අරුණ උදාව තිබිණ. පෙරදිග අහසේ දිදුලන විචිත්‍රත්වය සොබාදහමට විනා ලොව දක්ෂතම චිත්‍ර ශිල්පියාටවත් සිතුවම් කළ නොහැකි තරම් ය. සමනලයටත් බෑණ සමනලයටත් අතරින් අහසට නගින්නට තතනන හිරු සිය රත් පැහැ කිරණින් සිරිපා පියුම නමදින්නේ එවැනි චමත්කාරයක් පතුරවමිනි.

කෙසේ වෙතත් පහළ අහසේ නම් එවන් සිරියාවක් නොවිණි. සමනොළට පහළින් ඉහළ නගිමින් තිබෙන ඝනකම් වලාකුළත් පහත තවමත් පැතිරී ඇති ඝන මීදුමත් මේ සිරියාව මඳ කලෙකදී ම වසන් කරතියි මට සිතේ.

රැය පුරාවට මෙන් ම මෙවෙලෙහිත් ගලන දොළපාරේ ගීතවත් බව නම් එකලෙසින් ම ඇසේ. කුරුලු හඬක් තවමත් නොඇසෙන්නේ, මේ ප්‍රදේශයේ කුරුල්ලන් අවදිවන්නේ මඳක් ප්‍රමාදව නිසා විය යුතුයැයි මට කිහිපවරක් සිතී ඇත.

මා සිතුවා නිවැරදිය. ඝන වලාව විසින් බබළන හිරු පවා වසා ගන්නේ විය. මට එක්වර ම සිහිවූයේ මගේ නිවැසියන්වය. දෑස් පෙනි පෙනී පවා ඔවුහු අන්ධකාරයේ ගිලී සිටිති.

“උඹ මොකක්ද මේ කැලෑවකට වෙලා කරන්න හදන්නෙ. මේ වගේ තැනක දුක් විඳින්න නෙවෙයි අපි උඹව හැදුවෙ.” මා බලන්නට පැමිණි අම්මා කීවේ ශෝකය මුසුවූ කෝපයෙනි.

“කව්ද කියන්නෙ මං දුක් විඳිනව කියල. දුක සැප, ගෙවල් දොරවල් යාන වාහන කෑම බීම වලින් තීරණය කරන්න පුළුවන්ද අම්මෙ. කොන්ක්‍රීට් යකඩ ගොඩවල්වලින් ඕනෙ නම් මොකක් හරි පහසුවක් ජීවිතේට ඇති කරල දේවි. ඒත් සැප සතුට දෙන්න ඒ දේවල්වලට බැහැ. හිතන්න හිතේ සැනසීමක් නැත්නම් කොයිතරම් සැප මෙට්ටෙක නිදාගන්න ගියත් නිදියන්නවත් පුළුවන්ද කියල.” මම කීවේ අම්මාට සිනාසෙමිනි.

“උඹේ ඔළුව හොඳට ම නරක් වෙලා මට පේන්නෙ.” අප්පච්චී කීවේ සුපුරුදු මාන්නක්කාර හැඟීමෙනි.

“අප්පච්චිල කියන සැප සතුට තුළ තියෙන්නෙ ඇවිස්සීමක් කුලප්පුවක් නොසංසිඳෙන අතෘප්තිකර බවක්. මං ජීවිතේ දකින සැප සතුට ඊට වඩා වෙනස් එකක්.”

මා තුළ ලෝභය දුරුව නොමැත. ද්වේෂය ද නැතුවා නොවේ. තවද මා තුළ මුළාව ද පහව ගොස් නැත. එනමුත් මා තුළ බලවත් ලෙස ඇවිස්සීමක් නැත. ජීවිතය පිළිබඳව දැඩි අඳුරක් නොමැතිව මම කිසියම් අවබෝධයකින් ජීවිතය දකිමි. එහෙයින් දෙමාපියන් පවසන අන්දමේ දුකක් මට නැත. එය අම්මලාට තේරුම් කරදීම මට දුෂ්කරය.

