මේ කාලය වනවිට මුළු ලෝකයේ ම දරුවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අසීරු කාලපරිච්ඡේදයකට යි. දරුවන්ට නිවස තුළ සිරවී සිටීමට මෙන් ම අන්තර්ජාලයේ නිතර සැරිසැරීමට ද සිදුව තිබෙනවා. බොහෝ දරුවන්ට එය මානසික පීඩාවක්. මෙවැනි වාතාවරණයක් තුළ දරුවන්ගේ කායික සහ මානසික සමබරතාවය රැක ගනිමින් යහපත් පුරවැසියකු සමාජයට දායාද කිරීමේ දී මවගේ යුතුකම කෙබඳුද?

මේ පිළිබඳව අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

—-

“පින්වත් මෑණියන් වහන්ස, මිනිසාගේ පරම වස්තුව දරුවන් බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එම දරුවන් යහපත් සමාජ සාමාජිකයන් ලෙස අනාගතයට හැඩගැස්වීමෙහිලා මවට පැවරෙන වගකීම කෙබඳු ද?”

“භාග්‍යවතුන් වහන්සේ වදාළා දරුවෙකුගේ පූර්ව ආචාර්යන් වන්නේ මව්පියෝ බව. මුලින් ම දරුවාට හොඳ නරක කියා දෙන්නේ ඔවුන්. ඒ නිසා මව්පියන් දරුවාව අයහපතෙන් වළක්වා යහපතේ යොදවන්නට නිරන්තරයෙන් ම උත්සහ කරනවා. ඕනෑම මවක්, පියෙක් කැමැතියි තමන්ගේ දරුවා සමාජයට බරක් නොවී හොඳ ගුණයහපත් දරුවෙක් වෙනවා දකින්න. එහි දී, පවුලේ මවයි වැඩිපුරම දරුවා සමඟ රැඳෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේදීත් දරුවෙකු නොමඟ ගියහොත් මවට තමයි සමාජයෙන් චෝදනා එල්ල වෙන්නේ. එනිසා අම්මා කියන වචනය තුළ බොහෝ වගකීම් ගැබ්වෙලා තිබෙනවා. පවුලක මවක් වඩාත් දක්ෂ විය යුත්තේ දරුවන්ගේ සිතිවිලි මෙන් ම ඔවුන්ගේ දුර්වලතා තේරුම් ගෙන යහපත, අයහපත නිවැරැදිව තේරුම් කර දෙන්නට යි.

අද අප සමාජයේ තිබෙන පරිසරයත් එක්ක දරුවෙක් නොමගට යාමට තිබෙන ඉඩකඩ වැඩියි. එහි දී අම්මාට ලොකු වගකීමක් තිබෙනවා දරුවා අයහපතින් මුදවා ගන්න. අද මේ සමාජය විවෘතයි. එදා යුගයට වඩා මේ සමාජය තාක්ෂණිකව දියුණු වුවත් පරිහානියක් කරා ගමන් කරමින් තිබෙන්නේ. විෂම හැසිරීම් තිබෙන මිනිසුන් බහුලයි. අන්තර්ජාල පහසුකම් සුලභයි. සමාජය ගැන දැනුමක් නැති දරුවා විෂම මිනිසුන්ගේ පහත් අදහස්වලට හසුවිය හැකියි. ‘මගේ අම්මා මාව හැදූ ආකාරයට මමත් මගේ දරුවා හදාගන්නවා’ කියා යම් මවක් සිතුවොත් සමහර විට එය අසාර්ථක විය හැකියි. ඒ එදා සමාජය සහ අද සමාජයේ ඇති වෙනස්කම් නිසා. ඒ නිසා අම්මා නිරන්තරයෙන් දරුවාගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටිය යුතුයි. හොඳ නරක දෙකේ දී ම දරුවා සමඟ ඉතා කුලුපඟ ව මවක් සිටියොත් ඒ දරුවා පෙළඹෙනවා තමාට හරිගියදේත්, වැරැදුන තැනත් විශ්වාසයෙන් මව සමඟ කියන්න. දරුවාට සමහර දේ අනතුරක් කියා නොතේරුණත් අම්මාට පුළුවන් දරුවා වරදින් ආරක්ෂා කර ගන්න. මවගේ ක්‍රියාකලාපය අනුව තමා දරුවා බොහෝ විට මවට විවෘතව යමක් කියන්නේ. දරුවාගේ පූර්ණ විශ්වාසය දිනා ගැනීමට මව සමත් විය යුත්තේ එනිසයි. වැරදි අරමුණක් තුළින් ඉදිරියට හඹා යාම ළමා මෙන් ම තරුණ වයසේ ස්වභාවයක්. එය මැනවින් වටහාගෙන සිටීම අම්මාගේ වගකීමයි.

