භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට අංග 5කින් යුක්ත දානය සත්පුරුෂ දානයකි. එනම් රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙන විට,

1. සකස් කොට පිළිවෙළකට දෙයි (සක්කච්චං දේති)
2. ගෞරවයෙන් දෙයි (චින්තීකත්වා දේති)
3. සිය අතින් දෙයි (සහත්ථා දේති)
4. බැහැර නොකරන දෙයක් ලෙසින් (පරණ නොව ප්‍රයෝජනයට ගත හැකි අලුත් දෙයක්) දෙයි (අනපවිද්ධං දේති)
5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය.’ යන්න විශ්වාස කොට දෙයි (ආගමනදිට්ඨිකෝ දේති)

නම් එය සත්පුරුෂ දානයකි. එහි ආනිශංස ලැබෙන්නේ මේ අයුරිනි.

■ යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට ඔහුගේ සිත නැමෙයි. උදාර වූ වාහනවලින් යන්නට ඔහුගේ සිත නැමෙයි. පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නැමෙයි.

■ ඔහුට යම් දරුවෝ, බිරින්දෑවරු, දාසයෝ, මෙහෙකරුවෝ, කම්කරුවෝ සිටිද්ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති වෙති. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති.
ඒ මක් නිසා ද යත්, සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.
(වේලාම සූත්‍රය – අං. නි. 6)

එහි දී අසත්පුරුෂ දානයේ අංගත්, එහි විපාකත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ අයුරිනි.

“රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් දානයකට දෙයි නම් එය,

1. නොසකස් කොට දෙයි (අසක්කච්චං දේති)
2. නොගරු කොට දෙයි (අචින්තීකත්වා දේති)
3. සිය අතින් නො දෙයි (අසහත්ථා දේති)
4. බැහැරට දමන දෙයක් ලෙසින් දෙයි (අපවිද්ධං දේති)
5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස නො කොට දෙයි. (අනාගමනදිට්ඨිකෝ දේති)

යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට, උදාර වූ වාහනවලින් යන්නට, පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නො නැමෙයි. ඔහුට යම් දරුවන් සිටිත් ද බිරින්දෑවරු සිටිත් ද දාසයෝ සිටිත් ද මෙහෙකරුවෝ සිටිත් ද කම්කරුවෝ සිටිත් ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති නො වෙති. ඇහුම්කන් දීමට කන් යොමු නො කරති. කියන දේ තේරුම් ගැනීමට සිත නො පිහිටුවති. ඒ මක් නිසා ද යත්, නොසකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.