“උඹේ පණ්ඩිත කතාවලින් වැඩක් නැහැ. ගෙදර යන්න ලෑස්ති වෙයන්.” තාත්තා සැරෙන් කීවේය. ලොකු අයියා තුළ නලියන කෝපය ඔහුගේ දෑස් තුළින් දුටුවෙමි. පොඩි අයියා, අම්මා, මාමා තුළ ඇත්තේ ද කෝපය මිස අන් හැඟීමක් නොවේ. එහෙත් ඒ කිසිවෙකු පිළිබඳ මා තුළ උපන්නේ කෝපයක් නොව බලගතු අනුකම්පාවකි. කෙලෙස් සැඩ පහරේ ගසාගෙන යන මිනිස් රූකඩ ලෙසින් ඔවුහු අනවබෝධයෙන් නැටවෙති.

“මම එන්නෙ නැහැ.”

“නැහැ නෙවෙයි යමං.” අප්පච්චි පෙරටත් වඩා සැරෙන් කීවේය.

“මම ඇත්තම කියන්නම් ඔයාල ඔය සැපයි කියන ගිනි ගොඩට ඔයාලත් එක්ක ම පනින්න මට කිසි උවමනාවක් නැහැ, ජීවිත ගිනි අරගෙන තියෙන්නෙ. ඒක ඔයාලට තේරෙන්නෙ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.” මගේ හඬ තරමක් ආවේගාත්මක ද විය. අප්පච්චී තදින් පුටු ඇන්ද මිරිකා ගන්නවා දුටු මම බිම බලාගතිමි.

“මං පොඩි එකෙක් නෙවෙයි ඔයාල කියන විදිහට ම ඉන්න.” සිත දැඩි කරගෙන මා කීවේ සිතේ බිය සඟවා ගනිමිනි. සාමාන්‍යයෙන් අපේ පවුල්වල අය යමක් සිතන්නේ ද කෙසේ හෝ එය කරන්නේය. මට ද ඇත්තේ ඒ පුරුද්දමය. මෙවෙලේ මගේ වාසියට ඇති එකම හයියත් එයම බව මම තේරුම් ගතිමි.

“අප්පච්චිල හදන්නෙ මාව බලෙන් ගෙනියන්න ද? මාව නවත්තගන්න හිර කූඩුවක් හදන්න වෙයි. මෙයාල දෙන්න ම කෙරුවෙ එයාලට ඕන දේවල්. ඇයි මට විතරක්?” මම ඇසුවේ මවාගත් කෝපයෙනි. අයියලා දෙදෙනා ම හමුදාවට බැඳුනේ යුද්ධය දරුණුවටම පැවති කාලයේදීය. ඔවුනට කිසිවෙකුගෙන් ලොකු විරුද්ධත්වයක් නොවුණි.

“මරණය පෙනි පෙනී මේ දෙන්නට යුද්දෙට යන්න දුන්න. විමුක්තියක් හොයාගෙන යන මට ද හැමෝම බාධා කරන්නෙ? මොනවද මගෙන් ඔයාලට ලබාගන්න තියෙන්නෙ?” මම ආයෙම ඇසුවෙමි. එවර නම් මගේ සංයමය තරමක් බිඳුණි.

“අපේ පවුල්වල එවුන් පින් බත් කාල නැහැ.” අප්පච්චී කීවේ අවඥාවෙනි. “පාත්තරයක් අරගෙන පිණ්ඩපාතෙ යන එක ශාපලත් දෙයක් තමයි. ඒත් සංසාරය කියන ශාපයත් එක්ක බැලුවම ඒ ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඒක නිසා මට නම් ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි අප්පච්චි.” යි මම ද කීවේ අප්පච්චිගේ සිතුවිලි රටාව පිළිබඳව උපන් කලකිරීමෙනි. එය අප්පච්චිගේ කෝපය තවත් වැඩි කරන්නට හේතු විය.