අපේ සමාජයේ බොහෝ මව්පියන් දුක සේ යමක් උපයාගෙන ඒ සියලු දේ දරුවන් වෙනුවෙන් වියදම් කරනවා. දරුවාට පවුලේ තිබෙන ආර්ථික ප්‍රශ්න ගැන දැනෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එවිටත් දරුවාට පවුල ගැන හැඟීමක් නැතිව යනවා. ‘මගේ මව්පියන් කොතරම් දුකසේ ද මාව හදාවඩා ගන්නේ’ කියා දරුවාට අනුකම්පාවක් නැති නිසාත්, ඔවුන් අයහපතේ යෙදීමට ඉඩකඩ තිබෙනවා. සමාජයේ සිදුවන විෂම ක්‍රියා ගැන දරුවා සමඟ වැඩිහිටියන් නිතර සාකච්ඡා කිරීම තුළිනුත්, එහි තිබෙන භයානක තත්ත්වය දරුවාට කියා දීම තුළිනුත් දරුවා වරදින් මුදා ගත හැකියි. “මගේ දරුවා එසේ කරන්නේ නැහැ” කියා බොහෝ මව්වරු දරුවා ගැන අසීමිත විශ්වාසයක් තබනවා. එයිනුත් දරුවාගේ ජීවිතයට යම් අහිතකර බලපෑමක් සිදුවිය හැකියි.”

“වෙනදා දුරකතනය, පරිගණකය, අන්තර්ජාලය ආදිය භාවිතයේදී දරුවන්ට යම් සීමාවන් තිබුණා. දුරස්ථ අධ්‍යාපනය නිසා මේ මෙවලම් දැන් අනිවාර්ය වී තිබෙනවා. මෙවැනි භාවිත කිරීම් හමුවේ මවට දරුවා පිළිබඳ ඇති වගකීම කෙබඳු ද?”

“මීට වසර දෙක තුනකට පෙර අපත් මව්පියන්ට පැවසුවා දරුවාට ජංගම දුරකතනය, අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න එපා, එයින් දරුවාට අයහපත සිදුවෙනවා කියා. නමුත් මේ වනවිට කුඩා දරුවාගේ සිට තරුණ දරුවා දක්වා ම එය ලබාදීමට මව්පියන්ට සිදු වී තිබෙනවා. දුරස්ථ අධ්‍යාපනය මේ කාලයේ දී අත්‍යවශ්‍ය වී තිබෙනවා. මේ අන්තර්ජාල පහසුකම් වලින් දරුවා අයුතු ප්‍රයෝජන ගත්තොත්, වැරදි දෙයට ඇබ්බැහි වුවහොත් දරුවාගේ මුළු ජීවිතය ම විනාශ වෙලා මෙලොව පරලොව දෙක ම අසාර්ථක වෙන්න පුළුවන්.

මවට තිබෙන වැඩකටයුතු බොහෝ යි. නමුත් දරුවා ගැන තිබෙන අවධානය මඟ ඇරුණොත් එය ඒ පවුලේ අයහපත පිණිස පවතින්නට පුළුවන්. එනිසා කොතරම් වැඩ තිබුණත් දරුවන්ට අවධානය යොමු කිරීම මව්පියන්ගේ මෙන් ම පවුලේ වැඩිහිටියන්ගේ ද වගකීම වෙනවා. යම් යම් උපක්‍රම භාවිත කිරීමෙන් සමහර ගැටලුවලට විසඳුම් ලැබෙනවා. දරුවා අන්තර්ජාල අධ්‍යාපන කටයුතු කරද්දී නිවසේ පොදු තැනක් ඒ වෙනුවෙන් වෙන්කිරීම, ඒ අවස්ථාවේ දී නිවසේ නිහඬ බව රැකගැනීම ආදී දේ තුළිනුත් යම් යම් ප්‍රශ්න මඟ හැරේවි. මව්පියන්ට නවීන තාක්ෂණය ගැන දැනුමක් නැත්නම් ඒ ගැන දැනීමක් ඇති අයෙකු ලවා හෝ දරුවා ගැන සොයා බැලීම තුළින් ‘අම්මා මම ගැන සෙවිල්ලෙන් ඉන්නේ’ කියන අදහස දරුවා තුළ ඇති වීම තුළිනුත් වරදට බිය වෙනවා.”

