පින්වත් දුවේ, පුතේ,

අපේ ජීවිතයේ මව්පියන් වැඩිහිටියන් සොයුර සොයුරියන් හැරුණාම තවත් අපට සිටින නැතිවම බැරි පිරිසක් තමයි යහළුවෝ. ඉතින් ඒ මිතුරන් ගැන ඔයාලා සමඟ කතා කරන්න ඕනේ කියලා අද මට හිතුණා.

අපේ ජීවිතයේ පෞද්ගලික කටයුතු මෙන් ම පොදු කටයුතුවලදිත් මිත්‍රයන්ගේ සහයෝගය ඉතාම අවශ්‍යයි. වැඩිහිටියන්ට කියන්ට බැරි සමහර ප්‍රශ්න, දුක් කරදර කියන්න පුළුවන් වන, පිහිටක් ගන්න පුළුවන් වන පිරිසක් තමයි යහළුවෝ කියලා හඳුන්වන්නේ. මිත්‍රයෝ ඇසුරු කළ යුතු ආකාරය අපගේ භාග්‍යවතුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී පෙන්වා වදාළා. මිතුරන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සුහදත්වය තිබෙන මිතුරෝ මෙන් ම ව්‍යාජ මිතුරෝ ද සිටිනවා. යහපත් මිත්‍රයන් කල්‍යාණ මිත්‍රයන් ලෙසත්, ව්‍යාජ මිතුරන් මිත්‍ර ප්‍රතිරූපකයන් ලෙසත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමත්, මිතුරන් සේ පෙනී සිටින ව්‍යාජ මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් දුරස් වීමත් මෙලොව පරලොව යහපතට හේතු වෙනවා. මිත්‍රයින් අතර මනා සම්බන්ධතාවක් ඇති වීමට ඉවහල් වන ප්‍රතිපත්ති දහයක් බුදු පියාණෝ දේශනා කොට තිබෙනවා. යහපත් මිතුරන් උතුරු දිසාව ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දී හඳුන්වා දී ඇත්තේ උවදුරුවලින් එතෙර කරවනවා ය යන අර්ථය ඇති නිස යි. මිතුරන්ට පස් ආකාරයකින් සංග්‍රහ කළ යුතු බව එම සූත්‍රයේ දක්වා ඇත්තේ මෙහෙමයි.

1. මිතුරන්ට අවශ්‍ය දේ දීම
2. ප්‍රිය වචනයෙන් කතා කිරීම
3. දියුණුව සඳහා කටයුතු කිරීම
4. සමානාත්මතාව දැක්වීම
5. නොරැවටීම

ඉතින් දරුවනේ, කුල පුත්‍රයෙකු විසින් මිතුරන් වෙනුවෙන් ඉටුකළ යුතු මේ කරුණු පහ දෙපක්ෂය අතර සම්බන්ධය තහවුරු කරනවා. තම යහපත් මිතුරන්ට එලෙස සංග්‍රහ කළ විට ඒ මිතුරෝත් කරුණු පහකින් මෙසේ සංග්‍රහ කරනවා.

1. දුසිරිතෙහි වැටී ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගැනීම
2. ඒ මිතුරාගේ වස්තු ආරක්ෂා කර දීම
3. බියට පත් මිතුරා ඉන් මුදවා ගැනීම
4. විපතට පත් මිතුරා අත්නොහැරීම
5. මිතුරාගේ අඹු දරුවන්ට සැලකීම

මෙසේ මිතුරා විසින් ඉටු කරනු ලබන යුතුකම් කුල පුත්‍රයාගේ යහපත පිණිස ම හේතු වෙනවා. කල්‍යාණමිත්‍ර ඇසුර ආධ්‍යාත්මික දියුණුවට මෙන් ම බාහිර දියුණුවට ද හේතු වෙනවා. ඉහත පෙන්වා දුන් අයුරින් අන්‍යෝන්‍ය යුතුකම් ඉටු වීමෙන් ඔවුනොවුන් අතර සුහදතාවය වර්ධනය වෙනවා. ඒ වගේ ම මිතුරන් ලෙස පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ඈත් වීම ද ඔබගේ ජීවිතයේ දියුණුවට හේතු වනවා. බොහෝ දෙනෙක් දුකට පත් වන්නේ පාපමිත්‍ර සේවනය නිසයි. කල්‍යාණමිත්‍රයා සෑමවිටම තම මිත්‍රයාගේ දියුණුව සතුට අපේක්ෂා කරනවා.

