පාසල් යනකොට, එහෙම නැතිනම් රැකියාව කරන විට, සමාජය ඇසුරු කරන විට අපි එක එක මාදිලියේ පුද්ගලයන්ව ඇසුරු කරනවා. සමහර විට අපටත් නොදැනීම ඒ ඇසුර නිසා අපි පිරිහිලා යනවා. අපේ ගුණධර්ම අඩුවෙලා යනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා.

1. පුද්ගලයෙක් ඉන්නවා පිළිකුල් කළ යුතුයි. ඇසුරු නොකළ යුතුයි. එකතු වී නොසිටිය යුතුයි. ඒ තමයි කෙනෙක් ඉන්නවා දුස්සීලයි. පාපී ගති තියෙන්නේ. රහසින් පව් කරනවා. කිසිම ශ්‍රමණ බවක් නැතිව ම කියනවා “මම ශ්‍රමණයෙක්” කියලා. බ්‍රහ්මචාරී නැතිව ම කියනවා “මම බ්‍රහ්මචාරී” කියලා. ඇතුළ කුණුවෙලා තියෙන්නේ. කෙලෙස් වැගිරෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙයා පිළිකුල් කළ යුතුයි. ඇසුරු කරන්න එපා. එකතු වෙලා ඉන්න එපා කියලා. ඒකට හේතුව තමයි, ඒ පුද්ගලයා එක්ක ඉද්දී එයාගේ විදිහට හැඩගැහුණේ නැතත් ඔහු ඇසුරු කිරීම නිසා ඒ කෙනා ගැන පාපී රාවයක් පැතිරෙනවා. ඒ තමයි, “මොහු පාපී මිතුරන් ඉන්න කෙනෙක්” කියලා. දුස්සීල බව අසූචි වළක් වගේ. දුසිල් පුද්ගලයා ඒ අසූචි වළේ වැටුණු ගැරඬියෙක් වගේ. ඌ දෂ්ඨ නොකළත් ඒ සර්පයා අතින් ගන්න කෙනාගේ ඇඟේ අසූචි තැවරෙනවා. ඒ වගේ තමයි එවැනි අය ඇසුරු කිරීම නිසා “මේ පුද්ගලයා පාපී මිතුරන් සිටින කෙනෙක්, පාපී අයගේ පැත්තට නැමුණු කෙනෙක්” කියලා පාපී රාවයක් පැතිරෙනවා. එනිසා මෙවැනි පුද්ගලයෝ පිළිකුල් කළ යුතුයි.

2. ඒ වගේම යි මේ ලෝකයේ තවත් පුද්ගලයෙක් සිටිනවා ඔහු ගැන මධ්‍යස්ථව බැලිය යුතුයි. ආශ්‍රය නොකළ යුතුයි. එකතු වී නොසිටිය යුතුයි. එනම් සමහර කෙනෙක් ඉන්නවා ක්‍රෝධ කරනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. චූටි වචනයක් වැරදුනොත් ඒකෙ ම එල්ලිලා ඉන්නවා. තරහා ගන්නවා. මූණ එල්ලගෙන ඉන්නවා. රවනවා. ඔරවනවා. ගස්සගෙන යනවා. ඒ අයගේ අයහපත කැමති වෙනවා. කෝපයත්, ද්වේෂයත් පළ කරනවා. මොහු හරියට නරක් වූ තුවාලයක් වගේ. නරක් වූ තුවාලෙකට ගල් කැටයක් හරි ලී කෝටුවක් හරි චුට්ටක් වැදුණොත් ගොඩක් සැරව ගලනවා. ඒ වගේ තමයි ස්වල්ප දෙයක් කීවත් ඒකෙ ම එල්ලිලා ඉන්නවා. ක්‍රෝධ කරනවා. ඒක හරියට මේ වගේ. තිඹිරි පෙනෙල්ල ප්‍රකෘතියෙන් ම පතුරු විසුරුවමින් “චිටි චිටි” නගනවා. ගලකින් කෝටුවකින් ගැහුවොත් “චිටි චිටි” ගාලා හුඟක් සද්ද වෙනවා. ඒ වගේ තමයි ක්‍රෝධ බහුල කෙනා ස්වභාවයෙන් ම උඩඟුයි. සැරපරුෂයි. පුංචි වචනයක් කීවොත් “එයා කවුද මට කියන්න කියලා” කිපෙනවා. පිදුරු ගින්නක් ළඟට ගිහින් ගිනි තැප්පොත් තමාමයි පිච්චෙන්නේ. ඒ නිසා, ඒ වගේ අය අතේ දුරින් තියා ගන්න ඕන. මධ්‍යස්ථව දකින්න ඕන. ආශ්‍රය කරන්න එපා. එක්වෙලා ඉන්න එපා. ඒකට හේතුව තමා කොයි වෙලාවේ හරි තමන්ට බනින්න පුළුවන්, නින්දා කරන්න පුළුවන්, අනර්ථයක් කරන්න පුළුවන්.

3. මේ ලෝකයේ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඇසුරු කළ යුතුයි. එක් වී සිටිය යුතුයි. ඒ තමයි, කෙනෙක් ඉන්නවා සිල්වත්. යහපත් ගතිගුණ තියෙනවා. මේ කෙනා ඇසුරේ ඉද්දී ඔහුගේ අදහසට හැඩ නොගැහුණත් මේ වගේ කීර්ති රාවයක් පැතිරෙනවා. ඒ තමයි, “මේ පුද්ගලයා කල්‍යාණ මිතුරන් සිටින කෙනෙක් යහපත් අයගේ ඇසුරට නැඹුරු වූ කෙනෙක්” කියලා. මෙවැනි පුද්ගලයා ඇසුරු කළ යුතුයි. එක් වී සිටිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරද්දී ගුණධර්මවලින් පිරිහී යනවා. සමාන ගුණ ඇති අය ඇසුරු කළොත් කිසිදා පිරිහෙන්නේ නෑ. ඒ වගේමයි තමන්ට වඩා ගුණවත් අය ඇසුරු කරද්දී වහා දියුණු වෙනවා. ඒ නිසා තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. ඒ නිසා අපගේ ජීවිත ද සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ ම සුරැකේවා!
සත්පුරුෂ උතුමන් සමඟ ඉන්ට ලැබේවා!

ඇසුර : අංගුත්තර නිකාය 1 (තික නිපාතය)

මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් විසිනි.