සංග්‍රහයන්ට මුල්වන කරුණු හතර ‘සතර සංග්‍රහ වස්තු’ ලෙස හඳුන්වනවා. එය ‘සංග්‍රහ බලය’ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

“මහණෙනි, සංග්‍රහ බලය යනු කුමක් ද?

මහණෙනි, සංග්‍රහයන්ට මුල්වන කරුණු හතරකි. එනම් දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවය යි.

මහණෙනි, යම් මේ ධර්ම දානයක් ඇද්ද, මෙය දානයන් අතුරින් අග්‍ර වෙයි.

මහණෙනි, ධර්මයෙන් ප්‍රයෝජන ඇතිව, සවන් යොමු කොට සිටින කෙනෙකුට නැවත නැවත ධර්මය දෙසන්නේ ය යන යමක් වෙයි ද මෙය ප්‍රිය වචනයන් අතුරින් අග්‍ර වෙයි.

මහණෙනි, යම් මේ සැදැහැවත් නැති කෙනා ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයි ද ඇතුළු කරවයි ද පිහිටුවයි ද දුස්සීල කෙනා සීල සම්පත්තියෙහි සමාදන් කරවයි ද ඇතුළු කරවයි ද පිහිටුවයි ද මසුරු කෙනා ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි ද ඇතුළු කරවයි ද පිහිටුවයි ද ප්‍රඥාව නැති කෙනා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයි ද ඇතුළු කරවයි ද පිහිටුවයි ද මෙය අර්ථචරියාවන් අතර අග්‍ර යැයි කියනු ලැබෙයි.

මහණෙනි, සෝවාන් කෙනෙක් සෝවාන් කෙනෙකුට සමානාත්ම වෙයි. සකදාගාමී කෙනෙක් සකදාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. අනාගාමී කෙනෙක් අනාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. රහතන් වහන්සේනමක් තවත් රහතන් වහන්සේනමකට සමානාත්ම වෙති. මෙය සමානාත්ම පිරිස අතුරින් සමානාත්මතාවයෙන් අග්‍ර වෙයි.”

(බලසංගහවත්ථු සූත්‍රය – අං. නි. 5)

දානය – ආමිසය පැත්තෙහි ඇතුළත් වන දේවල් තිබේ. සිව්පසයට (ආහාරපාන, වස්ත්‍ර, වාසස්ථාන, බෙහෙත්) අවශ්‍ය දේ දන් දීම නම් වූ ආමිස දානය, ආමිස යාගය, ආමිස ත්‍යාගය, ආමිස පිරිනැමීම, ආමිස සංවිභාගය (ආමිසය හොඳින් බෙදා දීම) ආමිස සංග්‍රහය, ආමිස අනුග්‍රහය, ආමිස අනුකම්පාව ආදියයි. නමුත් ධර්ම දානය ම, ධර්ම යාගය ම, ධර්ම ත්‍යාගය ම, ධර්මය පිරිනැමීම ම, ධර්ම සංවිභාගය ම, ධර්ම සංග්‍රහය ම, ධර්ම අනුග්‍රහය ම, ධර්ම අනුකම්පාව ම අග්‍ර වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ප්‍රිය වචනය – යම් කෙනෙක් ධර්මය දේශනා කරනවා නම් ඔහු අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මය දන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ධර්මයට ඇහුම්කන් දෙනවා නම් ඔහුත් අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මය දන්න කෙනෙක් වෙනවා. ඒ දෙදෙනා ම අර්ථයත්, ධර්මයත් දන්න අය වෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ.

අර්ථ චරියාව – ශ්‍රද්ධා, සීල, චාග, ප්‍රඥා යන දුර්ලභ සම්පත්ති හතර මෙලොව ධාර්මික දියුණුවටත්, පරලොව සුගති උපතකටත්, ධර්මාවබෝධයටත් ඍජු ව ම බලපානවා. එනිසා මේ සම්පත්ති ඇසුරින් කෙනෙක් ව යහපතෙහි පිහිටුවීම අග්‍ර දෙයක්.

සමානාත්මතාව – මාර්ග ඵලලාභී ශ්‍රාවකයන් සංයෝජන ප්‍රහාණය කිරීම, දුක් ක්ෂය කිරීම, විමුක්තිය ආදී ලෝකෝත්තර ධර්මයන්ගෙනුයි ඒ ආකාරයෙන් සමානාත්ම වන්නේ. ඒ ලොව්තුරු ගුණයන්ගේ ශ්‍රේෂ්ඨත්වය සලකා මේ සමානාත්මතාවය අග්‍ර යැයි සැලකෙනවා.