ධර්මයේ හැසිරෙන දරුවෙකුට අනිවාර්යයෙන් ම අධ්‍යාපන කටයුතු ද සාර්ථක ව කර ගත හැකියි. වර්තමාන සමාජය තුළ මෙවැනි මිථ්‍යා මතයක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ තමයි ධර්මයේ හැසිරීමට යොමුවීමෙන් අධ්‍යාපය කඩාකප්පල් වන බව. ඊට හේතු වී තිබෙන්නේ සමහර අධ්‍යාපන කටයුතු සඳහා අලස ළමුන් ‘අපට ඉගෙන ගන්න ඕනෙ නැහැ, අපි මහණ වෙනවා’ යැයි දෙමව්පියන්ට කීම යි. එවිට තම දරුවන් ගැන පමණක් නොව, තුන්ලොවට සනාතන විමුක්තිය ලබා දෙන ධර්මය කෙරෙහි ත් දෙමාපියන් තුළ අප්‍රසාදයක් ඇති වෙනවා. නමුත් සත්‍යය නම්, ඔවුන්ට මහණ වීමට අවශ්‍ය නැත. ඇත්තේ අධ්‍යාපනයට අලස බවයි.

අධ්‍යාපනයේ යෙදෙන දරුවෙකුට මනාකොට තෙරුවන් සරණේ පිහිටා නොකඩ කොට පංචසීලය ආරක්ෂා කිරීමෙන් ම ඔහුට ධර්මයට පැමිණි සිල්වත් උපාසකයෙකු බවට පත් විය හැකියි. පංචසීලය ආරක්ෂා කිරීම තම ජීවිතයට මෙලොව පරලොව සැප විපාක ලැබෙන බලවත් පුණ්‍ය ගංගාවක් ලෙස අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඊ ළඟට දිනපතා ම සවස් කාලයේ මල් පහන් පූජා කොට බුදුන් වැඳ පිරිත් සජ්ඣායනා කිරීමෙන් තම ජීවිතයට මිල කළ නොහැකි පිනක් මෙන් ම ආරක්ෂාවක් ද ඇති වෙනවා. මෙය ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙකුගේ එක් දෛනික අංගයක්. බුද්ධ දේශනා පරිශීලනය කිරීම ද දහම් පොතපත කියවීම ද ධර්ම ශ්‍රවණය කිරීම ද ධර්මයේ හැසිරීමට ප්‍රධාන රුකුලක්.

ප්‍රායෝගික ජීවිතයේ දී හැකි සෑම විටක ම දන් පැන් පුදන සිතක් ඇතිව වාසය කිරීම ත් ඉතා වටිනවා. ඒ තුළින් චාගය නමැති ගුණධර්මය පුරුදු කර ගත හැකියි. තම දෙමව්පියන්ට, වැඩිහිටියන්ට ගෞරව දැක්වීම, ඇප උපස්ථාන ආදිය සිදු කිරීම ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයෙකුගේ ප්‍රධාන ලක්ෂණයක්. සෑම කෙනෙකු ම පුරුදු පුහුණු විය යුතු ප්‍රධානතම ගුණධර්මය ඉවසීම යි. මෙය ධර්ම මාර්ගයේ විශාල දියුණුවක් කරා යාමට උපකාරී වෙනවා. ඉවසීම නැති තැන කිසිදු ගුණධර්මයක් පුරුදු විය නොහැකියි.

ඊ ළඟට මෛත්‍රිය වැනි භාවනාවක් පුරුදු වීමත් තම සිතෙහි පවතින කාමාශාව (කාමඡන්ද), තරහ (ව්‍යාපාද), නිදිමත (ථීනමිද්ධ), සිතේ විසිරීම-පසුතැවීම (උද්ධච්ච – කුක්කුච්ච), සැකය (විචිකිච්ඡා) යන නීවරණ සන්සිඳවාගෙන වාසය කිරීමට උපකාරී වෙනවා. ඒ තුළින් එක අවධානයක සිත පිහිටුවාගෙන අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරගැනීමට හැකි වෙනවා. නීවරණ බලවත් නො වූ සිතකට තමන් කියවන අසන යහපත් දේ පහසුවෙන් ධාරණය කරගන්න පුළුවන්.

වත්මන් සමාජයේ ජීවත් වන දරුවන්ට අධ්‍යාපන කටයුතුත්, ධර්මයේ හැසිරීමත් යන කාරණා දෙකට ම බාධා පිණිස පවතින ප්‍රධාන දෙයක් වන්නේ නවීන තාක්ෂණික උපකරණ යි. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, ටැබ්, පරිඝණක ආදී දේවලට ඇබ්බැහි වී ඉන්ටර්නෙට් භාවිතයටත්, නොයෙක් වීඩියෝ ක්‍රීඩාවලට හුරුවී සිටීමත් නිසා මෙකල දරුවන්ගේ ජීවිත අතිශයින් ම අවාසනාවන්ත ඉරණමකට හසුවී තිබෙනවා. මෙකල බොහෝ දෙමව්පියන් පැමිණ අප වෙත පැමිණිලි කරන්නේ ද තම දරුවන් මේ තාක්ෂණික මෙවලම්වල ගොදුරු බවට පත් වී ඇති බවත්, ඒ දරුවන් තමන්ගේ බසට අවනත නොවන බවත් පවසමින්. මෙයින් බේරා දෙන ලෙස ස්වාමීන් වහන්සේලාට නිතර නිතර දෙමව්පියන්ගේ දුක් ගැනවිලි අසන්නට ලැබෙනවා.

විශේෂයෙන් මෙවැනි තාක්ෂණික මෙවලම්වලින් අධ්‍යාපනය ලබන දරුවන් ඈත් වී සිටින්නේ නම් එය තම භෞතික මෙන් ම අධ්‍යාත්මික ජීවිතය ද අතිශයින් ම සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. මෙකල ධර්ම මාර්ගයේ හැසිරීමට ද ප්‍රධාන බාධාව වී ඇත්තේ මේ තාක්ෂණික මෙවලම්. මගඵලලාභීන් බිහි වූ අතීතයේ මෙවැනි භෞතික තාක්ෂණික උපකරණ තිබුණේ නැහැ. ඔවුන් තම අධ්‍යාත්මයේ ගුණධර්ම දියුණු කළා. එම නිසා ඉහත කී ආකාරයට ගුණ දහම් දියුණු කරගතහොත් සාර්ථක අධ්‍යාපනයක් ලබා ගැනීමටත්, අධ්‍යාත්මික දියණුවක් ලබාගැනීමටත් එම පින්වත් දරුවා හට හැකිවනු නියත යි.