“දරුවා අන්තර්ජාලය හරහා යම් දේකට ඇබ්බැහිවීම වළක්වා ගන්නට අම්මා කළ යුත්තේ කෙබඳු දේ ද?”

“මෙහිදී මව මෙන් ම පියාත්, අනෙක් වැඩිහිටියනුත් කළ යුත්තේ දරුවාට අනතුර ගැන අවබෝධයක් ලබා දීමයි. දරුවා කුඩා කාලයේ පටන් “පුතේ අපේ ජීවිතවලට මේ වගේ අනතුරු මේ අන්තර්ජාලයෙන් ඇතිවෙනවා” ” කියා එහි ඇති අවධානම දරුවාට මනා ලෙස කියා දීම මවගේ වගකීමයි. සෑමමමමම දෙයක දී ම දරුවාට “එපා… එපා…” නොකියා එහි ඇති අනතුර දරුවාට පැහැදිලි කර දෙන්න. යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටියොත් ඒ දරුවාට මෙලොව දී ම එහි ආදීනව අත්දකින්නට සිදුවෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, කායික රෝගවලට ගොදුරු වෙනවා, මානසිකව රෝගී වෙනවා, යහළුවන්, ඥාතීන් අහිමි වෙනවා. මේ දේවල් දරුවාට ආදරෙන් පැහැදිලි කර දෙන්න. ඒ වගේ ම පරලොව ජීවිතය අසාර්ථක වන ආකාරය කියා දීමත්. වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ වගකීමයි.

අතීතයේ සැවැත්නුවර ගුරු ස්වාමීන් වහන්සේ නමක් යටතේ හැදී වැඩෙන කුඩා සාමණේර හිමිනමක් වැඩ සිටියා. දිනක් විශාඛා සිටු දියණියගේ නිවසට උන්වහන්සේලා දානයට වැඩියා. එහි දී විශාඛා සිටු දියණියගේ කුඩා මිනිපිරියක් දානය බෙදද්දී මේ සාමණේර හිමි සමඟ සිනාසුණා. සාමණේර හිමියනුත් සිනාසුණා. ඒ වෙලාවේ අර කුඩා දියණිය කියනවා “මම සිනාසුණාට ඇයි හිස මුඩු කළ ඔබවහන්සේ සිනාවෙන්නේ?” කියා. ඒ වෙලාවේ මේ දෙදෙනා අතර පොඩි වචන හුවමාරුවක් සිදුවුණා. ඒ වෙලාවේ විශාඛා පැමිණ කියනවා, “ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ තරහ ගන්න එපා. ඇත්තටම ඔබහන්සේ හිස මුඩු කරලානේ ඉන්නේ.” කියා. ඒ වෙලාවේ අර සාමණේර නමගේ සිතට වේදනාවක් ඇති වුණා. ගුරු ස්වාමීන් වහන්සේත් වදාළා, “පොඩිනම සිත රිදවා ගන්න එපා. අපි ඉතින් හිස මුඩු කර කසාවතක් දරාගෙනනෙ ඉන්නේ.” කියා. පොඩි නමගේ සිත තවත් රිදුනා. ‘ගුරු හාමුදුරුවොත් මගේ පැත්තට කතා කළේ නැහැ.’ කියා සිතුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩියා. උන්වහන්සේ පොඩිනමගේ සිත තමන් වහන්සේගේ සිත තුළින් දුටුවා. ධර්මය අවබෝධ කර ගන්නට තරම් පින තිබෙන මේ පොඩිනමගේ සිත ඉතා බරපතළ ලෙස දුකට පත් වී ඇති ආකාරය දුටුවා. ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ, “පින්වත් විශාඛා, මගේ පුත්‍රයා හිස මුඩු කරලා තමා ඉන්නේ. එසේ හිටියා කියා එය කියන්න ඕන දෙයක් නොවේනේ.” කියා පොඩිනමගේ අනාගතයේ යහපත ගැන හිතලා අනුකම්පාවෙන් වදාළා. ඒ වෙලාවේ මේ පොඩිනමට ලොකු සතුටක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ ධර්මය වදාළා. පොඩිනම ධර්මය අවබෝධ කළා. එලෙස මව්පියන් ද දරුවාගේ අනාගත යහපත ගැන හිතලා නුවණින් වැඩ කටයුතු කළ යුතු කාලයක් එළඹී තිබෙන්නේ.”

