බුදු දහමට අනුව විවාහයක් සිදුකළ යුතු ආකාරය දැක්වෙන සූත්‍ර දේශනා ආදියක් බුද්ධ දේශනාවන් තුළ ඍජුවම දකින්නට නැත. එනමුත් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ඒ සම්බන්ධයෙන් ධර්මානුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් ධර්මානුකූලව සිදුකරන විවාහයකදී දෙපාර්ශවයේ ම දෙමාපියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ එය සිදුකළ යුතු අතර, කුතුහලය ඇති කරන මංගල කරුණුවලින් තොරව එය සිදුකිරීම දහමට අනුකූල වේ. අද බොහෝ දෙනා සිදුකරන පොරොන්දම් ගැලපීම, විවාහය සඳහා නැකැත් සෑදීම යනාදිය අයත් වන්නේ කෝතුහල මංගලික නම් වූ කුතුහලය ඇතිවන මංගල කරුණුවලටයි. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් එයින් වැළකිය යුතුය.

විශේෂයෙන් විවාපත් වන යුවල සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා ආදී ගුණයන්ගෙන් යුතු වන්නේ නම් එම දෙපලගේ විවාහ ජීවිතය දෙවියෙක් දිව්‍යාංගනාවක් හා එකට වාසය කිරීම හා සමාන වන අතර ඔවුන්ගේ මෙලොව පරලොව යන දෙලොව යහපත උදා කරන්නක් වේ. එමෙන්ම විවාහ මංගල උත්සවවලදී ද මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී දේවලින් තොරව එය සිදුකළ යුතු අතර කල් තියාම ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගනු පිණිස සෙත් පිරිත් කියවාගත හැකිවේ නම් එය ඉතා අගනේය. ඒ අයුරින් තෙරුවනේ ආශිර්වාදයත් ලබාගෙන සමාජයේ පවතින සදාචාර ධර්මයන්ට අනුකූලව, ඒවා ඉක්මවා නොගොස් කටයුතු කිරීම වැදගත් වේ.