“දෙමව්පියන්ගෙ හිත්වලට ගින්දර දීල ද උඹ නිවන් දකින්න හදන්නෙ?” එවිට අප්පච්චී සමඟ අම්මා ද එකතු වූවා ය. “දරුවෝ නිසා ඔය දෙන්නා විඳල තියෙන දුක දන්නව නම් ගෙවුනු සසරේ… ඔය ගින්දර සදහට ම නිවාගන්න නම් ඒකත් කරන්න තියෙන්නෙ මේ ධර්මය තුළින්. මාව උස්සගෙන ගිහින් නෙවෙයි.” කාරණය තේරුණ නිසාදැයි නොදනිමි, පොඩි අයියා පමණක් පුටුවෙන් නැගිට ගියේය.

“උඹ අපිට දැන්ම ම බණ කියන්න පටන් ගත්ත ද? බණ නවත්තල ලොකු උන්නාන්සෙට එන්න කියපන්. අපි මේක එයත් එක්ක බලාගන්නම්.” මේ අවස්ථාව මා අපේක්ෂා කළ එකකි. එහෙත් අප්පච්චිගේ වචන භාවිතය මගේ සිත් නොගත්තේ විය. “අප්පච්චි අනෙක් අයගෙ ගෞරවය රැක්කොත් තමන්ගෙත් ගෞරවය රැකේවි. ඒක නිසා වචන පිට කරද්දි ටිකක් කල්පනාවෙන්.” මා කීවේ පුටුවෙන් නැගී සිටිමිනි.

“අපි කොහොමත් වැදගත් විදිහට තමයි ජීවත්වුණේ. උඹ තමයි ඒක නැති කරන්න හදන්නෙ මේ සිවුරක් දාගෙන.” යි අප්පච්චී ද පෙරළා කීවේය.

“තමන්ගෙ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්න බැරුව දෙවියන් බඹුන් පවා වඳින පුදන පැවිද්දට ඔය විදියට ගරහන්න එපා. ආයෙ ඉතිං බුද්ධ ශාසනයක් නම් මුණ ගැහෙනව බොරු, දුකෙන් නිදහස් වෙන එක කොහොම වෙතත්.” “උඹයි අපිට පව් පුරවන්නෙ.” අප්පච්චි කීවේ දැඩි ස්වරයෙනි.

“මම නෙවෙයි ඔයාලගෙ මෝඩකමයි අප්පච්චිලට පව් පුරවන්නෙ.”යි කියූ මම නායක ස්වාමීන් වහන්සේව කැඳවාගෙන පැමිණියේ සිතේ චකිතයෙන් යුතුවය. අහංකාරකමත් මෝඩකමත් අප්පච්චි උපතින් ම ගෙන ආ දෙයකි.

“ඔබ වහන්සෙ තමයි මේ ඔක්කොම කෙරුවෙ. මෙයා මේ සංගීත පස්සෙ දුව දුව නටපු කෙනා. දැන් මේ කැලෑවක ලෑලි මඩුවකට වෙලා භාවනා කරනව. එක්කො ගුරුකමක් කළා නැත්නම් වෙන මායමක් දැම්ම.” යි මා සිතූ ලෙසින් ම අප්පච්චි නායක ස්වාමීන් වහන්සේගේ මූණට ම කීවේ ය. මා පත්වූයේ බලවත් . අපහසුතාවයකට වුවද වුව උන්වහන්සේ වෙතින් එවැන්නක් ප්‍රකට නොවිණි.

“මං කරපු ගුරුකමක් හරි මායාවක් හරි නෙමෙයි මහත්තය, ඒක තමයි මේ ධර්මයෙ ආශ්චර්යය. බුද්ධ කාලෙත් එක්ක බැලුවම මේ මොනවද මහත්තය.” අප්පච්චී බිම බලාගත්තේ ලැජ්ජාවට ද කෝපයට දැයි මම නොදනිමි. එහෙත් එය මගේ සැනසිල්ලට හේතු විය.