“තම දරුවන් ආගමික පරිසරයකට නැඹුරු කිරීමෙහිලා මව කළ යුතු කාර්යය කුමක් ද?”

“යම් දරුවෙක් පින පව හඳුනනවා නම්, පිනට කැමැති නම්, පවට අකමැති නම් කවදාවත් අකුසල් කියන දේ ඒ දරුවා අතින් සිදුවන්නේ නැහැ. දහමේ හැසිරෙන දරුවා මව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට නිසිලෙස ගෞරව කරනවා. දරුවෙක් යහමඟ යොමු කිරීමේ පූර්ණ වගකීම තිබෙන්නේ මව්පියන් අතේයි. නිවසේ සියලු දෙනා දිනපතා බුද්ධ වන්දනාව කරනවා නම්, පිරිත් කියනවා නම්, දහම් කතාවේ යෙදෙනවා නම් දරුවා කවදාවත් අයහපතට යොමු වන්නේ නැහැ. ඒ සියලු දෙයට කුඩා කල සිටම දරුවා යොමුවෙනවා. ඔහු වැඩිහිටියෙකු වුවත් ඒ දේ ජීවිතයේ එක් අංගයක් කර ගන්නවා. ඔහු තමාගේ දරුවන්ටත් තෙරුවන් වන්දනා කියා දෙන්නේ ඒ පුරුද්ද තුළින්. ඒ නිසා මුලින්ම පවුලේ මව දැහැමි විය යුතුයි. අම්මා රූපවාහිනියේ සියලු නාට්‍ය බැලීමට පුරුදුව සිටිනවා නම් දරුවා ද එයට යොමු වීම ස්වභාවය යි. ධර්මයක් නැති දරුවා නිවස තුළ කෙතරම් රැක්කත් ඔහු සමාජයට ගිය දිනට පව, පින ගැන විශ්වාසයක් නැති නිසා නොමඟ යාමට පුළුවනි. එනිසා මව නිතර ම දරුවා තුළ කර්මය, කර්මඵලය ගැන පැහැදීමක් විශ්වාසයක් ඇති කිරීම වැදගත් වෙනවා. දරුවාට එබඳු දේ කියා දීමට නම් මව පින පව විශ්වාස කරන්න ඕන. අප සිතන තරම් සමාජය දැහැමි නැහැ. බොහෝ දේ නිසා දරුවා මානසික පීඩාවෙන් සිටින්නේ. ඒ පීඩා මඟහරවා ගැනීමට ඔවුන් දුරකතනයට ඇබ්බැහි වෙන්න පුළුවනි. නමුත් ඒ නිවසේ නිතර ම බුදුගුණ, දම්ගුණ, සඟගුණ ඇසෙනවා නම්, පිරිත් සජ්ඣායනා වෙනවා නම්, බෝධි වන්දනා, සෑ වන්දනා කවි ඇසෙනවා නම් දරුවා ඒවාට සවන් දෙන්න පුරුදු වෙනවා. ඒ තුළින් ඔහුගේ මානසික පීඩාව දුරු වෙනවා.

එනිසා, මවකට පවුලේ ආර්ථික ප්‍රශ්න කොතරම් තිබුණත් ඇය දහමේ හැසිරෙනවා නම් ඒ පවුල තුළ නිතරම සතුට, සමාදානය පවතිනවා. දරුවා කුඩා කාලයේ පටන් ම සිල් රකින දරුවෙක් නම් පවට බය වෙනවා. ඔහු වරදක් කළ විට, “පුතා ඔයා මේ දේ කළා ද?” කියා විමසූ විට ඒ වරද වසා ගැනීමට බොරු සියයක් කියන දරුවෙක් සමාජයට දායාද නොකර ඒ වරද පිළිගෙන නිවැරදි වෙන දරුවෙක් සමාජයට දායාද කිරීම මවගේ පරම යුතුකම නොවන්නේ ද?”

නයනා නිල්මිණී.