ප්‍රශ්න… ප්‍රශ්න… ප්‍රශ්න… එකක් ඉවර වෙන්නත් කලින් තව එකක්… හරියට මහමුහුදෙ රළ වගෙයි. ලොකුවටත්, පොඩිවටත් කොහොමහරි කෙළවරක් නැති ප්‍රශ්න කන්දරාවක් ජීවිතේට එළඹෙනවා. ඒ සමහර ප්‍රශ්න තියෙනවා, ඒවාට පුළුවන් කෙනෙකුගේ ජීවිතේ සහමුලින්ම කණපිට හරවන්න… යහමින් ජීවත් වුණ මිනිස්සුන්ව නීච බවට පත් කරවන්න… ජීවිතේට ප්‍රශ්න ඇති වෙන එකට කවුරුවත් කැමති නොවුණට මොනයම් හෝ ප්‍රශ්නයක් ජීවිතය කරා එනවා ම යි.

ප්‍රශ්නවලට බාල මහලු භේදයක් නැහැ. ගිහි පැවිදි භේදයක් නැහැ. උගත් නූගත් භේදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. යම් කෙනෙකුට අංශුමාත්‍ර බලපෑමක්වත් ඇති නොකරන දෙයක් තව කෙනෙකුගේ ජීවිතය එහෙම පිටින් ම වෙනස් කරන්න තරම් බරපතළ ප්‍රශ්නයක් බවට පත් වීම එක අතකින් පුදුම සහගත යි. ඒ විතරක් ද! කෙනෙකුව දවන තවන හඬවන රිදවන මාරාන්තික වේදනා පමුණුවන දෙයක් තව කෙනෙක් සිනහ මුහුණින්, සතුටින් සිහි කරන කාරණයක් වීම අතිශයින් ම පුදුම සහගත යි.

ඔබේ ජීවිතයට බරපතළ අර්බුදයක් එළඹුන අවස්ථාවක් සිහි කරන්න. හැඬූ මුහුණින් යුතුව, ගිනියම් සිතකින් යුතුව ඒ ප්‍රශ්නයෙන් ඔබ මොනතරම් විඳවන්න ඇති ද? හිත හැදෙන වචනයක් ඇහෙන්නේ නැතිව, හිත හැදෙන බැල්මක් ලැබෙන්නේ නැතිව, සිහිය උපදවන ධර්මයක් මුණගැසෙන්නේත් නැතිව බොහෝ පීඩා මධ්‍යයේ ඒ අර්බුදකාරී කාලය ගෙවී යද්දී ඒ අර්බුදයට මුල් වුණු යම් යම් පුද්ගලයන් සතුටින් සිටිනවා ඔබ දකින්නට ඇති. ‘මං මෙච්චර ගින්දරක ඉද්දි එයාලා සතුටින් ඉන්න හැටි’ කියලා ඔබට හිතෙන්නත් ඇති. අපි කාගෙත් ජීවිතවල එවැනි අවස්ථා තිබෙනවා.

හැබැයි… කඳුළු පිරුණු මුහුණින් යුතුව විඳව විඳවා අපට ගෙවන්නට සිදු වුණ යම් කර්ම විපාකයක් ඒ අර්බුදයට හේතු වන්නට ඇති කියන කාරණය අපට සිහි වන්නේ ම නැති තරම්. ඒ විතරක් නෙමෙයි, අර්බුදය උපන්නේ කර්ම විපාකයක් ලෙස නම්…, එයට හේතුපාදක වුණ කර්මය අප රැස් කළේ සිනහ පිරුණු මුහුණින් කියන එක අපට විශ්වාස කරන්නටත් අමාරු ඇත්තක්. ඒක තමයි ලොකුම පුදුමය. අද අප විඳව විඳවා තැවෙන ස්වභාවයන් උපදවා දුන් කර්මයන් අප සසරේ දී රැස් කළේ සිනහ පිරුණු මුහුණින්. විපාක පිණිස කර්ම සකස් වීමට යි භවය කියා කියන්නේ. කාම භවයේ වේවා, රූප භවයේ වේවා, අරූප භවයේ වේවා ලබන උපතක් තුළ ඒ ඒ කර්ම විපාක දීමයි සිදු වන්නේ…

