මෙය පසුකාලීනව පැමිණි ව්‍යවහාරයක් බව පෙනේ. අද බොහෝ දෙනා මෙවැනි වචන භාවිතා කරන බව දක්නට ලැබේ. නමුත් බුද්ධ දේශනාවල මෙවැනි වදන් භාවිතා වී ඇති බවක් අපට දක්නට ලැබෙන්නේ නැත. නිරතුරුවම දකින්නට ලැබෙන්නේ බුද්ධ ශාසනය යන වචනයයි. රතන සූත්‍රයේ පවා එක් ගාථාවක මෙවැනි සඳහනක් එයි. එනම් “යේ සුප්පයුත්තා මනසා දළ්හේන, නික්කාමිනෝ ගෝතමසාසනම්හි” යනුවෙනි. එනම් යම් ශ්‍රාවකයෙක් මනසින් දැඩි වීරිය ගෙන ප්‍රතිපදාවෙහි යෙදෙයි ද, හෙතෙම ගෞතම බුදු සසුනෙහි කෙලෙසුන්ගෙන් නික්ම යන බවයි.

එතැන සඳහන් වන්නේ ද “ගෞතම බුදු සසුන” යනුවෙනි. ගෞතම බුදු සසුන තුළ පැවිදි බවට පත් ශ්‍රාවක පිරිස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් භික්ෂු සංඝයාත්, භික්ෂුණී සංඝයාත් යන දෙපිරිසයි. මේ දෙපිරිස ම පොදුවේ උභතෝ සංඝයා යනුවෙන් හඳුන්වනු ලැබේ. අද බොහෝ දෙනෙක් භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය යනුවෙන් වහරනු ලබන්නේ භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ යන මේ වචන දෙක වරදවාගෙන ය. නමුත් සත්‍ය වශයෙන්ම ඇත්තේ එකම ශාසනයකි. එනම් බුද්ධ ශාසනය යි. ඒ බුදු සසුන තුළ සිටින සඟ පිරිස, භික්ඛු සංඝ – භික්ඛුණී සංඝ යනුවෙන් දෙපිරිසකට බෙදා දක්වනු ලැබීමයි නිවැරදි ව්‍යවහාරය විය යුත්තේ.