නැණවතුන් සරණ ගිය මහා නැණවතාණෝ වනාහී බුදුරජාණන් වහන්සේ ය. පිනැතියන් සරණ ගිය මහා පින්වතාණෝ ද බුදුරජාණන් වහන්සේ ය. වාසනාවන්තයින් සරණ ගිය මහා භාග්‍යවතාණෝ වනාහී බුදුරජාණන් වහන්සේ ම ය. මෙසේ ලොව නුවණැති, පින් ඇති, වාසනාවන්ත දෙවියනුත්, බ්‍රහ්මයිනුත්, මිනිසුනුත් හදවතින් ම සරණ ගිය එකම ශාස්තෘන් වහන්සේ ය, ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ.

තම එකම ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් සිහි කරන ශ්‍රාවකයෝ නොයෙක් සොඳුරු නාමයන් භාවිත කළ අයුරු ත්‍රිපිටකය පුරා පෙනේ. ඉන් එකකි ‘චක්ඛුමා’ යන ගෞරව නාමය. කවර කරුණක් නිසාවෙන් ද ඒ සම්බුදුරජුන් ‘චක්ඛුමා’ නමින් හඳුන්වනු ලබන්නේ…

අසමසම වූ නේත්‍ර පසකින් සමන්විත නිසාවෙනි, ඒ පසැස් ඇති සම්බුදුරජුන්හට ‘චක්ඛුමා’ කියා කියනු ලබන්නේ. එනම්: අසිරිමත් වූ අසමසම වූ මාංසචක්ඛු හෙවත් මසැස ය, දිබ්බචක්ඛු හෙවත් දිවැස ය, පඤ්ඤාචක්ඛු හෙවත් නැණැස ය, බුද්ධචක්ඛු හෙවත් බුදු ඇස ය, සමන්තචක්ඛු (සියල්ල දකිනා ඇස) හෙවත් සමතැස ය.

භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් බුදු ඇස

මේ පසැස් අතුරින් සම්මා සම්බුදුරජුන්ගේ බුදු ඇස අතිශයින් ම අසිරිමත් ය, අද්භූත ය. ඒ බුදු ඇස නිසාවෙන් පින් ඇති අයට එකල සැලසුණු යහපත අපමණ ය. මේ උතුම් ලිපිගත ඒ අසිරිමත් වූ බුදු ඇස ගැනයි. අසාධාරණ ඤාණ වන ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයත්, ආසයානුසය ඤාණයත් එක්ව සැකසුණු මේ අසිරිමත් බුදු ඇසින් ලොවට සෙත සැලසිය හැක්කේ සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේට ම පමණි.

ධර්ම දේශනාවෙහි මන්දෝත්සාහී වීම

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඒ මුල් කාලයේ උරුවෙල් ජනපදයේ, නේරංජරා නදිය අසල, අජපල් නුග රුක් සෙවණේ වැඩසිටි සේක. එකල්හී හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවූයේ මෙබඳු කල්පනාවකි.

“මම මේ අවබෝධ කරගත් ධර්මය හරි ගැඹුරුයි. අමාරුවෙන් දකින්න ඕන. අවබෝධයට දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. තර්ක කරලා දකින්න පුළුවන් දෙයක් නොවෙයි. සියුම්. නුවණැත්තන් විසින් ම දැක්ක යුතු දෙයක්. ඒත් මේ සත්ත්ව ප්‍රජාව නම්, ආශාව තුළයි ඉන්නෙ. ආශාවට ඇලිල ඉන්නෙ. ආශාවෙන් ම සතුටු වෙනවා. ඉතින්, ආශාව තුළ ඉන්න, ආශාවට ම ඇලුන, ආශාවෙන් ම ප්‍රමුදිත වන මේ සත්ත්ව ප්‍රජාවට හේතුඵල දහම ගැන කියවෙන, මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීම ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඒ වගේම සියලු සංස්කාරයන් සන්සිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තෘෂ්ණාව නැති වී, විරාගය, නිරෝධය නම් වූ ඒ අමා නිවන සාක්ෂාත් කිරීමත් ඉතා දුක සේ කළ යුතු දෙයක්. ඉතින් එහෙම එකේ මං දහම් දෙසන්න ගිහින් අනිත් උදවිය මා කියා දෙන ධර්මය අවබෝධ කරන්නෙ නැත්නම්, ඒක මට මහන්සියක්. ඒක මට වෙහෙසක්.”

මෙලෙසින් සිතා අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ උදානයන් ද පහළ කළ සේක.

