අප ලද මේ මිනිස් ජීවිතය දුර්ලභ එකක් කියා අපට බැලූ බැල්මට පෙනෙන්නේ නැත. එය අපට සොයන්නට ද නොහැකි ය. හැම තැන ම මිනිසුන් දකින්නට ඇති නිසා ම අපට සිතෙන්නේ ද මෙය බොහොම පහසුවෙන් ලැබෙනා ජීවිතයක් කියා ය. නමුත්, සත්‍යය නම් මේ මිනිසත් බව අතිශයින් දුර්ලභ වූවක් යන්න යි. මිය යන්නවුන් සියලු දෙනා කෙරෙහි ම පාහේ ‘අප අතර ම ඉපදේවා’ කියා අප පැතූව ද සිතූව ද ඒ කිසිවෙකුත් අපගේ ප්‍රාර්ථනාව හේතුවෙන් මෙලොව උපදින්නේ නැත. අප කිසිවෙකුත් මෙහි පැමිණියේ ද කිසිවෙකුගේ හෝ ප්‍රාර්ථනාවකින් නො වේ. කාගේවත් කීමකට අප කිසිවෙකුට කිසි තැනක උපදින්නට නොහැකි ය.

අප මිනිස් ලොව උපන්නේ සාංසාරික ව සිදු කළ විශේෂ පිනක ඵලයක් ලෙසට ය. ඒ පින කුමක් ද කියා අප දන්නේ නැත. මෙහි උපන් පසු සිදු වුයේ අප සිටින වටපිටාව අනුව අපේ ජීවිත හැඩගැසීම ය. නිවසින්, පාසලින්, හිතමිතුරන්ගෙන් පමණක් නො ව; අද වන විට තාක්ෂණික මෙවලම් තුළින් පවා අපේ ජීවිත තුළ නොයෙකුත් වෙනස්කම් සිදු කරලයි. ඒ සියල්ල ම තුළ අප සත්පුරුෂයෙක් වීම හෝ අසත්පුරුෂයෙක් වීම තීරණය කෙරේ. මේ ජීවිතය සාර්ථක කර ගන්නට නම් අප පළමුවෙන් කළ යුත්තේ අප අයත් වන්නේ කුමන පාර්ශවයකට ද යන්න හඳුනාගැනීම යි.

මේ ලෝකයේ තමන් ව හඳුනාගැනීම යන්න සිදු කිරීමට ඉතාමත් අසීරු වූවකි. තමන් ව හඳුනාගැනීමට උත්සාහ දරන්නවුන් ද දුර්ලභ ය. ලෝකය බොහෝ සෙයින් උත්සාහ කරන්නේ අනුන් ව මනින්නට ය. එසේ අනුන් ව මනින කෙනා හැමවිට ම සිදු කරන්නේ තමන්ගේ වාසියට කරුණු ගළපා ගැනීම ය. එතුළින් කිසි විටෙකත් තමන් සාර්ථකත්වයට පත් වන්නේ නැත. අනුන් ව මැනීමට කාලය කා දැමීම වෙනුවට සත්පුරුෂයෙක් ද අසත්පුරුෂයෙක් ද කියා තමන් තමන් ව මැන ගැනීමට උත්සුක වුවහොත්, මේ ජීවිතය සාර්ථකත්වය කරා යොමු කරලන්නට බලවත් උපකාරයක් සැලසේ. එනිසා, සාර්ථකත්වය කැමැත්තෝ මුලින් ම කළ යුත්තේ තමන් ව හඳුනාගැනීම ය.

මේ මිනිස් ජීවිතයේ අප ලද ලොකු ම ලාභය තමන් ව හඳුනාගැනීම පිණිස වූ පරිපූර්ණ මිම්ම අප සතු වීම ය. ඒ වනාහී, සත්පුරුෂ බව හා අසත්පුරුෂ බව මැනැවින් වෙන් කොට දක්වන සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි.

කර්මානුරූප ව ලද මේ උපතේ අප ආශා කරන සියල්ල ම සිතූ පැතූ අයුරින් ලැබෙන්නේ නැත. සිතේ පවත්නා ආශාවන් වෙනස් ය, අපට උරුම වන ආකාරයන් වෙනස් ය. අප ලැබ තිබෙන්නේ සීමා සහිත වූ ජීවිතයකි. එවැන්නක් පරිහරණය කරද්දී, අපේ ආශාවන් හා අපට උරුම වන දේ අතර ගැටීමක් ඇති වේ. එවිට සිදු වන්නේ අසත්පුරුෂ ස්වභාවයන් ඉස්මතු වීම යි. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මං විවර කරලන්නේ සසරේ බොහෝ දුක් විපාක උපදවාලන අසත්පුරුෂ භාවයන්ගෙන් බැහැර වෙමින් තමන් ව රැකගැනීම පිණිස ය. ‘තමන් ව රැක ගැනීම’ යනු මෙලොව දිනීම යි, පරලොව දිනීම යි, සසර දුක් ද නිමා කරලීම යි.

ඒ භාග්‍යවතුන් වහන්සේ වදහළ නිර්මල ධර්ම පර්යායන්ගෙන් ම උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා අපට අනුග්‍රහ කරන්නේ ඒ වෙනුවෙනි. ලද මිනිස් ජීවිතය අරුත් ගන්වන්නට මහානීය ම උපකාරය වන්නේ එය ම මිස අනෙකක් නම් නො වේ. මේ ලද දුර්ලභ මිනිස් ජීවිතය තුළ සත්පුරුෂයන් වන්නට, මෙලොව ද දිනන්නට, පරලොව ද දිනන්නට, සසර දුක නිමා කොට නිවන ද දිනන්නට නිසැක රැකවරණය අප තෝරා ගත යුතු ය. ඒ රැකවරණය වනාහී සද්ධර්මය ය, සත්පුරුෂ සේවනය ය.