සමථ විදර්ශනා වැඩීම ගිහි ජීවිතයට බාධාවක් කියල හිතන්න එපා. විදර්ශනාව හරියට වඩනවා නම් දියුණු වෙන්නේ උපේක්ෂාව යි. විදර්ශනාව වඩන කෙනෙකුට ‘මොකක් ද මේ හරයක් නැති වැඩේ’ කියලා ජීවිතය එපා වෙන්න පුළුවනි. නමුත් හරයක් නෑ කියලා අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඒ කෙරෙහි කම්පා නො වන ශක්තියයි දියුණු විය යුත්තේ. අවබෝධයක් ඇති වුණේ නැත්නම් අපි කම්පා වෙනවා විතරයි. විදර්ශනාව වඩන කෙනෙකුට ඉන්න තැන් එපා වෙනවා නම්, යාළු මිත්‍රයෝ එපා වෙනවා නම්, රැකී රක්ෂා එපා වෙනවා නම් මතක තියාගන්න ඒක අවබෝධයක් තුළින් ඇති වූ දෙයක් නො වෙයි. අවබෝධයක් ඇති වුණා නම් ඒ සියලු දේ මැද්දේ කම්පා නො වී ඉන්න තරමට එයාගේ චිත්ත ශක්තිය දියුණු වෙන්න ඕන. අන්න ඒකයි අවබෝධය කියලා කියන්නේ.

ඉතින් ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට ඒ අවබෝධය තියෙනවා නම් කොච්චර වටිනවා ද? කෙනෙක් ගිහිජීවිතය තුළ සකදාගාමී වුණොත් සෑහෙන්න දුරට විරාගී ජීවිතයක් ගෙවාවි. අනාගාමී වුණොත් සම්පූර්ණයෙන් ම වගේ ශාන්ත ජීවිතයක් ගෙවාවි. ඒ නිසා හිත දියුණු කරන වැඩපිළිවෙලක් කිසිසේත් ම අත්හරින්න එපා. මොකද අපි දුක් විඳින්නේ හිතෙන්. ලෝකය ම බදාගෙන ඉන්නේ හිතෙන්. කර්ම රැස් වෙන්නේ හිතේ. ඉතින් ඕක අත්හැරලා දැම්මාම ඉවරනේ. ඕක අවබෝධ කරගන්නයි අමාරු.