“කිච්ඡේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාගදෝසපරේතේහි නායං ධම්මෝ සුසම්බුධෝ”

“මං හරි අමාරුවෙන් අවබෝධ කළේ. අනිත් අයට කියා දීල වැඩක් නෑ. රාගයටත්, ද්වේෂයටත් යටවෙලා ඉන්න ඒ උදවිය, මේ ධර්මය නම් ලේසියෙන් අවබෝධ කරන්නෙ නෑ.”

“පටිසෝතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධේන ආවුතාති”

“මේක උඩුගං බලා යන දෙයක්. සියුම්. ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ගොඩාක් ම සියුම්. රාගයට ඇලිල ඉන්න උදවිය මේ ධර්මය දකින්නෙ නෑ. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලයි ඔවුන් ඉන්නෙ.”

ඔය අයුරින් සිතුවිලි පහළ කරනා විට අභිනව සම්මා සම්බුදුරජුන් ගැන ම අවදානයෙන් සිටි සහම්පතී නම් බ්‍රහ්මරාජයාට මෙසේ සිත් විය. ‘අහෝ! භවත්නි ඒකාන්තයෙන් ම ලෝකය ඉවරයි. අහෝ! භවත්නි, ඒකාන්තයෙන් ම ලෝකය විනාශ වෙලා යාවි. අහෝ! තථාගත වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතත් මන්දෝත්සාහී වීමටමයි නැමෙන්නෙ, දහම් දෙසීමට නොවෙයි!’

ඒ මොහොතේ ම සහම්පතී බ්‍රහ්මයා බලවත් පුරුෂයෙක් හැකිළුෑ අතක් දිගහරිනා අයුරින්, දික් කළ අතක් හකුළනා අයුරින් බඹලොවින් අතුරුදහන් වී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ විය. තම උතුරු සළුව එක පැත්තකට පොරවාගෙන, දකුණු දණමඬල පොළොවේ තබාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් මෙසේ පැවසීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්ත්වයෝ ඉන්නවා. ඔවුන්ට දහම් අසන්න නොලැබුණොත් පිරිහෙනවා. දහම් අසන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වෙනවා.”

මෙසේ කියා සහම්පතී බ්‍රහ්මයා නැවතත් මේ කරුණ පැවසුවේය.

“පාතුරහෝසි මගධේසු පුබ්බේ
ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ
අවාපුරේතං අමතස්ස ද්වාරං සුණන්තු ධම්මං විමලේනානුබුද්ධං”

“මගධ දේශයේ කලින් පහළවෙලා තිබුණෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්. ඒ නිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝ ද අසත්වා!”

“සේලේ යථා පබ්බතමුද්ධනිට්ඨිතෝ
යථාපි පස්සේ ජනතං සමන්තතෝ
තථූපමං ධම්මමයං සුමේධ
පාසාදමාරුය්හ සමන්තචක්ඛු
සෝකාවතිණ්ණං ජනතමපේතසෝකෝ
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතන්ති”

“ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනවා වගෙයි, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, ඒ විදිහට ම සද්ධර්මයෙන් කරන ලද සදහම් ප්‍රාසාදයට නැගල, ජාති ජරා දුකින් පෙළෙන, සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!”

“උට්ඨේහි වීර විජිතසංගාම
සත්ථවාහ අනණ විචර ලෝකේ
දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්තීති.”

“මාර යුද්ධය ජයගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල්කරුවාණෙනි, ණය නැති මුනිඳාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවාමයි.”

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් මේ මුළුමහත් ලෝකයේ සියලු ලෝ සතුන් දෙස බැලූ සේක. ඒ අසිරිමත් වූ බුදු ඇසින් ය.

භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බලද්දි, මේ ලෝකය දුටුවේ විලක් මෙනි. ඒ විලේ මහනෙල්, නෙළුම්, සුදු නෙළුම් ආදී මල් තිබේ. ඇතැම් මල් වතුරේ හැදී, වතුරේ වැඩී, ඒත් උඩට මතු නොවී වතුරේ ගිලී තිබේ. ඇතැම් මානෙල්, නෙළුම්, සුදු නෙළුම් වතුරේ හැදී, වතුරේ වැඩී, වතුරෙන් උඩට විත් වතුරේ නොගෑවී තිබේ.

ඔය අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් වූ බුදු ඇසින් ලෝකය දෙස බලද්දී, ලෝක සත්ත්වයන්ව මැනැවින් දුටු සේක. ඇතැම් සත්ත්වයන්ට කෙලෙස් අඩු ය.

