බුටියව පාන්දර අල්ල ගත්තෙ හෙණ ජරමරයක් කරල. මුගෙ තරම කියන්නෙ අක්කෙ අන්තිමට ගේ ඉස්සරහ තියෙන අඹ ගහට නැග්ගයි කියහන්කෝ.”

බබක්කා කීවේ මහත් සතුටිනි. කථාව අසන පද්මාවතී තුළ නම් ඇති වූයේ සතුටක් නොව සංවේගයකි.

“ඇරපු අතක් නැහැ හිටිය වගේමයි. අපරාදේ කියන්න බෑ සුදටම ඇඳලා ඉන්නවා. අක්ක එක්කත් ඕකා අරියාදුවට ආව කියල ඒ දවස්වල ආරංචියක් තිබුණ නේද?” බබක්කා ඇසුවේ පද්මාවතීිට පිළිතුරක් නොදී සිටීමට බැරි තරමේ ළෙන්ගතු ලෙසිනි. ගමේ තොරතුරු රැස්කර ගැනීමෙහිලා බබක්කාට ඇත්තේ ශූර ඔත්තුකාරියකටත් වඩා දක්ෂතාවකි. තොරතුරු ප්‍රචාරය කිරීමෙහිලා මාධ්‍ය ආයතනයකට ඇති හැකියාව ඈ සතු වුණි.

සිදුවීමට තවම මාසයක්වත් ගතව නැත. පද්මාවතීිට එය හොඳටම මතක ය. එදා ඇති වූ කම්පනය මෙවලෙහිත් ඇයට දැනෙන්නට විය.

ආධාර පත්‍රිකාව බුටින් දෙසට දිගුකරගෙන පද්මාවතී බලාගෙන සිටියේ කඨින පින්කමට සැලකිය යුතු ආධාර මුදලක් ඔහු ලබා දෙතැයි යන බලවත් විශ්වාසයෙනි.

“ගෙදර වැඩක් බලා ගන් පද්මෝ ඔය පිංකම් කරනව කියල සමයන් නොකර.” යි බුටින් කිවේ පද්මාවතීිව පුදුමයට පත් කරවමිනි. පුදුමය පළ කරන පද්මාවතීිගේ පුළුල් දෑස් බුටින් වෙතට යොමු වූයේ මොහොතිනි.

“උඹට ඇහුණෙ නැද්ද මං කිව්ව දේ. ඔය කඩදහිය ළිපට දාල ගෙදර වැඩක් කරගනිං.” අවඥා සහගතව බුටින් කී දෙයින් ඔහුට මොකද්දෝ සිදුව ඇති බව පද්මාවතීට වැටහුණි.

“ඈ බං අයියෙ ගිය පාර කඨිනෙ කරපු උඹ ද මේ? මොකද්ද උඹට මේ වෙච්ච දේ?” පද්මාවතී ඇසුවේ හරි හරියට එකට සම්බන්ධව පින් කරපු අතීතය සිහිපත් කරවමිනි.

“මට මොනව වෙන්න ද බං? මං මේ යසට ඉන්නෙ. මොකුත් නොදන්නා  කාලෙ කරපු ගොන් වැඩ ඒවා. මං උඹටත් කියන්නෙ උඹේ හොඳට. ඕව අතහැරපන් පිං කරාම සංසාරේ දික්වෙනවා.” බුටින් කීවේ ඇඳි පුටුවේ සුව පහසු ලෙස හිඳ ගනිමිනි.

“ඈ.. මොකක්?” යැයි ඇසූ පද්මාවතීිව සිමෙන්ති පොළවේ ඉන්දුනේ යාන්ත්‍රිකව මෙනි. සියොළඟම අප්‍රාණික වෙන බවකි ඇයට දැනෙන්නට වූයේ.

“පිං කරාම සංසාරෙ දික්වෙනවා. මට ඕනේ මේකෙන් ඉක්මනට නිදහස් වෙන්න.” බුටින් ආයෙම කීවේ තිර හඬිනි.

“එතකොට සංසාරෙ දිග්ගැහෙන්නේ තණ්හාව නිසා නෙවෙයි ද?” පද්මාවතී ඇසුවේ ඒ ගැන ඇතිවූ සැකයක් නිසා නොව බුටින්ට කරුණු පහදා දීම පිණිස ය.

“පිනෙන්.”