පින්වත් දරුවනේ, නරක ආශ්‍රය නිසා එක්තරා සිංහපෝතකයෙක් විපතට පත් වීමක් ගැන සඳහන් ලස්සන කතාවක් තියෙනවා. ඒකෙ නම මනෝජ ජාතකය. එක ආත්මයක අපගේ මහ බෝසතාණන් වහන්සේ සිංහයෙකු වී උපන්නා. මේ සිංහයාට සහ සිංහ ධේනුවට දාව දුවෙක් සහ පුතෙක් ඉපදුණා. මනෝජ නම් වූ මේ සිංහ පුත්‍රයා වැඩිවියට පත් වීමෙන් පසු සිංහ ධේනුවක් සරණ පාවා ගත්තා. මනෝජ සිංහයා ගොදුරු සොයාගෙන ඇවිත් බෝසත් සිංහයාටත්, සිංහ ධේනුවටත්, නැගණියටත්, භාර්යාවටත් දෙන්න අමතක කළේ නැහැ.

දවසක් මේ මනෝජ සිංහයා ගොදුරක් සොයාගෙන කැලේ ඇවිදගෙන යන විට ගිරි නම් තරුණ සිවලෙක් මුණගැහුණා. මනෝජ සිංහයා දුටු මේ ගිරි නම් සිවලා යටහත් පහත්ව ඔහුට මෙසේ කියා සිටියා. “ස්වාමීනි, මම ඔබට ගරු කරමි. යටහත් පහත් වෙමි. මම ඔබ වහන්සේට දිගටම සේවය කිරීමට කැමැත්තෙමි.”‍ මේ වචනවලට රැවටුන මනෝජ සිංහයා ගිරි සිවලා රැගෙන තමාගේ නිවසට ගියා. මේ දුටු සිංහරාජයා දැඩි කේන්තියෙන් මෙහෙම කිව්වා.

“මේ අධම නීච පාපී නරියෙකුව මෙහි කැන්දාගෙන ආවේ මොන හේතුවකට ද? මොහුගෙන් ඉදිරියේ දී බලවත් විනාශයක් සිදු වේවි. එනිසා මූව වහා ම එළවා දමන්න.”

ඒත් මනෝජ පියාගේ බසට කන් දුන්නේ නෑ. හිවලාව නිවසේ නතර කර ගත්තා. මස් ගෙනත් දිගටම හිවලාව පෝෂණය කළා. මේ සිවලාගේ බොරු කතාවලට මනෝජ හොඳටම රැවටිලා හිටියේ. ඒ නිසා ම පියාණන් කී කිසිම දෙයක් ඔහු ඇහුවේ නැහැ.

දවසක්, “මගේ යහළුව, මම ඔබ ගෙනා නොයෙක් ආකාරයේ මස් රස වින්දත් කවදාවත් මා අශ්ව මස් අනුභව කරල නැහැ. ඒ නිසා අශ්ව මස් රස බැලීමට අශ්වයෙකු මෙහි ගෙන එන්න.” යි හිවලා මනෝජගෙන් ඉල්ලීමක් කළා.

“ඔබේ ඉල්ලීම ඉෂ්ට කිරීම අපහසුවක් නොවෙයි. ඒත් මේ කැලේ අශ්වයන් නැති බව ඔබ දන්නවනේ. එහෙම නම් මා කොහෙන්ද අශ්ව මස් ගේන්නේ?”

