාදය ම මිස අනෙකක් නම් නො වේ. එදා මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්, ගෞතම සම්බුදු සසුනේ චිරස්ථායිතාවය අපේක්ෂාවෙන් හෙළදිව, ගෞතම සම්බුද්ධ රාජ්‍යය පිහිටුවාලූයේ පරපුරෙන් පරපුරට නිර්මල ව ගෙන යා යුතු ධර්ම දායාදය අප සුරතට පත් කරවමිනි.

කාලය බොහෝ දේ අපෙන් උදුරාගෙන, බොහෝ දේ අපට අහිමි කර තිබුණ ද අදටත් ශී‍්‍ර සද්ධර්ම දායාදය අප සතුව පවත්නේ ය. පමණ කළ නො හැකි අගයකින් යුතු මේ දායාදය සුරක්ෂිත කරවාලීමේ වුවමනා ව සහිත සුජාත හෙළ බොදුනුවන් මේ බිමෙහි සිටින්නේ ය.

ඒ නිසාවෙන් ම ජාතියට කිරි පෙවූ ධර්ම දායාදය සුරැකිණි. ඒ කිරෙන් සැනහුනු හෙළ ජාතිය ද සුරැකිණි. ගසට පොත්ත මෙන් බැඳී ගත් සම්බුදු දහම හා හෙළ ජාතිය එකිනෙකෙහි උපකාරයෙන් ම එකිනෙකා සුරක්ෂිත කරළු බව නො රහසකි. හෙටටත් වුවමනා වන්නේ එලෙසින් ම රැකෙන ජාතියක් සහ දහමකි.

ධර්ම දායාදය අදටත් නිර්මල ව, විවෘත ව, බැබළෙමින් පවතී. ඒ දහම රකින්නට අපට සුජාත හෙළ බොදුනුවන් අවැසි ය. ‘රත්තරන් වූ පුංචි පවුල්’ නො ව ‘ඉස්තරම් වූ වැඩුණු පවුල්’ අවැසි ය. උත්කෘෂ්ට දහමක ද එයින් සුපෝෂිත වූ ශ්‍රේෂ්ඨ ජාතියක ද පැවැත්ම තිරසාර කරවීම පිණිස ගුණාත්මක ව මෙන් ම ප‍්‍රමාණාත්මක ව ද වැඞී ගත් සුජාත දරු පරපුරක් අවැසි ය.

උත්තුංග සද්ධර්ම දායාදයෙන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අප ව අභිෂේක කළ උත්තරීතර පොසොන් දින පුන් සඳ මඬලින් හෙළදිව ආලෝකවත් වන මේ මොහොතේ අප අදිටන් කරගත යුත්තේ ද ඒ අභිමානවත් දායාදය නො නසා පරපුරෙන් පරපුරට සම්පේ‍්‍රෂණය කරවීමට ම නො වේ ද?

ලොව උත්තරීතර වූ දුලබ දහම සුරැකි ප්‍රෞඪ ජාතියේ හෙට දවස අපි අභිමානයෙන් සුරකිමු. ශාක්‍ය වංශික උරුමය පරපුරෙන් පරපුරට සුරැකිව දායාද කරමු.