උතුම් තුනුරුවනට ඔබ අතින් යම් වරදක් වූවා නම්, අනුරාධපුර ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවත්, ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේත් සැදැහැ සිතින් වන්දනා කොට, ජීවිතය තුනුරුවනට පූජා කර, මහා සෑ මළුවේ දී තෙරුවන් කමා කර ගන්න.

දෙමාපියන්ගේ පාද මත නළල තබා, පසඟ පිහිටුවා වන්දනා කර, සිදුවූ වැරදිවලට සමාව ඉල්ලා සිටින්න. මෙහිදී විශේෂයෙන් ම වැදගත් වන්නේ “සංඛධම සූත්‍රයේ දී” භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි අතීතය ගැන පසුතැවිලි නො වී, තමන් ගත කරන වර්තමාන සිල්වත් යහපත් දිවි පැවැත්ම ගැන සිතා සතුටුවීම යි. එමෙන් ම තිසරණ සරණ තුළ මනාව පිහිටා, සිල්වත් ව, සතර බ්‍රහ්ම විහරණ වඩමින් ධර්ම මාර්ගය දියුණු කර ගැනීමට උත්සාහවත් වීමයි. කුසල් බලවත් කර ගැනීමයි. පින බලවත් කර ගැනීමයි. එවිට සිදුවූ යම් අකුසලයක් ඇත්නම් එය මැඩපවත්වා කුසල් බලය ඉස්මතු කරගෙන (යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති) මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටත්, පරලොව සුගතිගාමී කර ගැනීමටත්, ධර්මාවබෝධය පිණිස සේඛ බල දියුණු කර ගැනීමටත් හැකියාව ලැබේවි.