“මම මෙයාව නවත්තන්නෙ නැහැ. සංජය පුතාව මෙතන නවත්වල තියෙන්නෙ ධර්මය විසින්. එයාගෙ පින විසින්. මෙතනදි මට කරන්න පුළුවන් දෙයක් නැහැ. එච්චරයි.”

“අපිට අපේ දරුවව දෙන්න.” අම්මා කීවේ ශෝකයෙනි.

“මං තියාගෙන නැහැ අරගෙන යන්න.” නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ සැහැල්ලුවෙනි. එය පැවසූ ආකාරයට සිදු නොවන දෙයක් බව කාටත් වැටහෙන්නට ඇත. එනිසා මසිත ද බියක් උපන්නේ නැත.

“අපි කොහොමත් මෙයාට පැවිදි වෙන්න දෙන්නෙ නැහැ.” ලොකු අයියා කීවේ දැඩි ස්වරයෙනි. හමුදාවේ අණදෙන නිලධාරී ගතිය ඔහු තුළ විය.

“ඒක අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මහත්තයා. පින විසින් තීරණය වෙන දෙයක්. සංජය පුතාගෙ පින බලවත් නම් එයාට පැවිද්ද මඟ- හැරෙන එකක් නැහැ. එයාගෙ පිනත් එක්ක අපිට හැප්පෙන්න පුළුවන්ද?”

“ඔබ වහන්සේට පුළුවන් මෙයාට යන්න කියන්න.” ලොකු අයියා වෙනුවට මෙවර ඉදිරිපත් වූයේ මාමා ය.

“මේ මහත්තය කවුද?”

“මං සංජයගෙ මාමා.”

“බෑණට යහපතක් වෙනවට මාමා අකමැති මොකද?” යි නායක ස්වාමීන් වහන්සේ ඇසුවේ මම කාරණය කලින්ම පවසා තිබූ නිසාවෙනි.

“ශාස්තෘන් වහන්සේ ශාසනය පිහිටෙව්වෙ පිළිසරණක් හොයාගෙන එන පින්වන්තයින්ට පිහිටක් වෙන්න මිසක ඒ අයව අසරණ කරන්න නොවෙයි. බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට මට ඒ වගේ වචන කියන්න බැහැ.” නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ මාමාට නොව අප්පච්චීටය. මාමාගේ මූණ අඳුරුවෙනු මම දුටිමි.

“මෙයාට විතරයි මේ පිස්සු ඔක්කොම. ඔය අනිත් දෙන්න යස අගේට කාල බීල ඉන්නෙ.” අම්මා කුස අතගාමින් කීවේ නොකියූ යමක් හඟවමිනි. නායක ස්වාමීන් වහන්සේ දුන් පිළිතුරට මට පුදුම සිතුණි.

“පෙරුම්පුරාගෙන ආපු සංසාරේ ම බෝසතාණන් ජීවිත කැපකරපු යශෝදරා උත්තමාවියයි, සංසාරෙ ම වෛර කරගෙන ආපු දේවදත්තයි දෙන්නම, අපේ බෝසතාණන් වහන්සේ බුදුවෙන ආත්මෙදි උපන්නෙ එක අම්මගෙ කුසේ නේද නෝන?” එවර අම්මා බිම බලාගත්තේ ලැජ්ජාවෙනි. ලොකු අයියා දෙස බැලීම පවා බිය ජනක විය. ඔහු කේන්තිය වැඩිකමට යටිතොල සපාගන්නවා මම දුටිමි.

“අපි මෙයාට පැවිදි වෙන්න අවසරය දෙන්නෙ නැත්නම්…?” අප්පච්චි සිය අවසන් අවිය ඉදිරියට ගනිමින් කීවේ ය.

“ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මහත්තය.” යි පැවසූ නායක ස්වාමීන් වහන්සේ අසුනින් නැගී සිට අප වෙතින් බැහැරට වැඩියේය.

“උඹට ඇහුණ ද මං කියපු දේ?” අප්පච්චී මගෙන් ඇසුවේ අවඥාවෙනි. මසිත පෑරුණ ද මම සන්සුන් වන්නට උත්සාහ ගතිමි. කවදාවත් අම්මලා වෙතින් කැමැත්ත ලැබේයැයි විශ්වාසයක් ද මට නැත. ඒ තරමින් ම මේ අවස්ථාව මඟ හැර ගැනීමේ හෝ අත්හැරීමේ හෝ සිතක් ද මට නැත.

“මම ඔයාලට මොකුත් කියන්නෙ නැහැ. ඇලීම් බැඳීම්වලින් පිරිච්ච සසරේ දෝෂයක් මේක.” මම කීවේ පොඩි අයියාට ය. මේ කාරණයේදී යම් තරමක හෝ සහනයක් ලැබන්නේ නම් ඒ පොඩි අයියාගෙන් පමණකි.

“උඹ වෙන ආත්මෙකදි නිවන් දැකපන්. මේ ආත්මෙදි නෙවෙයි. උඹව මිනිහෙක් කරන්න අපි ලොකු වෙහෙසක් ගත්ත.” අප්පච්චී කීවේ නපුරු ලෙසිනි. මට ජීවිතය පිළිබඳ මෙතෙක් නොදැනුන පිළිකුලකි දැනුනේ.

“ඔයාලගෙ ණය ගෙවල ඉවර කළත් ඉතිං ධර්මය තුළින් ම තමයි. වෙන ක්‍රමයක් නැහැ.” මම කීවේ ශෝකයෙනි.

“උඹ විනාශ වුණා. උඹ අපිට මැරුණා.” කාරණය නොතේරුණ අම්මා කීවේ ආවේගයෙනි.

“මම විනාශ වුණේ නැහැ. අම්මලට මාව මැරුණ නම් අමතක කරල දාන්න. එහෙම හරි හිතල කමක් නැහැ, මාව සසරට ඇදල දාන්න හදන එක නවත්තගන්න. ඒක අම්මලටත් යහපතක්. තමන්ගෙ දරුවො කියල නැහැ අම්මෙ, කෙනෙකුගෙ විමුක්තියට බාධා කරන එක ලොකු පාපයක්.”

“උඹ අපි ගැන හිතන්නෙ ම නැද්ද?” තරහ වැඩිකමට දෝ අම්මා ශෝකයක් නොපෙන්වා ඇසුවාය. පොඩි අයියා ද පැමිණ ආයෙම පුටුවේ හිඳගත්තේමුත් මාමා පෙනෙන මානයක නොවීය.

“මට මේ අවස්ථාව මඟහැර ගන්න බැහැ. කල්ප කෝටි ගණනකටවත් ආයෙ බුද්ධ ශාසනයක් මුණගැහෙයිද කියල කවුද දන්නෙ. මුණ ගැහුණාම කියමුකො. එදාටත් මට අම්මෙක් තාත්තෙක් ඉන්නව. සහෝදරයො ඉඳීවි. අද කරන්න තියෙන දේම තමයි එදාට කරන්න තියෙන්නෙත්. ඒක නිසා මං මේ අවස්ථාව මඟ හරින්නෙ නැහැ. මං වැඳල කියන්නම්. ඔයාලත් ඔය පුහු අදහස් අත්හැරල සුගතියකටවත් පැනගන්න උත්සාහ කරන්න. දුකක් නෙවෙයිද මේ මනුස්ස ලෝකෙ ඉපදිලත් විඳින්නෙ? සතර අපායෙ වැටුනොත්… මේ සසර ගමන තේරුම් ගන්න. තමන් ඉදිරියෙ තියෙන අනතුර තේරුම් ගන්න.” මම එක දිගට කියාගෙන ගියෙමි. කිසිවෙකු මා සමග එකඟ වූ බවක් නොපෙණිනි. පොඩි අයියා පමණක් කල්පනා කරනවා මම දිටිමි. ඔහු කතා නොකරන නිසා ඔහුගේ අදහස මට තේරුම් ගැනීම අපහසු විය.

