දෛනික වියදම්වලින් ඔබ්බට සැලසුම් සහගත ව යම් ඉලක්කයක් කරා යොමු වීම අද බොහෝ ජනයාට අතිශය අසීරු වී තිබේ. කොවිඩ් වසංගතයේ පැතිර යාමත්, ඒ සමඟ ම ආර්ථිකමය හා පරිපාලනමය වශයෙන් ගන්නා ලද තීන්දු තීරණයන්ගේ අසාර්ථක වීමත් නිසා ත්‍රස්තවාදී යුද සමයේ දී හෝ සුනාමි ව්‍යසන සමයේ දී හෝ අත්නොවිඳි දරුණු ආර්ථික ව්‍යසනයකට අපි මුහුණ දී සිටින්නෙමු.

සේවා හා පහසුකම් සපයා ගැනීම පිණිස දැරිය යුතු පිරිවැය මාස කිහිපයක් තුළ කිහිප ගුණයකින් ඉහළ යාම හමුවේ මධ්‍යම ආදායම්ලාභී පිරිස් පවා ජීවන වියදම ඉසිලීමේ අර්බුදයට දැඩිව මුහුණපා සිටින අතර අඩු ආදායම්ලාභීන් මුහුණපාන දුෂ්කරතා අසීමිත බව එයින් ම තේරුම් ගත හැකි ය. රට තුළ සාර්ථක ව ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිපත්තියක් මෙතෙක් පැහැදිලි ව දක්නට නොවීමේ හේතුවෙන් වෘත්තිකයන් සේ ම ශ්‍රමිකයන් ද විදෙස්ගත වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. මේ සියල්ල පොදුවේ සලකා බැලූ කල පෙර නොවූ විරූ ආර්ථික ව්‍යසනයක නිමිති අපට පැහැදිලි ව දක්නට ලැබේ.

මේ කාලය පොදුවේ සියලු දෙනාට ම දුෂ්කර කාලයකි. බැමිණිතියා සාය වැනි දරුණු දුර්භික්ෂ පැතිර ගිය කාලවල දී ද මූලික අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි පවා අතිශය දුෂ්කරතාවයනට ලක්වැසියා මුහුණ පෑ බව ඉතිහාසය පෙන්වා දේ. එනිසා, මෙවැනි විපත් පෙර නොවූ විරූ දෑයැයි සිතීම අනුචිත ය. කළමනාකරණය කර ගැනීමේලා පහසු නොවූ ව්‍යසන අතීතයේ ද එළඹි අතර ඒවා අනිත්‍ය වී ගිය අයුරින් මෙකල එළඹ තිබෙනා ව්‍යසන ද අනිත්‍ය වී යන බව අප නිතර සිහි කළයුතු ය. මෙසේ සිහි කිරීම අපට මානසික සුවපහසුව පිණිස ද හේතු වනු ඇත.

අතීතයේ එළඹි විපත්ති හමුවේ පවා දහමෙහි පිහිටි ජනයා තමතමන්ට ද සංඝයා වහන්සේලාට ද උපකාර කරමින් බොහෝ සෙයින් පින්
රැස්කර ගත් බව ද ඉතිහාස ප්‍රවෘත්තීන්හි සඳහන් ව තිබේ. ඒ වනාහි අප ද මේ දුෂ්කර සමයෙහි අත්නොහැර රැස්කර ගත යුතු පින්කමකි. මෙකල ඇතිහැකි අයුරින් නැතිබැරි පිරිස් කෙරෙහි දන් පැන් පිදීම, සෙසු කාලයන්හි දී පිරිනමන දානයනට වඩා ආනිශංස වශයෙන් සුවිශේෂී ය. ධර්මයෙහිලා කාල දානය විෂයෙහි ගැනෙන දුර්භික්ෂ දානය ලෙස අර්ථ දැක්වෙන්නේ සැමට ම ආහාරපාන දුර්ලභ මෙවැනි දුර්භික්ෂ අවස්ථාවන්හි දී දෙන දානය යි.

“කාලේ දදන්ති සප්පඤ්ඤා – වදඤ්ඤූ වීතමච්ඡරා
කාලේන දින්නං අරියේසු – උජුභූතේසු තාදිසු
විප්පසන්නමනා තස්ස – විපුලා හෝති දක්ඛිණා”

“නුවණින් යුතු පුද්ගලයෝ දානයෙහි අනුසස් දැන මසුරු මළ බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, ඍජු මගෙහි බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හි පහන් සිතින් පුදන දානයක් වෙයි ද, ඔහුගේ ඒ දක්ෂිණාව මහත්ඵල ලබා දෙයි.”

ලක්දිව එක්සේසත් කළ ගාමණී අභය කුමරු රජ පැමිණීමට පළමු කොත්මලේ වාසය කළ කාලයේ තමන් සතුව තිබූ එක ම රාජකීය ආභරණය වූ කුණ්ඩලාභරණය තලා අලෙවි කොට ලද මුදලින් රහතන් වහන්සේලාට දන් පැවරූ බවත්, සිදු කළ අන් බොහෝ පින්කම් පරයා දුෂ්කරව කළ ඒ පිනෙන් ම හේ සතුටට පත් වූ බවත් මහාවංශයේ දැක්වේ.

ඉදින්, ආහාරපාන පමණක් නොව සපයා ගැනීමට දුෂ්කර වූ පොත්පත්, ඇඳුම් පැලඳුම්, බෙහෙත් ඖෂධ ආදී දෑ ද මෙකල දන් දෙන්නේ නම් එය බොහෝ දෙනාට උපකාරය පිණිස පවතිනු ඇත. එනිසා, අන් අයගේ යහපත ද තමන්ගේ සාංසාරික අභිවෘද්ධිය ද කැමති සත්පුරුෂයෝ මේ කාලය දන් දීමෙන් හිස් නොවන්නට කටයුතු කළ මනා ය.