මනෝජ සිංහයා හිවලාගෙන් විමසුවා.

“ඊට මා උපායක් කියන්නම්. බරණැස් රජුගේ අශ්වයන් සිටින බව ඔබ දන්නවා ඇති. ඒ අශ්වයන් නෑවීම පිණිස දිනපතා ම ගඟට ගෙන එනවා. ඉන් එකෙක් මරාගෙන ඒමට ඔබට අපහසුවක් නෑ.” හිවලා කියන්නට වුණා.

ගිරි සිවලාගේ උපාය මත මනෝජ සිංහයා ගඟ ළඟට ආවා. සිවලා කී ලෙස ම අශ්වයන් ගඟේ නාවන අයුරු ඔහුට පෙනුණා. දැන් තමයි වෙලාව යැයි කල්පනා කළ මනෝජ අශ්වයකු ඩැහැගෙන තම ගුහාවට ආවා.

මේ දුටු බෝසත් සිංහ රාජයා පුතාට අවවාද කළා. “ඔබ මේ කරන අවදානම් වැඬේ මා නම් අනුමත කරන්නෙ නෑ. අශ්වයා කියන්නේ රජ්ජුරුවන්ගේ වාහනය යි. ඒ අශ්වයන් මරාගෙන කෑම මහා විපතකට හේතුව යි. මේ අසුන් දඩයම වහා ම නවත්වන්න.”

පියාගේ අවවාද ගණනකට නොගත් මනෝජ දිගට ම අශ්ව දඩයමෙහි යෙදුනා. අශ්ව කණ්ඩායමේ අශ්වයන් ටිකෙන් ටික අඩු වන බව සොල්දාදුවෝ රජුට පැමිණිලි කළා. සිංහයෙකු අශ්වයන් පැහැර ගන්නා බව ඔවුන් රජුට කීවා. රජතුමා අසුන් නෑවීම සඳහා රජවාසල භූමියෙහි පොකුණක් තනවා සිංහයා එන විට විද මරන්න නියම කළා.

මේ කිසිවක් නොදත් මනෝජ අශ්වයෙකු දඩයම් කර ගැනීමට පොකුණට පැමිණියා. අශ්වයෙකු අල්ලාගෙන පිට වී යන්නට සූදානම් වනවිට ම රැකවලෙහි සිටි දුනුවායෝ හී පහර විදින්ට පටන් ගත්තා. වේදනාවට පත් සිංහයා අශ්වයා අතහැර වේගයෙන් තම ගුහාවට පැමිණ මරණයට පත් වුණා.

මනෝජ සිංහයා මරණයට පත් වූ බව දැනගත් ගිරි සිවලා මෙසේ කල්පනා කළා. ‘දැන් මෙහි සිට මට වැඩක් නැහැ. මගේ බඩ පුරවා ගන්නට පිහිටවන්නේ කවුද? වහාම මෙතනින් පිට වී පලා යා යුතුයි.’‍ මෙසේ සිතා ගිරි සිවලා වෙනත් ප්‍රදේශයකට පලා ගියා.

මේ අවස්ථාවේ මනෝජ සිංහ පුත්‍රයාගේ දේහය දෙස බලා දෙමාපියන්, නැගණිය, සිංහ ධේනුව බොහෝ දුක් වුණා. නීච පහත් ගිරි සිවලා නිසා මනෝජ සිංහ තරුණයා විපතට පත් වූ බව කවුරුත් කල්පනා කළා.

බලන්න දුවේ පුතේ, තමන්ට ගැළපෙන සුදුසු මිත්‍රයන් ආශ්‍රය නොකළ නිසා සිංහයාට සිදු වූ විපත. ඔබත් තමන්ට සුදුසු යහපත් මිත්‍රයන් තෝරාගෙන ආශ්‍රය කරන්න. වැඩිහිටි අවවාද පිළිපදින්න සිතට ගන්න.

තෙරුවන් සරණයි!

සටහන – මානෙල් නැන්දා