පින්වත් දරුවනේ, ඔයාලගේ ළමා කාලය හරිම සුන්දරයි. ඔයාලට වගේ ම අපටත් ලස්සන ළමා කාලයක් තිබුණා. ඉතින් අපිත් එක්ක හිටිය සමහර යාළුවෝ අද හොඳ සතුටින්, ලොකු රස්සාවල් කරගෙන, ලස්සන ගෙයක් හදාගෙන, හොඳ වාහනයකුත් අරගෙන ලස්සනට ජීවත් වෙනවා. තවත් බොහෝ යාළුවෝ ඉන්නවා හුඟක් දුකින්, අසරණ වෙලා. එයාලට ඉන්න හිටින්න ගෙයක් නෑ.

ඒකට හේතුව ඒ අය පොඩි කාලයේ ගුණධර්ම පුරුදු කරගෙන නෑ. තෙරුවන් සරණ ගිහින් නෑ. ඔයාලා කැමති ලොකු වෙනකොට සතුටින් පිරුණු ලෝකයක් දකින්න නේද? මම අද ඔයාලට, ඔයාලා වගේ ම පුංචි දරුවෙකුගේ විස්තරයක් කියලා දෙන්නම්.

මේ දුවගේ නම ආරාධ්‍යා. එයා හරිම හොඳ කෙනෙක්. හැමදාම ගෙදරින් එළියට යනකොට ආරාධ්‍යා අම්මටයි, තාත්තටයි වඳිනවා. ඒ ගාථා දෙක ආරාධ්‍යාට හොඳට මතකයි.

“වුද්ධිකාරෝ ආලිංගිත්වා
– චුම්බිත්වා පියපුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
– පීතුපාදං නමාමහං”

“මා ආදරයෙන් සිප වැළඳ පෝෂණය කර රජුන් මැද වුව ද මනාව සිටීමට කටයුතු කළ පියතුමන්ගේ පාද මම වඳිමි.”

“දසමාසේ උරේ කත්වා
– පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්සසතං
– මාතුපාදං නමාමහං”

“දසමාසයක් කුසෙහි දරා මා පෝෂණය කළ මවගේ පා මම වඳිමි. අවුරුදු සියයක් ආයුෂ වැඩි වේවා.”

ඒ වගේ ම ආරාධ්‍යා, අම්මයි තාත්තයි දැක්කම වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා ගෞරව දක්වනවා. අම්මටයි තාත්තටයි ලස්සන කෝප්පයකුයි, පිඟානකුයි වෙන් කරලා අම්මයි තාත්තයි කෑම බෙදා ගත්තට පස්සේ තමයි එයා කෑම බෙදා ගන්නේ. බලන්න මේ චූටි දුව කොච්චර හොඳ දරුවෙක් ද කියලා. මෙච්චර හොඳට ආරාධ්‍යා එයාගේ අම්මටයි තාත්තටයි සලකන්නේ, පින්වත් ස්වාමීන් වහන්සේනමක් කියලා දීපු ලස්සන කතාවක් අහලා…

ඒ තමයි, අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ තමන්ගේ අම්මත් සමඟ නැවක යන කොට නැව විශාල කුණාටුවකට හසු වුණා. බෝසත් පුතත්, අම්මත් හැර අනෙක් සියලුම දෙනා මැරුණා. තමන්ගේ අම්මට කෙළෙහිගුණ දැක්වීම පිණිස, තම ජීවිතය පූජා කොට ඒ බෝසත් පුතා අම්මාව තමන්ගේ කරේ තියාගෙන දවස් හතක් මුහුදේ පිහිනුවා. ඉතින් සක්දෙවිඳු දැක්කා මහා පින්වන්ත දරුවෙක් අම්මට ජීවිත දානය දෙනවා. සක්දෙවිඳු ඉක්මනින් ගොඩ බිමක් ළං කළා. සක්දෙවිඳු මේ පුතාට කියනවා, “පින්වන්ත පුතේ ඔබ හරි ගුණවන්ත කෙනෙක්. ඔබ අම්මට ගරු කරන කෙනෙක්. ඒ නිසා පුතේ ඔබට අනාගතයේ සුදුසු දෙයක් තියනවා. ඒ තමයි ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය.” ඉතින් දුවේ පුතේ, අම්මත් තම පුතාගේ හිසට අත තියලා විවරණ ලබා දුන්නා “මගේ පුතා බුද්ධත්වයට පත් වේවා” කියලා.

ඒ කතාව ආරාධ්‍යා ඇහුව දවසෙ ඉඳලා එයා අම්මටයි, තාත්තටයි හරී ආදරෙන් ගෞරව දක්වනවා. ඔයාලත් එහෙම නේද?

ඒ වගේම පුංචි ආරාධ්‍යා ලස්සන සින්දුවක් කටපාඩම් කරගෙන ලස්සනට කියනවා. ඔන්න දරුවනේ ඔයාලත් ඒක කටපාඩම් කරගෙන ලස්සනට කියන්න ඕනේ..

මිතුරනි අප හැම එක් වී සතුටින්..
දැන ගමු බුදු සමිඳුන්ගේ ගුණ කඳ..
බැතිබර සිතින් – නිහතමානී දරුවන් ලෙසින්..
උගනිමු ඒ සිරි සදහම් නුවණින් – නොවී පමා සරණ යමින්…
ඒ සිරි සදහම් වඳිනෙමු සඟ රුවන ද
බැතියෙන්…
බුද්ධං සරණං ගච්ඡාමී…
ධම්මං සරණං ගච්ඡාමි…
සංඝං සරණං ගච්ඡාමී…
එදවස වැඩහුන් මහ සඟ රුවන ද සිහියට නගාලමින්..
ජය ගමු පිනකින් ලද මිනිසත්කම..
වඩා ගුණධර්ම – නගා බුදුදහම..
පුංචි අපේ සිත් සතන් තුළින්…//

බුද්ධං සරණං ගච්ඡාමි…

මාපිය ගුරුවරු නමදිමු බැතියෙන්..
කීකරු දරුවන් සේ..
සිල්පද සුරකිමු පණ මෙන් නිතියෙන්..
කුසලය ගැන සිතමින්..//

බුද්ධං සරණං ගච්ඡාමි…

සියලු සතුන් හට මෙත් පතුරාලමු..
සමාධි සුවයක අරුත සොයා යමු..
හෙළ බස ලියනට කියනට හුරු වෙමු..
අමා දහම දැන ගනු රිසියෙන්..

බුද්ධං සරණං ගච්ඡාමි…

අපි වෙමු බුදු සමිඳුන්ගේ..
සරණ යමින් වසනා දරු දැරියන්..
පින් සිදු වේවා..//
ගුරු දෙවිඳුන් හට නමස්කාර වේවා..//

ඉතින් දරුවනේ, ඔයාලටත් මේ ආරාධ්‍යා වගේම ලස්සන හිතක් තියෙන, දෙමව්පියන්ට සලකන, තෙරුවන් සරණ ගිය, ගුණධර්ම දියුණු කරන හොඳ ළමයින් බවට පත් වීමේ උතුම් වාසනාව උදා වේවා…!

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.