කර්ම කර්මඵල විග්‍රහයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වපුරන දෙයට අනුව අස්වැන්න ලැබෙන බවයි. (යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං) ඒ අනුව යහපත් වූ කර්මයන්ට යහපත් විපාකත්, අයහපත් වූ කර්මයන්ට අයහපත් විපාකත් ලැබෙනවා (කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං). එම නිසා අතීත ජීවිතවල දී අන් අයට හොඳින් ඉගෙන ගැනීමට උපකාර කළ ඒ පිණිස ආශීර්වාද කළ, අන් අය හොඳින් ඉගෙනගැනීම ගැන සතුටු වූ, එමෙන් ම ශිෂ්‍යයන්ට හොඳින් ඉගැන්වූ අය මේ ජීවිතයේ දී එහි යහපත් ප්‍රතිඵල ලබනවා. එමෙන් ම සසරේ දී අන් අයගේ ඉගෙනීමට බාධා කළ, ඊට ඊර්ෂ්‍යා කළ, ශිෂ්‍යයන්ට හොඳින් ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම පැහැර හැරි අය මේ ජීවිතයේ දී එහි අයහපත් ප්‍රතිඵල ලබනවා. චුල්ල පන්ථක මහරහතන් වහන්සේට රහත් වීමට පෙර සිව්පද ගාථාවක් මතක තබාගැනීමට නො හැකි වූයේ, කාශ්‍යප බුදු සසුනේ තවත් භික්ෂුවකට පාඩම් නොසිටීම ගැන විහිළු තහළු කළ නිසයි. එම නිසා මේ ජීවිතයේ දී අයහපත් කර්මයන්ගෙන් වැළකී යහපත් කර්ම රැස්කර ගැනීම සියලු දෙනාට ම යහපතක්.

එමෙන් ම ඉගෙනීම කඩාකප්පල් වීමට හා අසාර්ථක වීමට හේතුවන අනෙකුත් කරුණු අතර පාපමිත්‍ර ඇසුර ප්‍රධානයි. ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප් ආදිය අනිසි ලෙස භාවිත කරමින් අයහපත් දෙයට යොමුවීමත්, කාලය නාස්තිකර ගැනීමත් තවත් හේතුවක්. පාසැල් සමයේ දී ඇතිකර ගන්නා ප්‍රේම සම්බන්ධතා නිසාත් බොහෝ දෙනෙකුගේ ඉගෙනීම අසාර්ථක වී ජීවිත අඳුරු වෙනවා. එම නිසා එවැනි කරුණු නුවණින් වළක්වාගෙන ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් ඉගෙනීම් කටයුතුවල යෙදෙනවා නම් හොඳ ප්‍රතිඵල ලබා අනාගතය සාර්ථක කර ගත හැකියි. බොහෝ දැන උගත් බවත්, නොයෙකුත් ශිල්ප දත් බවත් මංගල කාරණයක් බවට පත් වීමට විනයකින් හික්මීම සහ යහපත් වචන කතාකිරීමත් අවශ්‍ය වෙනවා.

“බාහුසච්චං ච සිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා ඒතං මංගල මුත්තමං”