භාග්‍යවතුන් වහන්සේ ‘සමජීවී’ සූත්‍රය ආදී දේශනා කිහිපයක දී ම ධාර්මික විවාහයක් පිණිස උපකාරී වන කරුණු පෙන්වා දී තිබෙනවා. එහි දී දෙදෙනාට ම සමාන ශ්‍රද්ධාවක් ඇති බව මුල් ම කරුණයි.

එනම් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධය ගැන ගුණ වශයෙන් සිත පහදවා ගැනීම යි. මෙහි දී තමන්ගේ සහකරුට හෝ සහකාරියට ශ්‍රද්ධාව නොමැති නම් විශාඛාවන්, චුල්ල සුභද්‍රාවන් සිදු කළාක් මෙන් කල්‍යාණමිත්‍රයන් වහන්සේලා වෙත යොමු කිරීමෙන්, දේශනා, දහම් පොත් පත් සපයා දීමෙන් ශ්‍රද්ධාව ජනිත කළ යුතුයි. එමෙන් ම දෙදෙනා ම සිල්පද සුරැකීම තුළින් සීලයෙන් ද සමාන විය යුතුයි.

එහි දී නිත්‍ය සීලය වශයෙන් පන්සිල් සුරකිමින්, පොහොය දිනයන්හි දී අටසිල් ආරක්ෂා කිරීමත් ඉතා ම වැදගත් වෙනවා. තුන්වෙනුව දෙදෙනා ම චාගයෙන් සමාන වීම හෙවත් පරිත්‍යාගශීලි බව ඇතිකර ගැනීම විවාහ ජීවිතයක් සාර්ථක වීමට ඉවහල් වන ඊළඟ කරුණ යි. එහි දී දන් පැන් පූජා කිරීම වගේ ම ස්වාමියා බිරිඳගේ ඥාතීන් හටත්, බිරිඳ ස්වාමියාගේ ඥාතීන් හටත් පරිත්‍යාගශීලී වීම අවශ්‍යයයි.

ඒ වගේ ම දෙදෙනා ම සමානව දහම් දැනුම ඇතිකර ගැනීම සාර්ථක විවාහ දිවියකට බොහෝ උපකාරකයි. ධර්මයට අනුව නුවණින් කල්පනා කරන ප්‍රඥාවන්ත ජීවිතයක් ඇතිකරගෙන ප්‍රඥාවෙන් ද දෙදෙනා සමාන විය යුතු වෙනවා.

එම නිසා විවාහයට තෝරා ගන්නා සහකරු – සහකාරිය තුළ මෙම ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල තිබේ ද කියා විමසා බැලිය යුතුයි. එසේ නොමැති නම් තමා කල්‍යාණමිත්‍රයෙකු, කල්‍යාණමිතුරියක වී එම සේඛ බල සහකරු – සහකාරිය තුළ ඇති කර ගැනීමට උදව් උපකාර කළ යුතුයි. සාර්ථක විවාහ ජීවිතයක් ගොඩනඟා ගත හැක්කේ එවිටයි.