පින්වත් ස්වාමීන් වහන්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගය සමඟ සසඳන විට බැලූ බැල්මට මට පෙනෙන්නේ ප්‍රඥා, සීල, සමාධි වශයෙන් මාර්ගය වැඩෙන බවයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙනුයි. මෙම කාරණය පැහැදිලි කර දෙන සේක්වා.

‘චූළ වේදල්ල සූත්‍රයේ දී’ විශාඛ උපාසකතුමා ධම්මදින්නා රහත් තෙරණියගෙන් මෙසේ විමසනවා.

“පින්වත් ආර්යාවෙනි, සීල, සමාධි, ප්‍රඥා තුන තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද? එහෙම නැති නම් සීල, සමාධි, ප්‍රඥා තුනේ ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ?”

එවිට ධර්මකථික භික්ෂුණීන් අතර අග්‍ර වූ ධම්මදින්නා රහත් භික්ෂුණිය ඉතා පැහැදිලි ව මෙසේ පිළිතුරු දුන්නා.

“පින්වත් විශාඛ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල, සමාධි, ප්‍රඥා තුන සැදුනා නොවෙයි. සීල, සමාධි, ප්‍රඥා තුනෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සදන්නේ.”

එහි දී ධම්මදින්නා තෙරණිය තවදුරටත් මෙසේ පවසා සිටියා.

“පින්වත් විශාඛ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන අයත් වන්නේ සීලස්කන්ධයට යි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන අයත් වන්නේ සමාධිස්කන්ධයටයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ඇතුළත් වන්නේ ප්‍රඥාස්කන්ධයට යි.”

එම නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා සීල, සමාධි, ප්‍රඥා තුන ඇති වුණා නොව සීල, සමාධි, ප්‍රඥා නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සැදුනේ. භාග්‍යවතුන් වහන්සේ ධර්ම මාර්ගය වැඩෙන ආකාරය ඉතා පැහැදිලිව ‘ජටා සූත්‍රයේ දී’ මෙසේ පෙන්වා දී තිබෙනවා.

“ප්‍රඥාවන්ත මනුස්සයෙක් සීලයක පිහිටා සමාධියත්, ප්‍රඥාවත් වඩන්න ඕන. අන්න ඒ කෙලෙස් තවන වීරිය තියෙන, තැනට සුදුසු නුවණ තියෙන භික්ෂුව මේ කෙලෙස් අවුල ලිහා ගන්නවා.”
එම නිසා ශ්‍රාවකයන් වශයෙන් අප කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ශ්‍රද්ධාවෙන් අදහාගෙන ධර්ම මාර්ගය දියුණු කර ගැනීමට උත්සාහ ගැනීමයි.