ඉතින්… අද අපට පීඩා උපදවන කාරණයකට මූලික වෙලා සිනහවෙන් පිරීගෙන සිටින අය දකිද්දී පෙර කර්මයක විපාක විඳින අප ගැනත්, දුක් විපාක උපදවන අලුත් කර්මයක් රැස් කරන ඔවුන් ගැනත් දොම්නසට හෝ ද්වේෂයට පත් වනවාට වඩා මැදහත්ව කර්ම – කර්ම ඵල ස්වභාවය සිහි කරන එකයි බුද්ධ ශ්‍රාවකයෙකුට කිරීමට සුදුසු ම දේ…

අනන්ත සසරේ අප රැස් කළ කර්මයන්ගේ ස්වභාවය අප කිසිවෙක් දන්නේ නැහැ. මේ ජීවිතයේ දී කාටවත් වරදක් නොකර, දැහැමි ජීවිතයක් ගත කරමින් සිටිනවා වුණත් පෙර සසරේ අප අතින්, අපගේ සිත කය වචනයෙන් මොනතරම් නම් අඩුපාඩු සිදු වන්නට ඇති ද? සම්බුද්ධ ශාසනයක් මුණගැසීත් මේ ජීවිතයේ පවා සිත කය වචනය දොස් රහිතව පවත්වා ගැනීම අතිශයින් වැරවෑයමින් කළ යුත්තක්ව තිබෙනවා. සසරේ අපට බුද්ධ ශාසන මුණගැසුණේ ඉතාමත්ම කලාතුරකින්. බොහෝ විට බුද්ධශූන්‍ය යුගයන් තුළයි. අප ජීවත් වුණේ. සුගතියේ උපතක් අපට ලැබුණේ ද කලාතුරකින්. සතර අපාය මහගෙදර කරගෙනයි අප ජීවත් වුණේ. ඉතින්, අප අතින් වැඩි වශයෙන් සැප විපාක උපදවන පුණ්‍යකර්ම රැස් වන්නට ඇති කියා සිතන්නට අවකාශයක් නැහැ…හඬ හඬා විඳවන කර්ම විපාකයන්ගේ මුල ගැන සිතන්න. මේ විඳවන විඳවිල්ලේ මුල සිටින්නේ අප ම යි. අප විසින් ම යි එය පෝෂණය කරන ලද්දේ…

අපගේ මහ බෝසතාණන් වහන්සේ පාරමී පූරණය කරමින් පැමිණි ගමනේ දනට ම නැමුණු සිතින් යුතුව ගෙවූ වෙස්සන්තර අත්භවයේ දී ඒ මහා පින් ඇති වෙස්සන්තර රජුට දාව මන්ද්‍රී දේවියට උපන් දියණිය වූයේ කණ්හජිනා. වංකගිරිය අරණේ තපසට ගිය වෙස්සන්තර රජු කරා එළඹි ජූජක බමුණා සිඟිති ජාලී කුමරුටත්, කණ්හජිනා කුමරියටත් තල තලා වරපටින් බැඳ ගෙන යනු දකිද්දී බෝසතාණන් වහන්සේගේ දෙනෙතින් ලේ වැටුණු බව වෙස්සන්තර ජාතකයේ දැක්වෙනවා. සොහොයුරු ජාලී කුමරු සිඟිති කණ්හජිනාවගේ පිටට වදිනා කෝටු පහර වළකමිනතම පිට පෑ බවත් එහි දැක්වෙනවා. මන්ද්‍රී දේවිය ඔවුන් රැකබලා ගත්තේ දිනකට තුන්වරක් නහවා, කවා පොවා සතපවමිනුයි. ඒ සා මාපිය සෙනෙහස ලබමින්, සොහොයුරු සෙනෙහස ලබමින් බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව මුදුන් පමුණුවන්නට උපකාරක වූ කණ්හජිනා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයේ දඹදිව උපන්නා.

