පින්වත් දුවේ, පුතේ, අනුන්ගේ දුකේ දී තම හදවත කම්පා වීම කරුණාව යි.

කරුණාව හිතේ තියන කෙනා  අන් අය කෙරේ සංවේදී චරිතයක්. කරුණාවෙන් ලෝකයට සෙත සලසන්න මහන්සි වෙන කෙනාට අපි කියනවා ‘පරාර්ථකාමී කෙනා’ කියලා. පරාර්ථකාමියා ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ගේ යහපතට කැප වෙනවා. හැබැයි ඒකෙ තේරුම පින් පව් අමතක කරනවා කියන එක නෙමේ. එයා පවට ඉඩ නොදී මෙලොව පරලොව දෙකම රැකගෙන අනුන් වෙනුවෙන් සේවය කරනවා.

පින්වත් දරුවනේ, අපි වගේම අනිත් අයත් සැප, සතුට, දියුණුව, මිත්‍රත්වය, සෙනෙහස, ඉගෙනීමේ දියුණුව, දක්ෂතා ඇතිකර ගැනීම, ධනය උපයා ගැනීම ආදියට කැමතියි. ඒවා අහිමි වෙනවට අකමැතියි. ‘මං වගේමයි අනිත් අයත්’ කියල තේරුම් ගත්තොත් අපිටත් පුළුවන් අනිත් අයට සැප සලසන්න කළ යුතු දේ වටහා ගන්න.

පරාර්ථකාමී වෙන්න නම් ගොඩක් යහපත් ගුණධර්ම පුරුදු කරන්න ඕන. අපි ඉවසනවා නම්, තරහ හිතේ පිහිටුවා  ගන්නේ නැත්නම්, ඉක්මනට තරහ අමතක කරල හිතෛශීව ඉන්නව නම්, එකට එක කරන්නෙ නැත්නම්, ඉරිසියා කරන්නෙ නැත්නම්, ආඩම්බරකමින් ඉන්නෙ නැත්නම්, අනිත් අයව අභිබවා මුදුනා වෙන්න දඟලන්නෙ නැත්නම්, අනිත් අය අපි හිතන විදිහ නිසා සැප විඳිනවා.

අපි අනිත් අයව රවට්ටලා වංචා කරන්නෙ නැත්නම්, යාළුකම් බිඳවන කේළාම් කියන්නෙ නැත්නම්, හිත් පෑරෙන නපුරු වචන කියන්නෙ නැත්නම්, විහි`ඵ තහ`ඵ ඕපදූප කිය කියා කාලෙ කන්නෙ නැත්නම්, අනිත් අයගේ අධ්‍යාපනයට, රැකී රක්ෂාවලට, ගුණධර්ම දියුණු වෙන්න, ධර්ම මාර්ගයට උදව් වෙන වටිනා දේවල් – පින් රැස්වෙන දේවල් කියනවා  නම්, අපේ වචනය නිසා අන් අය සැප විඳිනවා.

අපි කිසිම පණ ඇති සත්වයෙකුට හිංසා පීඩා කරන්නෙ නැත්නම්, ගහන්නෙ රිද්දන්නෙ කොනිත්තන්නෙ නැත්නම්, අනිත් අයගෙ පුංචි දෙයක්වත් හොරෙන් ගන්නෙ නැත්නම්, තමනුත් පිරිසිදු චරිතයක් ඇති ව හිඳිමින් අන් අයගේ චරිත කැළැල් කරන්නෙත් නැත්නම්, අනිත් අයගේ යහපත – සැපත වෙනුවෙන් කළ හැකි උපකාර – සේවාවන් කරනවා  නම්, අප නිසාත් ලෝකයා සැප විඳිනවා. පරාර්ථකාමී කෙනා ඕනෑම යහපතක් කරද්දී තමාගේ කාලය, ධනය, ශ්‍රමය, අවශ්‍යතා, ආශාවල් නොමසුරුව කැප කරලා ඒ යහපත ඉටු කරනවා. හරියට ‘මඝ’ තරුණයා වගේ.