“අයියට විකාර ද? අමුතුවෙන් දිග්ගැහෙන්න දෙයක් නැහැ. අපි කොහොමත් කෙළවරක් නොදකින සංසාරෙට වැටිලා ඉන්නේ. පිනක් දහමක් කර ගත්තොත් මේකෙන් නිදහස් වෙන්න හිතාගෙන, සංසාරෙ කෙටි වෙයි.”

“උඹ වගේ මෝඩ උපාසක අම්මලාට මේක තේරෙන්නෙ නැහැ.” බුටින් ආයෙම අවඥාවෙන් කීවේ ය. පද්මාවතීිගේ සිත ද මඳක් නොසන්සුන් විය.

“සෝවාන් වත් වෙලා නම් සංසාරෙ කෙටියි කිව්වැකි. මේ තණ්හාවෙන් බරිත වෙලා, පව් ගොඩේ ඉන්න උඹල අපිට හිතන්නවත් පුළුවන් දේවල් ද බං අයියේ උඹ කියන කථා?”

“මං දැන් අලුත් හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවා.”

“ඇයි එයා බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න කෙනෙක් ද?” පද්මාවතී ද ඇසුවේ අවඥාවෙනි.

“හිටපං කියනකං. උන්වහන්සේ ගැන මං හොඳට පැහැදිලා ඉන්නේ. හොඳට තර්කානුකූලව කියල දෙනවා.” බුටින් ගිරයට පුවක් ගෙඩියක්
හිරකරමින් කීවේ ය.

“උඹට වැරදුණේ ම එතන. වැරදුණේ ම එතන. උන්දැලාට නෙවෙයි පහදින්න ඕන ධර්මයට. තේරුම් ගනිං අයියෙ කව්රු හරි කෙනෙක් තෙරුවනට පහදවන්නේ නැතුව තමන්ට පහදව ගන්නවා නම් එතන තියෙන්නේ අමුතු සෙල්ලමක් කියල. ගිහි උනත් පැවිදි උනත් සිවුරු එක නෙමෙයි දෙක තුනක් පෙරෝගෙන හිටියත්….” පද්මාවතී දිගටම කියාගෙන ගියා ය. එය බුටින්ගේ සිත් නොගත්තේ මුත් ඔහු කථා කළේ කෝපයෙන් නොවේ.

“උන්වහන්සේ අළුත් බණක් කියන්නෙ. උඹත් ඇහුවොත් ටක්කෙටම පහදිනවා.” බුටින් පුවක් ගෙඩිය දෙපලු කරමින් කීිවේ තම මතයේ දැඩිව බැස ගනිමිනි.

“බුදු හාමුදුරුවෝ ලෝකෙ තියෙන ඔක්කොම දේවල් අවබෝධ කරල නිවන් දකින්න ඕන ටික විතරක් අඩු නැතුව දේශනා කරලයි තියෙන්නේ. ආයෙ කාටවත් අලුතෙන් වත්, අමුතුවෙන් වත් කියන්න බණක් නැහැ. ඇට්ටේරිය කැලේදී බුදු හාමුදුරුවෝ ඒක කියල තියෙන්නේ. ”

“උඹ ඉතින් පැහිච්ච ගෑනිනේ කොහොමටත්. මේ උඹේ පණ්ඩිතකම් වලින් මට වැඩක් නැහැ. මට පිනුත් එපා. පන්සලත් එපා. හාමුදුරුවන්ටත් කියපන් මට පාංශුකූලෙත් එපා කියල.”

පද්මාවතී සිනාසුණේ බුටින් දෙස යටැසින් බලමිනි. “අනේ මෝඩ මිනිහෝ” වැනි අදහසකි ඈ තුළ ඉපිද තිබුණේ.

“අයිය පව් කරන්න ද හිතාගෙන ඉන්නේ?” යි පද්මාවතී ඇසුවේ ඒ අදහස සිත තුළ සඟවා ගෙන ය.

“පිනුත් නැහැ. පව් කරන්නෙත් නැහැ.”

“ගහක් ගලක් වගේ?”

“එහෙමයි කියල හිතාගනිං.” බුටින් කීිවේ තමාට ජය අත්වෙතැයි යන අදහසිනි.

“අයියෙ ඉතුරු ටිකේ පුළුවන් තරම් බත් වෑංජන කාපං.” යැයි පද්මාවතී කීවා ය. “අර මොකෝ?” බුටින් ඇසුවේ පුවක් කෑල්ලක් කටේ දමාගෙන හපමිනි.

