බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යමෙක් පූර්ව ජීවිතයකදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් කුසල් – අකුසල් ගැනත්, වැරදි – නිවැරදි දේ ගැනත්, සේවනය කළ යුතු – නොකළ යුතු දේ ගැනත්, දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින – නොපවතින දේ ගැනත් විමසා මෙසේ රැස් කරගන්නා ලද කර්මය නිසා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලද අවස්ථාවේදී ප්‍රඥාවන්ත ජීවිතයක් ලබනා බවයි.

මෙසේ කර්මානුරූපව ලබන්නා වූ ප්‍රඥාව දියුණු කරගැනීමට අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා ම දේශනා කරන ලද්දක් වන හෙයිනි. ප්‍රඥාව ඇති කරගන්නේ කෙසේද කියා ආළවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටි අවස්ථාවේ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මනරම් ගාථාවකින් ඒ සඳහා පරිපූර්ණ වූ පිළිතුරක් ලබාදුන් සේක. එය මෙසේය.

“සද්දහානෝ අරහතං
ධම්මං නිබ්බානපත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං
අප්පමත්තෝ විචක්ඛණෝ

උතුම් රහතන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන, අමා නිවනට පමුණුවාලන්නා වූ ධර්මය කෙරෙහි සැදැහැ සිත් උපදවාගෙන මනාකොට ශ්‍රවණය කර ඒ ධර්මය කෙරෙහි සිත යොමාගෙන අප්‍රමාදීව නුවණින් විමසන විට ප්‍රඥාව උපදී.”

මේ උතුම් බුද්ධ දේශනාවන්ට අනුව අප තේරුම් ගතයුතු ඉතා වැදගත් කරුණක් ඇත. එනම් යමෙකුගේ ප්‍රඥාව වැඩිදියුණු වී යන්නේ පුහු තර්ක විතර්ක ගෙනහැර දක්වමින් කරනා වාද විවාදවලින් නොව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධය තුළින් දේශනා කොට වදාළ උතුම් ධර්මය කෙරෙහි මනා පැහැදීමෙන් යුතුව ඒ ධර්මය නුවණින් විමසීම තුළින් බව ය.

එමෙන්ම කායගතාසතිය වැඩීම, බහුල වශයෙන් පුරුදු කිරීම ප්‍රඥාව ලැබීම පිණිසත්, ප්‍රඥාව වැඩීම පිණිසත්. ප්‍රඥාව විපුල බවට පත්වීම පිණිසත්, මහා ප්‍රඥාවක් ලැබීම පිණිස සහ ගැඹුරු, වේගවත්, ඉක්මන්, තියුණු ප්‍රඥාවක් ලැබීම පිණිසත් හේතුවන බව ද ධර්මයේ සඳහන් ය.