සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ඉතාමත් කලාතුරකින් මේ ලෝකයට පහළ වන්නේ, දෙව් මිනිස් ලෝකයාට කිසිවෙක් විසින් නොඉපිදවූ නිවන් මඟ උපදවාදීමට යි (අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනේතා). කිසිවෙකු විසින් නොපැවසූ නිවන් මඟ දේශනා කිරීමටයි (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා). ඒ අනුව ගුරු උපදේශවලින් තොරව තමන් වහන්සේගේ ම සම්බුදු නුවණින් අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය මහා කරුණාවෙන් ලෝකයාට දේශනා කොට වදාළා. එහි දී, සංසාරගත සත්වයන් සතර අපා උපතින් නිදහස් කිරීමත්, සංසාර ගමන තුළ සුගතියේ රැකවරණ සලසාදීමත්, උතුම් නිර්වාණ අවබෝධය ලබා දී සියලු දුක් දොම්නස්වලින් අත්මුදවාලීමත් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ කෘත්‍යය වූවා.

භාග්‍යවතුන් වහන්සේ ම පෙන්වා දුන් පරිදි ධර්ම දේශනා කිරීමේ පරමාර්ථය වූයේ මෙය යි.

බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති
චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ටත් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස දහම් දෙසන සේක.

 තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති
සසර කතරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක.

දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති
දමනයට පත්වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම පිණිස දහම් දෙසන සේක.

සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති
සන්සිඳුණු භාග්‍යවතුන් වහන්සේ සන්සිඳීම පිණිස දහම් දෙසන සේක.

පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති
පිරිනිවනට පත්වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම පිණිස දහම් දෙසනා සේක.

මේ පිණිස දවස කොටස් පහකට බෙදා පන්සාලිස් වසරක් පුරාවට භාග්‍යවතුන් වහන්සේ බුදුකිස සිදුකොට අප්‍රමාණ සත්වයන්ට සෙත සැලසූ සේක.