ජීවිතයේ අපට නොයෙකුත් ඉලක්ක තිබේ. ඒ සියල්ල ම කාලානුරූප ය. කලින් කලට ඒවා අත්පත් කර ගන්නාක් සේ ම කලින් කලට ඒවායේ වෙනස්කම් ද සිදු වේ. අප ගෙවන ජීවිතය එක්තරා ආකාරයකින් බලන විට කාල සටහනකට අනුව සකසා ගත් සිහින සටහනකි. එහෙත්, කවර හෝ මොහොතක කාල සටහන නැවතී සිහින සටහන සම්පූර්ණයෙන් ම බිඳ වැටෙන්නට ඇති ඉඩ අතිමහත් ය. සැබැවින් ම මරණයට ඇති අවස්ථාවන් සලකා බලද්දී ජීවත් වන්නට තිබෙන්නේ ඉතාමත් සුළු ඉඩකි.

මරණය උපන්නවුන්ගේ පොදු ඉරණමකි. ජීවිත කාලය තුළ අප විසින් හඹා යන පොදු ඉලක්ක ඕනෑ තරම් තිබේ. සතුට, සැනසීම, වස්තුව, දේපළ ආදිය කාමභෝගී අප කා හටත් පොදු ඉලක්කයන් ය. ඒ සියල්ල සියල්ලන් විසින් අත්පත් කර ගන්නේ නැත. ඇතැමුන් ස්වකීය අභිප්‍රායන් මුදුන් පමුණුවා ගන්නා අතර ඇතැමුන් බලාපොරොත්තු තැබීමෙන් ඔබ්බට කිසිවකුදු නොලබති. එහෙත්, ඒ සියල්ලෝ ම මරණය නම් වූ ඉරණම නිසැකව ම ලබති.

අපේ ජීවිත තුළ දේශසීමා තිබුණ ද ජාති ආගම් වයස් සීමාමායිම් තිබුණ ද ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, උගත් නූගත් ආදී සීමා පැනවීම් තිබුණ ද ඒ සීමා පැනවීම් මත ජීවිත රාමූන් සැකසුන ද ඒ කිසිවක් හමුවේ කිසිදු වෙනසක් නොදක්වමින් මරණය සියලු ජීවිත කරා එළඹේ. උදය කාලයේ ය, හවස් කාලයේ ය, රාත්‍රියේ ය ආදී වශයෙන් මරණයට කාල සීමාවක් නැත. ගමේ ය, විහාරයේ ය, වැඩපළේ ය, මඟතොටේ ය ආදී වශයෙන් මරණයට ස්ථාන සීමාවක් නැත. බාලයෝ ය, තරුණයෝ ය, මහල්ලෝ ය, වැඩිහිටියෝ ය ආදී වශයෙන් මරණයට වයස් සීමාවක් නැත. සැබැවින් ම මරණයට කිසිදු සීමා පැනවීමක් නො වේ. ඕනෑම තැනක දී ඕනෑම මොහොතක දී ඕනෑම ආකාරයකින් ඕනෑම කෙනෙකුගේ මරණය සිදු විය හැකි ය. එසේ තිබිය දී නොමැරෙන්නවුන් ලෙසින් ජීවත් වීමේ ඇති ඵලය කුමක් ද?

ජරාව පිරිවර කොටගත් ජීවිතයේ ජරා දුක ප්‍රකට වද්දී නම් බොහෝ දෙනෙකු මරණය ගැන සිහි කරනු දකින්නට හැකි ය. එහෙත් ජව සම්පන්න තරුණ විය තුළ සිටිය දී ම තමන් ද මරණයට පත් වන්නෙක් ය යැයි සිතා බලන්නෝ අතිශයින් විරල ය. ඒ නිසා ම නොයෙකුත් දුරාචාරයන්ගේ යෙදෙමින් මදයට, ප්‍රමාදයට නතුව තමාටත්, අනුන්ටත් අයහපත පිණිස පිළිපන් තාරුණ්‍යයක් අද අපට අත්දකින්නට තිබේ. ඕනෑම මොහොතක තමන්ගේ මරණය සිදු විය හැකි බව සිහි කරන්නේ නම් මෙසේ ජීවිත මදයෙන් මත් ව ප්‍රමාදී වූවන් අතරට එක් වන්නට සිදු වන්නේ නැත.

දිනපතා අසන්නට දකින්නට ලැබෙන දෑ අතර කොතෙක් නම් තරුණ වියේ දී ම මරණයට පත් වූවන් ගැන පුවත් වෙත් ද? එවැනි මරණවලට කොතෙක් නම් හේතු තිබේ ද? ඒ නිසා, යෞවන මදයෙන් ද ජීවිත මදයෙන් ද ආරෝග්‍ය මදයෙන් ද බලවත් ව මාන්නය උපදවාලන තරුණ වියේ දී ම ‘අපිදු මරණයට පත් වන්නවුන් වෙමු’යි කියා සිහි කරන්නට හැකි නම් එය සැබැවින් ම බොහෝ යහපත උදා කරලන්නකි.

මරණය ගැන සිහි කරන්නා යහපත් ජීවිතයක් ගත කරන්නෙකි. කුසල් දහම් සම්පාදනය කරන්නෙකි. ගුණදහම් දියුණු කරන්නෙකි. ඒ ගැන අප සැක කළ යුතු නැත. මන්ද, මරණ සතිය තුළ අප්‍රමාදය දියුණු වන බව සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් වන නිසා ය. අප්‍රමාදය යනු සියලු කුසල ධර්මයන්ට පැනවිය හැකි නාමය යි. ඉදින් ඒ නිසා මරණය නම් වූ උපන් කිසිවෙකුට ඉක්මවා යා නොහැකි පොදු ඉරණම තුළ කුසලයේ ම පිහිටමින් මරණ සතිය දියුණු කරන්නට ඔබට ද සිත් පහළ වේවා!