වෙළෙඳ පුත්‍රයෙකු හා පතිකුලයට පිවිස ගැබ්බරව සිටිය දී, නැන්දම්මාගේ තාඩනපීඩන උසුලාගත නොහැකිව නිවසින් පැන ගිය ඇයට අතරමග උපන් දරුවා වෙනෙකෙකු විසින් ගෙන යනු ලැබුවා. සොරදෙටුවෙකුට බිරිඳ වන්නට ඇයට සිදු වුණා. ඒ සොරදෙටුවාට දාව උපන් දියණිය හා තමන්ගේ ම පෙර විවාහයේ පුතුට සම බිරිඳ ව වසන්නට ද සිදු වුණා. මේ සියලු ඛේදනීය සිදුවීම් අවසන කලකිරීමෙන් යුතුව පැවිද්ද සොයා ආ පසු සල්ලාලයෙකුගේ කාමාශාවට ද ගොදුරු වන්නට ඇයට සිදු වුණා. ස්ත්‍රියක විසින් විඳින ලද මහා දුක් රැසෙක ඉරණම්කාරියක වූ ඈ ගෞතම සම්බුදු සසුනේ ඍද්ධිබලලාභී භික්ෂුණීන් අතර අග තනතුර ලබනා පුණ්‍ය සම්පතින් පිරී ගත් පින්වන්තිය යි. උත්පලවණ්ණාව යි… එහෙත්, ඇය කරාත් ඒ සා දුක්ඛ පීඩාවන් පැමිණියා… නිවන් දක්නා ජීවිතයේ දී පවා ඇය ඉසිලූ දුක්ඛ පීඩාවන් අපමණයි.

සැබෑවට ම අහිංසක ජීවිතයක් ගෙවපු අහිංසකට කඩුවක් අතට ගෙන මිනිසුන් මරා දමමින් සාපරාධී ඝාතකයෙකු බවට පත් වන්නට සිදු වුණා. අහිංසක හිත ගුරුවරයාගේ වචනයට පිටු නොපානා බවින් මැඩලා ගුරු පූජා පිණිස මිනිස් ඝාතකයෙක් වන්නට ඔහුට සිදු වුණේ ඊර්ෂ්‍යාකාර යහළුවන්ගේ කේළාම් බස් අසා ගුරුවරයා ඔහුව සැක කළ නිසයි. කුස ඔත් දරුවන්ගේත්, ගැබිණි මවුවරුන්ගේත් දිවි සුරකින සත්‍යානුභාවයක් කල්පයක් පුරා පිහිටවූ මුනිවරයාණන් වහන්සේ බවට පත් වෙමින් නිවනින් නිවී සැනසීම පිණිස පිරි පුණ්‍ය සම්පතින් ආඪ්‍යව මනුලොවට පැමිණි අවසන් ජීවිතයේ දී යි අහිසංක ඒ විපතට ඇද වැටුණේ…

සම්බුදුරජාණන් වහන්සේ විසින් පසසනු ලබන ගුණ දරාගෙන සම්බුදු සසුන ශෝභමාන කරන ගුණයෙන් යුතුව උපන් සෝපාකයන් සත් හැවිරිදි ව සිටිය දී සුළුපියා විසින් කළුවර රැයක දී අමු සොහොනේ මළ මිනියකට තබා ගැටගසනු ලැබුණා…

මහා බ්‍රහ්මයා විසින් ද සිරිපා වන්දනා කරනු ලබන පුණ්‍ය තේජසින් යුතු වූ සුනීතයන් අසූචි කඳ කරේ තබාගෙන කුලීනයන්ගේ අසූචි බැහැර කරලන වසල කුලයේ ඉපිද අසූචි ඇදීම ජීවිකාව කොටගෙන සිටියා… ස්වාමියා මළ, දරුවන් මළ, මාපියන් මළ, සොහොයුරන් මළ සියදහස් ගණන් ස්ත්‍රීන්ගේ ශෝක හුල් උදුරාලනු දමන ධර්මකාය දරාගෙන වැඩසිටිය පටාචාරා රහත් උත්තමාව ගිහි ජීවිතයේ සිටිය දී ස්වාමියා මළ, දරුවන් මළ, මාපියන් මළ, සොහොයුරා මළ ශෝකයෙන් සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණේ උමතුවෙන්, ඇඟේ නූල්පටක්වත් නැතිව නිරුවතින්…

කිසාගෝතමිය ප්‍රාණ සම වූ එක ම පුතු මිය ගිය විට ඔහුට පණ දෙන්නට ගෙයක් ගෙයක් පාසා කිසිවෙකු නොමළ ගෙයකින් ලබන අබ මිටක් සොයමින් හිස හැරුණු අතේ ඇවිද ගොස් අවසනයි ජීවිතාවබෝධය උපදවන ධර්මයේ සරණ ලැබූයේ…

