මේ ජීවිතයේ දී හරියට ධර්මය හිතේ පිහිටුවා ගත්තොත් ආත්මභාව දෙකක් තුනක් ඇතුළත භව ගමන නිමා කරන්නට පුළුවනි. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. යළි යළි මේ ලෝකයට එන්න අපි කල්පනා කරගෙන හිටියොත් අපට දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. යම් තැනක උපදිනවා ද එතැන මරණය තියෙනවා. යම් තැනක උපදිනවා ද එතැන සෝක වැළපීම් දුක් දොම්නස් තියෙනවා. ඒ නිසා යළි යළි ඉපදීම නෙවෙයි අපි කරන්න ඕන. ඉපදෙන ස්වභාවය පුළුවන් තරම් කෙටි කරන එකයි. උපදින්නේ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව නැතිකරන විදිහට අපි අපේ කල්පනාව දියුණු කරගන්න ඕන.

මේ ජීවිතයේ දී හිතේ දියුණුවක් ඇතුව මියගියොත් එයා දෙව්ලොව යාවි. දෙව්ලොව දී ධ්‍යාන වඩලා බඹලොව යාවි. බඹලොවින් පිරිනිවන් පාවි. මේ ලෝකයට ආයෙ එන්නෙ නෑ. ඒ වගේ ආත්මභාව කීපයකින් මේ සංසාරය අවසන් කළ හැකියි. නුවණැති බුද්ධිමත් කෙනෙකුට මේ ජීවිතයේ දී වුණත් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන මරණාසන්න මොහොතේ දී හෝ යළි උපතක් කරා නො එන විදිහට සිත සකස් කරගන්න පුළුවනි. ඒ හැම දෙයක් ම තියෙන්නේ තමුන් චින්තනය මෙහෙයවන ආකාරය අනුවයි. සසර තියෙන්නෙත් සිතන පිළිවෙළ මතයි. නිවන තියෙන්නෙත් සිතන පිළිවෙළ මතයි.