“උඹට ආයෙ ගොඩක් කාලෙකට බත් මාළු කන්න ලැබෙන එකක් නෑ. ඒකයි.”

“පලයන් යන්න උඹේ වැඩක් බලාගෙන.” යි කියූ බුටින් ගිරය අතට ගන්නවා දුටු පද්මාවතී වෙනත් කිසිවක් නොපවසා ම බුටින්ගේ නිවසින් පිට වූවාය.

පිනෙන් සසර දික්වන බැවින් පිං නොකළ යුතුයි යන මිත්‍යා දෘෂ්ටිය වැළදගත් බුටින් දුර්ලභව ලද මිනිස් දිවියෙන් අවාසනාවන්ත ලෙස හදිසියේම සමු ගත්තේ කවුරුත් නොසිතූ පරිදිය.

“මොකද අක්කෙ කල්පනාව?. වැඩේ තියෙන්නේ වසන්තය ගෑනිට හොරෙන් මස් ගෙන්නගෙන කාල තියෙන්නේ.” බබක්කා කීවේ, ඇගේ නැටවෙන දෑස් වඩ වඩාත් නටවමිනි. මෙතරම් රසවත් කථාවක් ඈට හසු වූයේ බොහෝ කාලෙකට පසුව වීම ඊට හේතුවයි.

“තාත්තල පුතාල ඉතින් කොහොමත් මස් වලට කෑදරනෙ. බුටින් ඉස්සරත් සත්තු මරාගෙන කාල තියෙනව. ඔය සිල් ගන්න ගත්තට පස්සේ තමයි ටිකක් නවත්තල තිබුණේ.” බුටින්ගේ පවුලේ විස්තර හොඳින් දන්නා පද්මාවතී කීවේ බබක්කාගේ කථාව නොතකමිනි.

“අක්කෙ අමු මස් කාලා තියෙන්නේ.”

“නෑ…. ඌට පිස්සු ද?”

“පිස්සු නෙවෙයි බං බුටිය මළ යක්ෂයෙක් වෙලා ඉඳල තියෙන්නෙ වසන්තයගේ ඇඟේ. අමු මස් කනව ගෑනි දැකලයි සාස්තරේ බලල තියෙන්නෙ. බලපං මැරිලා මාසයක් නෑ. ආං ඉන්නව යස අගේට කණ්නාඩි දෙකත් දාගෙනම.” බබක්කා කීවේ බුටින් සිටින ආකාරයට වකුටු වී පෙන්වමිනි.

“උඹ තමයි ගෑනි. දැක්ක වගේ කියන හැටි.” යි පද්මාවතී කිවේ බබක්කාගේ හැටි හොඳින් දන්නා නිසාවෙනි.

“දැකල තමයි කියන්නෙ. ඉක්මනට ගියොත් බලාගත්තැකි. බෝතලේ ඇතුළේ හිරකරල ඉන්නෙ. ඇහැට පේන්නෙ නෑ.

ෆෝන් එකේ වීඩියෝ එක දාල බැලුවම බලා ගන්න පුළුවන්.

ගමෙන් භාගයක් අන්න වසන්තලගේ ගෙදර. මං හිටියනෙ ඊයේ රෑ තොයිලෙ කරනකං. ඕං පණිවිඩේ කිව්ව. මේං අපි ගියා.” යි කියූ බබක්කා ආපසු නොබලාම පාර දිගේ ඇවිද ගියා ය.

“සසර.” යි කියවුණු පද්මාවතී දෑතින් ම වැටේ ඉනි දෙකක් අල්ලාගෙන ඈත යන බබක්කා දෙස බලා සිටියේ බබක්කා ද පිනට ගරහන්නියක් බව සිහිකරමිනි.

ඇයට ආයෙම බුටින්ව සිහි විය.

“කිව්වෙ පින් කරන්නෙපා සසර දික්වෙනව කියල. අන්තිමට කුණු මාංසයි, දරුවන්වයි, දේපළයි අතහැර ගන්න බැරුවටම ආව නේද යස අගේට. පව්කාර කම ද, මෝඩකම ද, ඒ දෙකම ද?” පද්මාවතී ඇසුවේ හිස් අහසිනි.

චන්දන එස්. කුමාර