“උඹ නිවන් දැකපන් අපි අපායෙ යනව. එහෙ යන්නත් කවුරු හරි ඉන්න එපැයි.” අප්පච්චී පැවසුවේ කෝපයෙන් පමණක් නොවේ. පුරුදු මාන්නය ද සමඟිනි.

“කටේ හයිය තියෙන කාලෙ ඔහොම කිව්වට ඔය කොයි කවුරුත් මරණය අත ළඟට ආවම පණ බයයි. ඇත්තට ම ඔය වගේ කයිය ගහන අය තමයි වැඩිය ම බය. මං ඒක හොඳට ම දැකල තියෙන දෙයක්.

“උඹට මොකුත් ඉතුරු කරන්නෙ නැහැ. කවදහරි උඹ ගෙදර ආවොත් පාරෙ තමයි.” අප්පච්චී පසු නොබැස ම කීවේ ය. ඔහු එසේ කරන බව ද මට හොඳට ම විශ්වාසය. මට ඒ පිළිබඳව නම් අල්පමාත්‍ර හෝ දුකක් නැත. ඒ ගේදොර ඉඩකඩම් පිළිබඳව මා තුළ අපේක්ෂාවක් නැති නිසාය.

“කිසිදෙයක් ගැන බලාපොරොත්තු මට නැහැ. ඔය පස් ගොඩවල් යකඩ ගොඩවල් නිසා මං මේ අවස්ථාවෙදි වැරදි තීරණයක් අරගෙන සසර ම වරද්දගන්න සූදානම් නැහැ.” යි මම කීවෙමි.

“උඹෙන් විතරයි සැනසීමක් ඉතුරුවෙලා තිබුණෙ. ඒකත් නැති වුණා.” අම්මා කීවේ ශෝකයෙනි. අම්මලාට උවමනාව පැවතියේ මාව දොස්තර කෙනෙකු කොට රටට ලෝකෙට පෙනෙන්නට ජයට මඟුලක් ගන්නට ය. අයියලා දෙදෙනා ම රැකියාව සේම විවාහයන් ද කර ගත්තේ හිතුමනාපයට නොගැළපෙන තැන්වලින් යන්න ය අම්මලාගේ අදහස.

“හරි, අම්මල කියන විදිහට මම කරන්න ඕන කසාද බැඳල දරුවො හදන එකනෙ. ඉතිං අද අම්මල විඳින දුක නේද මට හෙට විඳින්න ය කියල කියන්නෙ? ඔය ජීවිතේ දෙපැත්ත පත්තුවෙන පන්දමක් වගේ කියල තේරෙන්නෙ නැද්ද? දරුවෝ නිසා මෙලොවත් දුක. පරලොවත් දුක.”

“අප්පච්චි මහ ගේ උඹට ඉතුරු කෙරුව. පැන්ෂන් නොගියෙ උඹ දොස්තර කෙනෙක් වෙද්දි වාහනයක් අරන් දෙන්න. මේ හැම දෙයක් ම කරන්නෙ උඹ වෙනුවෙන්.” අම්මා කීවේ චෝදනාත්මකව ය. මම සිනා නොවී සිටියේ අසීරුවෙනි. එක අතකට ඔවුන්ගේ ලෝකය යනු ඒවා ය. එහි පුදුමයක් නැත.

