රෝගාතුරව මරණාසන්නව සිටින පුද්ගලයෙකුට හෝ තම ඤාතියෙකු හට ධර්මයෙන් පිළිසරණක් සලසා දීමට නම් ඔහු හෝ ඇය අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උපාසකයෙකු හෝ උපාසිකාවක වීම ඉතා වැදගත් වේ. පහසුවෙන් ධර්මයෙහි සිත පිහිටුවන්නට හැක්කේ එබදු කෙනෙක්වයි. එය සිදු කරන ආකාරය ගැන විස්තරයක් සංයුක්ත නිකායෙහි ගිලාන සූත්‍රයෙහි සඳහන්ව ඇත. එහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයෙකු විසින් රෝගී වූ, කායික දුකට පත්, බොහෝසෙයින් ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකු හට අස්වැසිල්ල ඇති කර දෙන ආකාරය යි. එනම්, ඔබ අවබෝධයෙන් ම බුදුරජාණන් වහන්සේව සරණ ගොස් නොසෙල්වන ප්‍රසාදයට පත්ව සිටින්නකු බව සිහිපත් කරවා ඔහුව අස්වැසිය යුතු ය. එමෙන්ම ශ්‍රී සද්ධර්මය ගැනත්, ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔබ තුල නොසෙල්වෙන බලවත් ප්‍රසාදයක් ඇති බවත් සිහිපත් කරවා එය ඔබට මහත් වූ ලාභයක් බව පෙන්වා දී ඔහුගේ සිතේ සතුට ඇති කළ යුතු ය. එමෙන්ම ඔහු තුල තිබෙන්නා වූ ශීලය සිහිපත් කොට දී ඔහු දුගතිගාමී නොවන බවට අස්වැසිලි ඇති කළ යුතු ය.

අනතුරුව ඔහු හෝ ඇය තුල තම දෙමාපියන් කෙරෙහි හෝ අඹුදරුවන් පිළිබඳව හෝ බලවත් අපේක්ෂාවක් ඇත්දැයි විමසා, තමාහට දෙමාපියන් අඹුදරුවන් ආදීන් කෙරෙහි අපේක්ෂාව පවතින බව ඔහු පවසයි නම් ඒ බන්ධනයන් අත්හැර ගැනීම පිණිස තවදුරටත් කරුණු පහදා දිය යුතුය. තමා දැන් මරණයට ළංව, මරණාසන්නව සිටින බවත් දෙමාපියාදීන් හෝ තමාගේ ගේ දොර වතු පිටි ආදී මනුෂ්‍ය පංච කාමයන් කෙරෙහි හෝ ආශාව පවතින්නේ නමුත් තමාට මරණය කරා යාමට සිදුවන බව පෙන්වා දී මනුෂ්‍ය කාමයන්ගේ ඇති ලාමක බව හා ආදීනව ඉස්මතු කර දෙව්ලොව සිත පිහිටුවිය යුතු බව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. තවදුරටත් ඔහු ලෙඩ ඇඳේදී ම මාර්ගඵල අවබෝධය කරා ගෙන යන අයුරු එම ගිලාන සූත්‍රයේ මැනවින් පෙන්වා දෙයි.

නමුත් අද කාලයේ බොහෝ දෙනෙකුට අවබෝධයෙන් පිහිටපු තෙරුවන් සරණක් නැත. හරියාකාර සීලයක් ද නැත. ධර්ම ඥානයෙන් සිටින්නේ ඉතා දුර්වල මට්ටමක ය. ශාස්තෘන් වහන්සේ ගැන ද අවබෝධයක් නැත. එවන් කෙනෙකුට නම් ගිලාන සූත්‍රයේ පෙන්වා දුන් අයුරින් ධර්මයෙන් පිහිටක් සලසා ගත හැකිද යන්න ගැන සැක සහිතය. එවැනි අයට කිරීමට ඇත්තේ ඔවුන් විසින් මේ ජීවිතයේ සිදුකළ පුණ්‍යකර්මාදිය සිහිපත් කොට දීමයි. ප්‍රසාදය ඇතිවන පිරිත් ධර්මාදිය ශ්‍රවණය කිරීමට සලස්වා හිත පහන් කිරීමයි. විශේෂයෙන් මේ මිනිස් ලොව තිබෙන ගෙවල් දොරවල් වතුපිටි කනකර ආභරණ දරු මුණුපුරු ආදී හීන වූ කාමයන් කෙරෙහි අපේක්ෂාව, ඇල්ම අත්හරින ලෙසත් උපදෙස් දිය යුතුය. නොඑසේ නම් බොහෝවිට සිදුවන්නේ මරණින් මතු ප්‍රේත ලෝකවල ඉපදීමයි.