‘දානානිසංස’ නම් සූත්‍ර දේශනාවේ දී දන් දීමෙහි එක් ආනිශංසයක් ලෙස පංච සීලය මනා කොට ආරක්ෂා කළ හැකියි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා (ගිහිධම්මා අනපේතෝ හෝති).

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සිල් බිඳුනු විටක දී එම වරද වරදක් වශයෙන් දැක, ඊට ධර්ම- විනයානුකූලව පිළියම් කොට ආයති සංවරයට පැමිණෙන ලෙසයි. එහි දී කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේනමකට එම වරද හෙළිදරව් කොට, දහම් අවවාදයක් ලබාගෙන නැවත සිල් සමාදන් වීම වඩාත් හොඳයි. එසේ නො හැකි විටක දී තෙරුවන් වන්දනා කොට නැවත පන්සිල් අධිෂ්ඨාන කර ගත යුතුයි. සීලය මනා කොට ආරක්ෂා කර ගැනීම පිණිස සිල්රැකීමේ ආනිශංස හෙවත් සීල සම්පත් මෙනෙහි කිරීමත්, සිල් නොරැකීමේ විපාක හෙවත් සීල විපත්ති සිහිකිරිමත් උපකාරී වෙනවා.

සීල සම්පත්ති

  1. සිල්වත් කෙනාගේ අප්‍රමාදී පැවැත්ම නිසා මහත් වූ භෝගස්කන්ධයක් ලබනවා.

               (මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති.)

  1. යහපත් ගුණ ඝෝෂාවක් පැතිරෙනවා.

              (කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති.)

  1. යම් පිරිසක් අතරට යද්දී බිය තැති ගැනීම්වලින් තොරව විසාරද ව යෑමට හැකිවෙනවා.

              (යඤ්ඤදේව පරිසං උපසංකමති, විසාරදෝ උපසංකමති අමංකුභූතෝ.)

  1. සිහි මුළා නොවී මරණයට පත්වෙනවා.

                (අසම්මූළ්හෝ කාලං කරෝති.)

  1. මරණින් මතු සුගතියේ උපදිනවා.

                 (කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.)

 

සීල විපත්ති

  1. දුස්සීල කෙනාගේ ප්‍රමාදී ජීවිතය නිසා භෝග සම්පත්වලින් පිරිහී යනවා.

             (මහතිං භෝගජානිං නිගච්ඡති.)

  1. ළාමක අපකීර්තියක් පැතිරී යනවා.

              (පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති.)

  1. පිරිස් මැදට යද්දී විසාරද ව යෑමට නො හැකි වෙනවා.

               (යඤ්ඤදේව පරිසං උපසංකමති… අවිසාරදෝ උපසංකමති මංකුභූතෝ)

  1. සිහි මුළා වී මරණයට පත්වෙනවා.

                (සම්මූළ්හෝ කාලං කරෝති.)

  1. මරණින් මතු දුගතියේ උපදිනවා.

              (කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.)

එමෙන් ම සිල් ආරක්ෂා කරමින් පිරිසිදු ජීවිතයක් ගතකිරීම පිණිස පහත සඳහන් කරුණු නිතර නුවණින් මෙනෙහි කළ යුතු බව ඨාන සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒවා නම්,

■          මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වීම ඉක්මවා ගොස් නෑ.

■          මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. වයසට යාම ඉක්මවා ගොස් නෑ.

■          මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණයට පත් වීම ඉක්මවා ගොස් නෑ.

■          මම ප්‍රියමනාප දෙයින් වෙන්වෙන ස්වභාවයෙන් යුක්තයි.

■          මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දෑවැද්ද කරගෙන සිටිමි. කර්මය ඤාතියා කරගෙන සිටිමි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. යහපත් වූ හෝ අයහපත් වූ කර්මයක් මා විසින් කරනු ලැබුවහොත් එහි විපාකය මා කරා පැමිණේ.

යන කරුණු යි.

ඉන්ද්‍රිය සංවරයට උපකාරක වන්නේ සති සම්පජඤ්ඤය හෙවත් සිහි නුවණ පැවැත්වීමයි.