සම්බුදු සසුනක සම්මුඛී ශ්‍රාවකයන් ව නිවනින් සැනසෙන්නට ඒ උත්තම උත්තමාවන්ට තිබුණු පින කොහොම නම් පමණ කරන්න ද…! එසේ වීත්, ඔවුන්ගේ ජීවිත වෙත පවා අප්‍රමාණ වෙහෙස, පීඩා, කරදර, ප්‍රශ්න එළඹුණේ නැති ද? විපාක දෙන්නට ඉඩ ලැබෙන විට නිවන් දක්නා ජාතියේ දී වේවා කර්මය විපාක උපදවනවා. ඒ උත්තමයන්ටත්, අපටත් ඒ කර්ම-කර්ම ඵල ස්වභාවය පොදුයි. මේ ජීවිතයේදීමත්, ආසන්න ජීවිතවලත්, නිවන් දකිනා තුරුමත් වශයෙන් කර්මයන් විපාක දෙන ස්වභාවයන්ගේ වෙනස්කම් තිබෙනවා. ඉතින්, අනවරාග්‍ර සසරේ සැරිසරා යන සත්වයන්ට ප්‍රශ්න නැතිව සිටීමක් අපේක්ෂා කළ නොහැකියි…

ඒ නිසා, ජීවිතය කරා නොයෙකුත් ප්‍රශ්න එද්දි එය කර්ම විපාකයක් විය හැකියි කියන දේ සිහි කරන්න. සෑම දෙය ම කර්මයට බාර දී ඔහේ බලා සිටිය යුතුයි කියා එයින් අදහස් කෙරෙන්නේ නෑ. ප්‍රශ්නවලට පිළියම් යෙදිය යුතුයි. ඖෂධ වලින්, මන්ත්‍රයෙන්, සුභාෂිතයෙන්, දානයෙන් ආදී වශයෙන් පිළියම් යෙදීමෙන් ඇතැම් ප්‍රශ්න සන්සිඳෙන බව සෝකසල්ලහරණ සූත්‍රයේ දී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. අප ඒ ඒ පිළියම් යෙදීමට උත්සාහ කළ යුතුයි. ඒ කිසිවකිනුත් නොවිසඳෙන අර්බුදයන්හි දී ‘කර්මය දැඩියි, කුමක් කරන්න ද?’ කියා සිත උපේක්ෂාවට පත් කර ගත යුතු බවයි සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ.

කර්මය විසිනුයි අපගේ උප්පත්ති ස්ථානය තීරණය කරනු ලැබුවේ. අප විඳව විඳවා ගෙවන මේ ජීවිතය ද කර්මයේ නිර්මාණයක්.

“කායෝ පුරාණ කම්මං, අභිසංඛතෝ අභිසංචේතයිතෝ වේදනීයෝ දට්ඨබ්බෝ…”

“පින්වත් මහණෙනි, මේ කය යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැන ගත යුතු දෙයක්.”

(කම්ම සූත්‍රය – සං. නි. 4)

ඇස කන නාසය දිව කය මනස යන මේ සියල්ල පැරණි කර්මයන්. අනන්ත සසරේ ගෙවා දමන ලද අතීත ජීවිතයන්හි දී අප විසින් චේතනා මෙහෙයවා සිදු කරන ලද කර්මයන්ට අනුව ම යි මේ ආයතනයන් සකස් වී තිබෙන්නේ. අල්ප ආස්වාදයක් ඇති, බොහෝ ආදීනව ඇති කාමයන් අපට පරිභෝජනය කරන්නට සිදු වී තිබෙන්නේ එසේ විඳව විඳවා සිටීමට සකස් වී ඇති ආයතනයන් ඔස්සේ යි. ඉතින්… ප්‍රශ්න නෑවිත් ගෙවෙන ජීවිත කොහෙන් හොයන්න ද…

ඒ නිසා, ප්‍රශ්න හමුවේ කම්පා වන්නට එපා. සසරේ වපුරපු දෙය යි අප අස්වැන්න විදිහට නෙළා ගන්නේ. ඒ සා සියුම් කර්ම විෂය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදහළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම ආශ්චර්යයි. ඒ ශාස්තෘන් වහන්සේ ව ආදරයෙන් සරණ යමු. කර්ම ක්ෂය කරවන ප්‍රතිපදාව වූ ධර්ම රත්නයත්, ඒ දහම් මඟ පිවිස කර්ම ක්ෂය කොට පහන් සිළු සේ නිවී ගිය මහරහත් මුනි පරපුර මුදුන් කොට ගත් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයත් ආදරයෙන් සරණ යමු. සසර දුකින් නිදහස් වන්නට ඒ තිසරණ සරණය හැර අන් සරණක් අප කාටවත් නැහැ…!

සටහන – උදුලා පද්මාවතී.