දවසක් මඝ කියන තරුණයා තමාට ගෙයක් හදන්න ඉඩමක් සුද්ද කරල ඉවර වුණා විතරයි ගමේ මනුස්සයෙක් ඇවිත් ඒ ඉඩම ඉල්ලුවා. හරි පුදුමයි. මඝ තරහ ගත්තෙ නෑ. හරිම හිතවත්කමින් එයාට ඒ ඉඩම දීලා වෙන තැනකට ගියා. එතන සුද්ද කරද්දි තව මනුස්සයෙක් එතන ඉල්ලුවා. අපිට නම් දෙවෙනි තුන්වෙනි වතාවෙ හරි තරහ යනවමයිනෙ. ඒත් මඝට තරහ ගියේ නෑ. එයා සුද්ද කරන සුද්ද කරන ඉඩම ඉල්ලන ඉල්ලන කෙනාට දුන්නා. අන්තිමට එයාගෙ මේ පරාර්ථකාමී පරිත්‍යාගය නිසා ගමම එයාගෙ යාළුවො වුණා.

ඊට පස්සෙ එයා තවත් අනිත් අයගෙ යහපත කල්පනා කරලා යාළුවන්ව පංච ශීලයේත්, උතුම් ගුණධර්මවලත් සමාදන් කෙරෙව්වා. ඉන්පස්සෙ හැමෝම එකතු කරගෙන මංමාවත්, ළිං, පොකුණු, පාලම්, පළතුරු උයන්, ඔසු උයන් ආදී පොදු පහසුකම් හැදුවා. එතකොට මුලදි එයාට තමාගෙ කාලයෙන් මාස ගාණක් නිකං ගෙවිල ගියා. තමාගෙ ගෙදර හැදුවෙ අන්තිමට. මුලදි තර්ජන ගර්ජන ප්‍රශ්න ඉවසන්න වුණා. ඒත් එයා ඒකෙන් කොච්චර යහපත් ප්‍රතිඵල ලැබුව ද?

අන්තිමට රජතුමා ඔහුව ගම් ප්‍රධානියා කළා. එයා නිසා අනිත් අයගේ ජීවිතත් දියුණු වුණා. සැපවත් වුණා. අන්තිමට හැමෝම දෙව්ලොව උපන්නා. මඝ කුමාරයා තමයි දෙව්ලොවට අධිපති ව දැන් ඉන්න සක් දෙවිඳු වෙලා උපන්නෙ.

ඒ නිසා දුවේ, පුතේ, ‘මගේ වැඩේමයි ඉස්සෙල්ලා කරන්න ඕන.. මගේ එක තමා ලස්සනටම තියෙන්න ඕන.. මං තමා ඉහළින්ම ඉන්න ඕන’ කියල හිතන පටු සිතිවිලි අත්හරින්න. අනිත් අයගේ සැපය වෙනුවෙන් තමන්ගෙ කාලය, ශ්‍රමය, ආශාවල් කැප කරලා ධාර්මික උපකාර පමණක් දෙහිතක් නැතුව කරන්න.

අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි ලෝකෙ හිටපු උත්තම පරම පරාර්ථකාමී සත්පුරුෂ මහෝත්තම වහන්සේ. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට අනන්ත දුක් විඳිමින් පාරමී පිරුවෙ, තමන් වඩාත් ආදරය කරපු රාහුල පුතුත්, යසෝදරාවත් අත් හැරියෙ, සසරෙ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නෙ සම්බුදු බව ලබාගෙන අපව සසරින් එතෙර කරවන්නයි. එබඳු ශාස්තෘන් වහන්සේනමකගේ ශ්‍රාවක දරුවන් විදිහට ඔයාලටත් පරාර්ථකාමී අහිංසක හිතක් ඇති කර ගන්න වාසනාව ලැබේවා..!

නමෝ බුද්ධාය!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.