ඇතැම් සත්ත්වයන්ට කෙලෙස් බහුල ය. ඇතැම් සත්ත්වයන්ගේ බුද්ධිමය හැකියාව තියුණු ය. ඇතැම් සත්ත්වයන්ගේ බුද්ධිමය හැකියාව එසේ තියුණු නැත. ඇතැම් සත්ත්වයන්ව තේරුම් ගැනීම පහසු ය. ඇතැම් සත්ත්වයන්ව තේරුම් ගැනීම අපහසු ය. ඇතැම් සත්ත්වයන්ට පහසුවෙන් අවබෝධ කරවිය හැකි ය. ඇතැම් සත්ත්වයන්ට එසේ පහසුවෙන් අවබෝධ කරවන්ට නොහැකි ය. ඇතැම් සත්ත්වයන් පරලොව ගැනත්, වැරදි ගැනත් භය ඇතිව සිටී. ඇතැම් සත්ත්වයන්ට පරලොව ගැනත්, වැරදි ගැනත් භයක් නැත.

මෙලෙසින් ලොව දකිමින් ය බුදුරජුන් දහම් දෙසා වදාළේ. එනිසා ඒ ශාස්තෘන් වහන්සේගේ දහම් දෙසීම අතිශයින් ම ඵල සහිත විය. රාගී ස්වභාවය වැඩි චරිත ස්වභාව ඇති සත්ත්වයන් දකිනා බුදුරජාණන් වහන්සේ ඔවුන්හට අසුභය මුල්කොට ගෙන ය දහම් දෙසනු ලබන්නේ. රූපය පිළිබඳව බලවත් ඇල්මකින් පසු වූ ඛේමා බිසොවුන්, අභිරූපී නන්දාවන් වැනි අයට බුදුරජාණන් වහන්සේ කයේ යථාර්ථය අවබෝධ වන අයුරින් ම දහම් දෙසූ සේක. ඒ සියලු දෙනා සම්බුදු සසුනේ පිළිසරණ ලැබූහ.

ද්වේෂ ස්වභාවය වැඩි උදවිය ගැන බුදු ඇසින් දකිනා ශාස්තෘන් වහන්සේ මෛත්‍රිය පිළිබඳව දහම් දෙසනා සේක. විතර්ක බහුල උදවියට ආනාපානසතිය වැනි සංසිඳීමේ අරමුණක් මුල් කොට දහම් දෙසනා සේක. සැදැහැ සිත් බහුල උදවියට ප්‍රසාදජනක කරුණක් මුල් කොට දහම් දෙසනා සේක. මෙසේ ඒ ඒ චරිත ස්වභාවයට අනුරූප අයුරින් දහම් දෙසීමේ හැකියාව ඇත්තේ බුදු ඇසින් යුතු ශාස්තෘන් වහන්සේට පමණි. බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ දහම් දෙසනු ලබන්නේ විශිෂ්ට වූ ඤාණයකින් අවබෝධ කොටගෙන ම යි. විශිෂ්ට වූ ඤාණයක් නැතිව නොවේ. තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ප්‍රාතිහාර්යය සහිතව ම යි. ප්‍රාතිහාර්යය රහිතව නොවේ. තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ හේතු සහිතව ම යි. හේතු රහිතව නොවේ.”

මේ අසිරිමත් බුදු ඇස නිසාවෙන් කොතරම් ජීවිත සැනසුණා ද? අංගුලිමාල වැනි දරුණු ඝාතකයින්ගේ ජීවිත ශාන්තියෙන් පිරී ගියේ අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි. අම්බපාලී වැනි වෛශ්‍යාවන් නිකෙලෙස් උත්තමාවන් බවට පත් වූයේ අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි. පටාචාරාවන් වැනි අසරණව උමතු වූ අය නිවී සැනහුණේ අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි. නොයෙක් දරුණු මිසදිටු දැරූ ජම්බුක වැන්නවුන් සැපයට පත් වූයේ අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි. මාන්නයෙන් යුතු උරුවේල කස්සප වැනි අය නිවනින් සැනසුණේ අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි. තමා ම කරගත් කර්ම නිසාවෙන් දුකට පත් ව සිටි චූලපන්ථක තෙරුන් වැනි බොහෝ දෙනා සුවපත් වූයේ ද අසිරිමත් වූ බුදු ඇසින් යුතු සම්බුදුරජුන් නිසාවෙනි.

මෙබඳු අසිරිමත් වූ බුදු ඇසින් යුතු හෙයින් ‘චක්ඛුමා’ නම් වන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.