“උපන් හැම ජීවිතේක ම මට ගෙවල් දොරවල් තියෙන්නැති අම්මෙ. සතෙක් උනත් මොකක් හරි ගුලකට හරි රිංගන්න ඇත. කුරුල්ලෙක් උනත් බෙණයක හරි ඉන්න ඇති. ඒත් මට හැමදාම බුද්ධ ශාසනයක්, ධර්මයක් හම්බවුණේ නැහැ. මේ සමහර විට සංසාරෙ පළවෙනි වතාව වෙන්නැති. හැමදාම ලැබෙන දේවල් නිසා දුර්ලභව ලැබෙන වටිනාම දේ අතහැර ගන්න මට බැහැ. ආයෙ ආයෙමත් මං කියන්නෙ ඒක තමයි.” මෙවර අම්මා හඬන්නට වූවාය. මම එය ගණනකට නොගතිමි.

“මදැයි අපි ලෝකෙට කිය කිය හිටිය දොස්තර පුතා කියල.” අම්මා කීවේ ය. මසිත ඔවුන් පිළිබඳ උපන්නේ බලවත් අනුකම්පාවකි.

“මං දොස්තර කෙනෙක් වෙලා සල්ලි බාගෙ හොයයි. අනුන්ගෙ ලෙඩත් සනීප කරයි. ඒත් මගේ සංසාරෙ ලෙඩෙත් එක්කමයි මට මැරෙන්න වෙන්නෙ. විසඳුම් නැතුව.”

“මල්ලි හිතනව ද නිවන් දකින්න පුළුවන් කියල?” පොඩි අයියා පළමුවරට කතා කළේය.

“මං කියන්නෙ මේ දුර්ලභව ධර්මය මුණගැහුන ජීවිතේදි ගෙවල් දොරවල්, දරුවෝ, රස්සාව මත්තෙම ජීවිත දිය නොකර පිළිසරණක් හදා ගන්න කියල.” මම අයියාට කීවේ ආදරයෙනි”…“පොඩි අයිය අහපුදේට උත්තර දෙනව.” ලොකු අයියා කීවේ අමනාපයෙනි.

“මිනිස්සු සමනොළ නගින්නෙ ඇඟේ හයියට වඩා හිතේ හයියට. ඒ අය දන්නව අමාරුවෙන් හරි නැග ගත්තොත් සිරීපාදෙ වැඳගන්න පුළුවන් කියල. වේගෙන් ගලන සැඩ පහරෙ කෙනෙක් ගහගෙන යද්දි උඩහට පීනගන්න බැරිම නම් මොකක් හරි හයිය තියෙන වැලක එල්ලුනොත් අඩු ගණනේ ඒ කෙනාට පහළට ගහගෙන යන එක හරි නවත්තගන්න පුළුවන් නේද?”

“ඇත්තට ම ඔයා මේ හැම දෙයක් ම අත්හරින්නෙ ඒ වෙනුවෙන් ම ද?” සාවධානව අසා සිටි පොඩි අයියා ඇසුවේය. ඉන් මසිතට කිසියම් සතුටක් ඉපදිණ.

“ඇත්තෙන් ම ඔව්. පෘථග්ජන ලෝකය නිර්මාණය කරපු මොන යම් හෝ දෙයක් වේවා ඒ හැමදේකින්ම කරන්නෙ සසර හදන එකයි. ශාස්තෘන් වහන්සේගේ ධර්මයෙන් විතරයි මේ දුක්ඛිත සසර ගමන නවත්වන්නෙ. ඔයාල ඔක්කොටෝම මං මේ ආයෙත් කියන්නෙ ගංගා නම් ගඟේ වැලි කැට ගාණටත් වඩා අතීතයට ගිය කල්ප ගණනක සසර ගමනේදී අපට පිළිසරණක් හදාගන්න බැරිවුණා තමයි. ඒත් මේ ගෞතම බුද්ධ ශාසනයෙදි පිළිසරණක් හදාගන්න අපිට තවමත් පුළුවන්.” ඔවුන් එකඟවී දැයි මම නොදනිමි. නමුත් මා පැවසුවේ සත්‍යයක් බව මම දනිමි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.